තරඟකාරී වෙළෙඳ පොළක් මගින් සාර්ථකත්වයට යා හැකියි

 ඡායාරූපය:

තරඟකාරී වෙළෙඳ පොළක් මගින් සාර්ථකත්වයට යා හැකියි

අගමැති රනිල් වික්‍රමසිංහ

අසල්වැසි අනෙකුත් රටවල් සමඟ තරගකාරී වෙළෙඳ පළක් පවත්වාගෙන යෑම මගින් සාර්ථකත්වය කරා යෑමට බොහෝ අවස්ථාව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (26) ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂවරුන්ගේ සංගමය අමතමින් පැවසීය. පෞද්ගලික අංශයේ කර්මාන්තකරුවන් සහ රාජ්‍ය අංශයේ කර්මාන්තකරුවන් හට ජාත්‍යන්තර තාක්ෂණය හා විදෙස් ආයෝජන හඳුන්වාදීම ඔස්සේ ආර්ථිකය සෘජුව ශක්තිමත් වන බව අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

“ආර්ථික වර්ධනය යනු රැකියා අවස්ථා බහුලවීමයි. ආදායම් මාර්ග ඇතිවීමයි. එමෙන්ම ධනය බහුලවීමත් එමඟින් කියවෙනවා. ආර්ථික වර්ධන ක්‍රියාවලියේ පෙරමුණ ගැනීමේ වගකීම අද හිමිවන්නේ පෞද්ගලික අංශයටයි. ඔබ ඒ අභියෝගය භාර ගැනීමට සූදානම් ද යන්න මා නගන ප්‍රශ්නයයි. එම ආත්ම විශ්වාසය, ඔබගේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ ජ්‍යෙෂ්ඨ විධායක කමිටුවේ ගුණාත්මක බව මත රඳා පවතිනවා.

අපේ ආර්ථිකය වර්ධනය කරගන්නේ කෙසේද? වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම ඊට ඇති හොඳම මාර්ගයයි. මිලියන විසි දෙකක ජනතාවක් වෙසෙන වෙළෙඳපොළක ඔබට ශීඝ්‍රයෙන් ඉදිරියට යාමට බැහැ. ඉදිරියට යන්න අවශ්‍ය නම් පුළුල් වෙළෙඳපොළ වෙත පිවිසිය යුතුයි. ඔබගේ අසල්වාසී රටවල්, අවට තිබෙන විශාල වෙළෙඳපොළවල් වගේම ගෝලීය වෙළෙඳපොළ උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. මෙයින් පෙනෙන්නේ අපි තව තවත් තරඟ කිරීමට අවශ්‍ය බවයි. අපි තරගකාරී වන තරමට, සාර්ථකත්වය වෙත ළඟාවීමට වඩා හොඳ ඉඩ ප්‍රස්ථා හිමි වෙනවා. තරගකාරි නොවී පුළුල් වෙළඳපොළක් වෙත පිවිසිය නොහැකියි.

පළමුවන පරාක්‍රමබාහු රජතුමා මීට වසර 800 ඉහත දී ඉතා සමෘද්ධිමත් ජීවිතයක් ගතකිරීමට වාසනාවන්ත වුණා. නමුත් එතුමා එදා ගෙන ගිය ප්‍රතිපත්තිය අද අනුගමනය කළා නම්, "අපේ ව්‍යාපාර විනාශ කරන්නේ ඇයි, අපිට පිටරට වෙළඳාම් කරන්න අවස්ථාව නැත්තේ ඇයි” යනුවෙන් එතුමාගෙන් නොයෙකුත් ප්‍රශ්න ඇසීමට ඉඩ තිබෙනවා. එතුමා, මීට වසර 800 කට ඉහත දී ජීවත්වීම එතුමාගේ වාසනාවක්. නමුත්, අපිට ව්‍යාප්ත වෙන්න පුළුවන් වන්නේ ආරක්ෂාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් ද, නැත්නම් රටෙන් පිටතට ගොස් තරගකාරීත්වයට මුහුණ දීමෙන් ද කියන කියන ගැටලුව තිබෙනවා.

1977 දී අපේ ආර්ථිකය සීමා සහිත, රට තුළ වෙළඳාම පමණක් ඉලක්ක කරගත් එකක් වුණා. එම කාලයේ අපේ කාර් එකට වසරකට ලබාගැනීමට හැකි වුණේ ටයර් දෙක බැගින් පමණක් බව මට මතකයි. අපේ රටේ ටයර් නිෂ්පාදන සඳහා අද තිබෙන විශ්වාසය අදා අපිට තිබුණේ නැහැ. කෙසේ නමුත් අපි ඒ විශ්වාසය ගොඩනගා ගත්තා. අද අපි ඇතැම් අංශවලින් වෙළෙඳපොළ ප්‍රමුඛයින් බවට පත්වෙමින් සිටිනවා. නමුත් එය තවත් ව්‍යාප්ත කරන්නේ කොහොමද කියන එක අභියෝගයක්. මම වගේම අපගේ ආණ්ඩුව විශ්වාස කරන ආකාරයට ඒ සඳහා නායකත්වය සැපයිය යුත්තේ ශ්‍රී ලංකීය ව්‍යාපාරවලිනුයි. ඒ සඳහා අපිට සෘජු විදෙස් ආයෝජන අවශ්‍යයයි. කළමනාකරණය අවශ්‍යයි. ඒ වගේම තාක්ෂණයත් අවශ්‍යයි. එදා අපේ ඇඟලුම් කර්මාන්ත සහ හෝටල් ක්ෂේත්‍රයේ කර්මාන්ත අභියෝගය භාරගෙන ඉදිරියට ගොස් සාර්ථක වුණා වගේම අනෙක් සෑම කර්මාන්තයක්ම ඒ ආකාරයට සාර්ථකත්වයට පත්කරගැනීමට අපට අවශ්‍ය වනවා. ඔබ ආරම්භයක් ගත්තොත් අනිවාර්යයෙන්ම ඔබට වාසියක් අත්වෙනවා. ඔබට ඔබ ගැන ආත්ම විශ්වාසයක් තිබෙනවා නම් ශ්‍රී ලංකාවට පැමිණෙන කර්මාන්ත සමඟ පවා තරග කිරීමට ඔබට පුළුවන් වෙනවා. එයයි අපේ ශක්තිය. පළමු වැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදීත් අප සතුවූ ශක්තිය එයයි. අප සතු හැකියාව සහ සාමාර්ථය වෙන්නේත් ඒ ශක්තියමයි.

ශ්‍රී ලංකීය පෞද්ගලික ව්‍යවසාය කඩා වැටෙනවා දැකීමට අපි කවුරුත් කැමති නැහැ. අපේ රටේ කර්මාන්ත වැසී ගොස්, රැකියා අවස්ථා අහිමි වෙනවා දැකීමට දේශපාලනඥයන් වශයෙන් අපි සතුටු නැහැ. තරගයට අවතීර්ණ වෙන්න ඔබට පුළුවන් නම් අනිවාර්යෙන්ම ඔබට වර්ධනය වෙන්නත් පුළුවන්. ඔබට ලැබී තිබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. දැනට තිබෙන වටපිටාව ඔබට හොඳටම වාසි සහගතයි. අපි ජීවත් වෙන්නේ නැගෙනහිර ආසියානු කලාපයේ. නැගෙනහිර ආසියාව යනු මීළඟ දශක දෙක තුන තුළ වර්ධනය වන විශාලතම වෙළෙඳපොළක්. එම වර්ධනය, ජනගහනය අතින් වගේම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අතින් ද සිදුවන වර්ධනයක්. අප අවතීර්ණ විය යුත්තේ එම වෙළෙඳපොළටයි.

ඒ විතරක් නොවෙයි. යුරෝපා වෙළෙඳපොළට ප්‍රවිශ්ට වීමේ සෑම අවස්ථාවක්ම අපිට තිබෙනවා. අපිට ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලැබී තිබෙනවා. අපි තව තවත් අපේ අපනයන යුරෝපා වෙළෙඳපොළට යැවිය යුතුයි. ඇඟලුම්, රබර් ටයර් සහ මාළු පමණක් නොව, තව බොහෝ නිෂ්පාදන අපනයනය කිරීම කෙරෙහි යොමු විය යුතුයි. ඒ තරගයට මුහුණදීමට අවශ්‍ය මානසික තත්ත්වය ගොඩනගා ගැනීම ඉතාම වැදගත්. මේ සඳහා යන ගමනේ දී විශාල පරිමාණයේ ව්‍යවසායකයන්ට පමණක් නොව, කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන්ටත් විශාල වගකීමක් පැවරී තිබෙනවා. ඔබට ඒ සඳහා සහාය දැක්වීම අපගේ කාර්යභාරයයි.

"එන්ටර්ප්‍රයිස් ලංකා" කියන්නේ ඒ ගමනේ ආරම්භයයි. මෙමගින් ආකාර පහළොවක් යටතේ ණය ලබාදී කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් දිරි ගන්වනු ලබනවා. එයින් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා. ඔබගේ සභාපතිතුමා කළ ප්‍රකාශය අනුව ක්‍රියා කිරීමට මා බලාපොරොත්තු වන අතරම, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සාර්ථක වන විට ඔබත් එන්ටර්ප්‍රයිස් ලංකා වැඩපිළිවෙල සමඟ සම්බන්ධ වී ඒ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන්ට මගපෙන්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. කුඩා මෙන්ම මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන් දියුණුවනවා දැකීම අපගේ අපේක්ෂාවයි. සෑම රටකම අපේක්ෂාව වන්නේ එයයි. උදාහරණයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන බලන්න. එහි ජනාධිපතිවරයා කවරෙකු වුවත් රටේ රැකියා වැඩි ප්‍රමාණයක් නිර්මාණය කළේ කවුද? ඒ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් විසින්. රටේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සාර්ථක නම් රැකියා තිබෙනවා. චීනය උදාහරණයක් ලෙස ගෙන බැලුවත් වැඩිම රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කොට තිබෙන්නේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් විසින්. එය ලෝකයේ සෑම රටකටම පොදු සංසිද්ධියක්. අපි සුවිසල් පෞද්ගලික අංශයට අනුග්‍රහය දැක්වීමට ද අවශ්‍යයි. සංවර්ධන මුල්‍ය සමාගම් ආරම්භ කිරීමට උවමනායි. මේ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල සංදේශ, මුදල් අමාත්‍යවරයා විසින් සකස් කරමින් සිටිනවා. මෙහි ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස, මහ බැංකුවත්, රාජ්‍ය බැංකු දෙකකුත් තවත් ශ්‍රී ලාංකේය බැංකු කිහිපයකුත් කටයුතු කරනවා ඇති.

මේ සමාගම ඇති වන්නටත් පෙරාතුව රුපියල් බිලියන දහයක් මෙම පාර්ශ්වකරුවන් වෙත මුදා හැරීමට අපි බලාපොරොත්තු වෙනවා. එසේ නම් මේ වසරේදීම ඔවුන්ට එම මුදල් භාවිත කළ හැකි වෙනවා. කී දෙනෙක් මේ සංවර්ධන මූල්‍ය ක්‍රමය භාවිත කරාවි දැයි අපි බලා සිටිනවා. ඔබ එය භාවිතයට යොදවනවා නම්, අපි ඔබට තව තවත් අරමුදල් ලබා දෙනවා. ඒ සඳහා ඔබ සූදානම් දැයි මා ප්‍රශ්න කරනවා. ආණ්ඩුවක් ලෙස අපට වර්ධනය වීමට අවශ්‍යයි. එම වර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යභාරය පෞද්ගලික අංශය සතු වන බව අපගේ ආණ්ඩුව වටහාගෙන තිබෙනවා. අපි කල්පනා කරන්නේ රාජ්‍ය අංශය මේ ගමන දියත් කරනු ඇති බවයි. ඒත් එය එසේ වන්නේ නැහැ. අප සිතන ආකාරය වෙනස් කළ යුතු වෙනවා. ලැබෙන අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට බිය විය යුතු නැහැ. ඔබ, ඔබගේ ස්වරූපය, සුපුරුදු රටාව වෙනස් කරගත යුතුයි. ඔබ සතුව ඒකාධිකාරයක් තියෙන්න හැකියාවක් නැහැ. ඒ වගේම නිලධාරීවාදයක් තියෙන්න හැකියාවක් ද නැහැ. ඒ වගේ දේවල් ඔබගේ ව්‍යාපාරික අවස්ථා ප්‍රමාද කරනවා. කාලය කියන්නේ ධනයයි.

මාතෘකා