හම්බන්තොට වරාය විවෘත කළේ මහින්දගේ ඡන්ද ප්‍රචාරක වැඩවලටද කියලා සැකයි

 ඡායාරූපය:

හම්බන්තොට වරාය විවෘත කළේ මහින්දගේ ඡන්ද ප්‍රචාරක වැඩවලටද කියලා සැකයි

පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා

හිටපු නායකයා ඔහුගේ ඡන්ද වැඩට හම්බන්තොට වරාය හැදුවේ චයිනා මර්චන්ස් කියන සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.9 ක් ගෙන ඇති බවට නිව්යෝර්ක් ටයිම්ස් නගන චෝදනාව පරීක්ෂා කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

චීනයේ සමාගමක් මීට සම්බන්ධ වී ඇති හෙයින් චීන රජය ද මේ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට වගකීමක් තිබෙන බවත් ගෝඨාභය, බැසිල් වැනි රාජපක්ෂවරයෙකු බලයට පැමිණියොත් රට නැවත පවුල් පාලනයට ගොස් ජනතාවගේ මුදල් ගසාකන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රාජකරුණා මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පසුගියදා (29) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

“ගිය ආණ්ඩුවේ හිටපු ආර්ථික විශේෂඥයන් පිරිසක් අද ලොකුවට කතා කරනවා. ඒ අයගේ පරණ කෙරුවාව අපි හොඳටම දැක්කා. එයාල කළේ රට ණය කන්දට හිර කිරීමයි. අප රටේ ණය හොඳින් කළමනාකරණය කළා. දශක ගණනාවකට පසුව ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් අද ඇති වී තිබෙනවා. භාණ්ඩාගාර සංචිත ප්‍රමාණය වැඩිවී තිබෙනවා. මේ වනවිට අප ශක්තිමත් ආර්ථිකයක් හදලා ඉවරයි. දැන් අපට ඒ ප්‍රතිලාභ ජනතාවට දෙන්න පුළුවන් එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන ඇති කළේ මේ දියුණුව, මේ වෙනස ඇතිකරන්නයි. නව ව්‍යවසායකයන් හදන්න අපි මේ හරහා කටයුතු කරනවා.

අපේ රජය ජනතා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය දුන්නා. මාධ්‍යවේදීන්ට නිදහස දුන්නා. අද සුදු වෑන් කැරකෙන්නේ නැහැ. ලැබූ නිදහස වර්ධනය කිරීමට කවුරුත් වගබලා ගත යුතුයි. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යටතේ මාධ්‍යවේදීන්ට පොලී රහිත ණය දෙනවා. අනෙකුත් ක්ෂේත්‍රවලට ද එවැනි ණය දෙනවා. නිව්යෝක් ටයිම්ස් හෙළිකළ චෝදනා ගැන අපි අවධානය යොමු කළ යුතුයි. කාටවත් චෝදනා කරන්න අවශ්‍ය නෑ. හිටපු ජනාධිපති චයිනා මර්චන්ස් සමාගමෙන් ගත් ඩොලර් මිලියන 4.9ක් ඔහුගේ ඡන්ද කටයුතුවලට යොදාගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා. අපිට මතකයි පසුගිය ජනාධිපතිවරණයේදී ගමේ ජනතාවට ඔරලෝසු බෙදුවා, ටී ෂර්ට් බෙදුවා. සාරි බෙදුවා හම්බන්තොට වරායෙ මුදල්වලින් තමයි මේ බඩු බෙදලා තියෙන්නේ. අපිට සැකයි හම්බන්තොට වරාය විවෘත කළේ හිටපු ජනාධිපතිගෙ ප්‍රචාරක වැඩවලටද කියලා. පසුගිය ආණ්ඩුවේ පාලකයන්ට අපි කියන්න කැමතියි මේ පිළිබඳව ප්‍රකාශයක් කරන්න කියලා. වරාය පටන්ගත්තෙ මේකටද? මේ පිළිබඳ පරීක්ෂණ කරන්න අවශ්‍යයි. ජනාධිපති කොමිසමක් පත් කරල මේ පිළිබඳ ස්වයං පරීක්ෂණයක් කරන්න අවශ්‍යයි. චීනයත් මේ ගැන පරීක්ෂණයක් කළ යුතුයි. චීනය කියන්නේ දූෂණය පිටු දකින රටක් .

නිව්යෝක් ටයිම්ස් ප්‍රවෘත්තිය අසත්‍ය වෙන්න බැහැ. එය වගකිවයුතු මාධ්‍ය ආයතනයක්. මේක චීන ආණ්ඩුවකට කරන චෝදනාවක් නෙමෙයි. චීන සමාගමක් කරපු වැඩක්. මහබැංකු සිද්ධිය ගැන විමර්ශන බලපෑමකින් තොරව ඉදිරියට කරගෙන යනවා. ගෝඨාභය ආවත් බැසිල් ආවත් රට යන්නේ පවුල් පාලනයකටයි. එහෙම පවුල් පාලනයකට ජනතාව කැමති වෙනවද? ජනතාව මෙවැනි අඳුරු යුගයකට යන්න සූදානම් නැහැ. ආණ්ඩුව වැදගත් දේවල් කළා. එහෙත් ඒවා රටට හරියට ඉදිරිපත් කළේ නෑ. ඒක අඩුපාඩුවක් අපි ජනප්‍රිය තීන්දු නොගන්නවා වෙන්න පුළුවන්. හොරුන් අල්ලපු නැති නිසා ජනතාව ඡන්දයේදී අපිට පාඩමක් ඉගැන්නුවා.

රුපියල බාල්දුවෙනවා කියලා ඒකාබද්ධ විපක්ෂයේ අය බොරුවට කෑගහනවා. ඒ අය ගත්ත ණය නිසා තමයි මේ විදිහට ආර්ථිකය වැටුණේ. ඒ අය ඒ සල්ලි හොරකම් කරපුවා ගැන කියන්නේ නෑ. රුපියලේ අගය අඩුකරගැනීම සඳහා අගමැතිතුමා ප්‍රමුඛ රජය වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. විදෙස් ආයෝජන විශාල ප්‍රමාණයක් පසුගිය අවුරුදු තුන තුළ රටට ලැබී තිබෙනවා. පුළුවන් තරම් ඉක්මනින් ආර්ථිකය විනිවිද මාර්ගයකට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් ආර්ථිකය ඉබේම ශක්තිමත් වෙනවා.

[අසේල ලියනගේ]

මාතෘකා