නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකරනවා

 ඡායාරූපය:

නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකරනවා

මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර

ව්‍යසායකත්වය රට දියුණු කිරීමේ එන්ජිම බවට පත් කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලාංකිකයන්ගේ ජානවල ඇති ව්‍යවසායකත්වය දියුණු කිරීම සඳහා හඳුන්වා දී ඇති එන්ටප්‍රයිස්

ශ්‍රී ලංකා වැඩසටහන ඒ සඳහා සුවිශේෂ කාර්යයක් ඉටු කරනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ මාතර ශාන්ත තෝමස් පිරිමි විදුහලට වසර 175ක් සපිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට පසුගියදා (02) සහභාගී වෙමිනි.

අමාත්‍යවරයා එහි දී මෙසේ ද පැවැසීය.

“ලෝකය ඉතා වේගයෙන් දියුණුව කරා යමින් තිබේ. තවත් වසර කිහිපයකින් ගණකාධිකාරීවරුන් අවශ්‍ය නැති වන තරමට, රියැදුරුන් අවශ්‍ය නැති තරමට තාක්ෂණය දියුණු වනු ඇත. එහෙත් අප තවමත් ඉන්නේ විභාග ක්‍රමය කේන්ද්‍ර කරගත් අධ්‍යාපන රටාවකය. වසරකට උසස් පෙළ සඳහා පෙනී සිටින ලක්ෂ දෙකහමාරක පමණ පිරිසෙන් 250,000ක් පමණක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබති. තවත් පිරිසක් ඔවුන්ගේ මාපියන්ගේ ආර්ථික ශක්තිය මත දෙස් විදෙස් උසස් අධ්‍යාපනයට යොමුවෙති. සෙසු පිරිස අදක්ෂයන් ලෙස සැලකීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එහෙත් සත්‍ය එය නොවේ. ඔවුන් කිසි ලෙසකත් අදක්ෂයන් ලෙස හැඳින් විය නොහැකිය.

ඉතිහාසය පුරා ශ්‍රී ලාංකිකයන් දස්කම් දක්වා ඇත්තේ කෘෂිකර්මාන්තයටත් වඩා දක්ෂ ව්‍යවසායකයන් ලෙසය. අනුරාධපුර පොළොන්නරුව වැනි ප්‍රදේශවල සිදුකළ කැණීම්වලින් මතුවන්නේ විවිධ රටවල කාසි වර්ගයි. එබැවින් අප කළ යුත්තේ අපේ ජානවල ඇති ඒ ව්‍යවසායකත්ව හැකියාවන් දියුණු කිරීමට අවශ්‍ය ශක්තිය තරුණ පරපුර වෙනුවෙන් ලබා දීමයි. අපේ ඉලක්කය වන්නේ 2020 වන විට නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමයි. ඊට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සංහිඳියාව මේ වන විටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා තිබේ. අවශ්‍ය වන්නේ ඒ ශක්තිමත් කුලුනු මත සංවර්ධනය ඇති කිරීමයි. එම සංවර්ධනයේ එන්ජිම බවට ව්‍යවසායකත්වය පත් කිරීමයි”

මාතෘකා