බොරු දේශප්‍රේමයක් කියවන මිනිස්සු ගැන ජනතාව දැනගත යුතුයි

 ඡායාරූපය:

බොරු දේශප්‍රේමයක් කියවන මිනිස්සු ගැන ජනතාව දැනගත යුතුයි

ඇමති අකිල විරාජ් කාරියවසම්

ශ්‍රී ලංකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී ආකල්ප ඇති රටක් සඳහා විප්ලවවාදී අදහස් ඇති, ශ්‍රී ලාංකික පුරවැසිභාවයක් නැති පුද්ගලයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ජනතාව කිසිසේත්ම කැමති නොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා (29) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

රටක් පාලනය කිරීම සඳහා යහපත් සිංහල බෞද්ධ නායකත්වයක් තිබිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙරට පුරවැසිභාවය තිබෙන, දේශපාලන අද්දැකීම් බහුල නායකයෙකු බවත් හිට්ලර් ජර්මනිය කුරිරු ලෙස පාලනය කළා සේ මහින්ද රාජපක්ෂ රජයද හිට්ලර් පාලනයක් දියත්කර රට වනසමින් සිටි වකවානුවක වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකර ජනතාවට නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කළ බවත් ඔහු කීය.

“හිට්ලර් බිහිවුණේ ජර්මනියේ. අදටත් හිට්ලර් මරණයට පත්වුණ බංකරය උඩ ගසක් හිටවලා තියෙනවා එය සිහිකරන්න කිසිම සලකුණක් තබලා නෑ. හේතුව ජර්මනියත් හිට්ලර්ගේ පාලනයට විරුද්දයි. ජර්මනිය අද දියුණු රටක් වෙලා ලෝකෙටම මුදල් දෙනවා හිට්ලර්ගේ ක්‍රමවේදය තුරන් කරන්න. මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන්න ලොව පුරා ගොඩක් වැඩසටහන් කරනවා. අපේ රට වගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙළගැසී සිටින රටක්ට උචිත නෑ හිට්ලර් පාලනයක්.

හිට්ලර් කෙනෙක් වෙන්න ඕනා කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඔහුගෙයි හිට්ලර්ගෙයි සමානකම් දෙකක් තියෙනවා. එකක් තමයි මේ දෙන්නා වෙජිටේරියන්ලා. අනික හිට්ලර්ටත් ජර්මනියේ පුරවැසිභාවය තිබුණේ නෑ, ඔස්ට්‍රියාවේ තිබුණේ. විවිධ සටන් කරල තමයි හිට්ලර් ජර්මනියේ පුරවැසිභාවය ගත්තේ. මේ සමානකම් දෙක තියෙනවා. ගෝඨාභයටත් ශ්‍රි ලංකාවේ පුරවැසිභාවය නෑ. එයාට තියෙන්නේ ඇමරිකාවේ පුරවැසිභාවය. නිදහස් රටක් විදියට අපි මේවා පිළිගන්නේ නෑ. එතුමා පසුගිය දවසක කියලා තිබුණා ජනාධිපතිවරණයට ඉල්ලනව නම් ඇමරිකාවේ පුරවැසිභාවය ඉවත්කරගන්නවා කියා. අනික් පැත්තෙන් කියනවා ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැත්නම් ඇමරිකාවේ පුරවැසිභාවය ඉවත්කරගන්න අකමැතියි කියලා. මේ කතා දෙකෙන් පැහැදිලි වෙන්නේ ජනතාව රවට්වන්න හදන එක විතරයි. මම එතුමට අභියෝග කරනවා ජනාධිපතිවරණයට ඉල්ලුවත් නැතත් එතුමා ලෑස්තිද ඇමරිකාවේ පුරවැසිභාවය ඉවත්කරගන්න කියලා.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ගත්තොත් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තියෙනවා, ඕනෑම රටකට යන්න පුළුවන්. ඒත් එතුමා බලය තියෙද්දිවත්, නැතුවවත් රට දාලා ගියේ නෑ. එතුමා අපේකම් දන්නා නායකයන්. බොරු දේශප්‍රේමීත්වයක් හදාගෙන රට ගැන කියවන මිනිස්සු පිළිබඳ ජනතාව දැනුවත් වෙන්න අවශ්‍යයි. තමන්ගේ පුරවැසිභාවය ගන්නේ තමන්ගේ රට දාල යන්න අවශ්‍ය නිසානේ. අපිට තිබෙන වටිනාම දේ මේ රටේ ජාතික හැඳුනුම්පත, මේ රටේ ගුවන් ගමන් බලපත්‍රය. මටත් අපේ පක්ෂයේ අයටත් තියෙන අනන්‍යතාවය තමයි ඒක. අපි විදෙස් රටවලට ගිහිල්ලත් පෙන්වන්නේ ඒක. මේ දේවල් ඉවත්කරලා වෙන රටක ගුවන් ගමන් බලපත්‍රය ගන්නේ ලංකාවට තිබෙන අකමැත්ත නිසාද.

අපිට ඕන හිට්ලර් පාලනයක් නෙමේ. අපිට ඹ්නේ මාධ්‍ය නිදහස ආරක්ෂා කරන, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන රටක්. පසුගිය දවස්වල පාර්ලිමේන්තුව තුළ විශාල අර්බුද ඇතිකරන්න ඒකාබද්ධ විපක්ෂය උත්සහ කළා. එදා හිට්ලර් බලයට පත්වෙලා කරපු පළවෙනි වැඩේ තමයි ජර්මනියේ පාර්ලිමේන්තුව ගිනි තියපු එක. ඒ වගේ මම කියනවා මේ එකාබද්ධ විපක්ෂයට අවශ්‍යවෙලා තියෙන්නේ පාර්ලිමේන්තුව ගිනි තියලා හරි, රට වනසලා හරි ඒ ගොල්ලන්ට අවශ්‍ය බලය ගන්න. මේ රටේ ජනතාව තේරුම්ගන්න ඕන මේ ගොල්ලෝ මේ බලය ඉල්ලන්නේ කුමන ආකාරයක ගමනක් යන්නද කියලා.පැසිස් වාදී ක්‍රමයකට යෑම සඳහා තමයි මේ ගොල්ලෝ උත්සාහ කරන්නේ.

දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්, වෙනත් අංශයක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අපි හැමෝම නීතිය ඉදිරියේ සමානයි. අපේ පක්ෂයේ නායකයෝ කොමිෂන් සභා ඉදිරියට ගියා, අධිකරණයට ගියා. තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමතිවරයා බොහෝ මානුෂීය ක්‍රියාවන් පිළිබඳව පෙනී සිටින ආකාරය අපි පසුගිය දවස්වල දුටුවා. එතුමාගේ ක්‍රියාකලාපය පිළිබඳ යමෙකු පැමිණිලි කළ හොත් ඒ පිළිබඳ සොයා බැලිය හැකියි.

ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන් පසුගිය කාලයේ කටයුතු කළ ආකාරය, චීනය වැනි රටවලින් තම මැතිවරණ ව්‍යාපාරයට මුදල් පොම්ප කළ ආකාරය ජනතාව දන්නවා. මේ නිසා රටේ ජනතාව දැනගත යුතුයි ඒකාබද්ධයේ ගමන් මාර්ගය පිළිබඳව. ඔවුන් බලය ඉල්ලන්නෙ පැසිස්ට්වාදී ගමනක් යාමට. රට තුළ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට වත්මන් රජයට හැකියාව ලැබී තිබෙනවා. කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු ඒ සඳහා අවශ්‍ය පසුබිම මේ වන විට සකසා තිබෙනවා.

[අසේල ලියනගේ] ඡායා [රොශාන් පිටිපන]

මාතෘකා