'මේක මගේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කරන්න කළ කුමන්ත්‍රණයක්' | ඇස පාදන රැස


'මේක මගේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කරන්න කළ කුමන්ත්‍රණයක්'

චාමර සම්පත් දසනායක ඡායාරූපය:
.චාමර සම්පත් දසනායක

'මේක මගේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කරන්න කළ කුමන්ත්‍රණයක්'

ඌව පළාත් දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන ආර්. භවානි මහත්මිය දණ ගැස්සූ බවට කරන චෝදනාව මාගේ ප්‍රතිරූපය කෙලෙසීම සඳහා කරන ද්වේශ සහගත කුමන්ත්‍රණයක්. ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හැටියට මට විරුද්ධව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළින් මේ දිනවල ගෙන යන ප්‍රකාශ මගේ මැතිවරණ ව්‍යාපාරය අඩාල කිරීම සඳහා කරන කුමන්ත්‍රණයක්. ඒවගේම එය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය විනාශ කිරීමට දේශපාලන බලවේග කරගෙන යන ක්‍රියාවලියක්. ඒ නිසා මම තීරණය කළා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යධූරයෙන් ඉවත් වෙන්න. මාගේ කීර්තිය විනාශ කිරීමට සිදු කරන මෙම ක්‍රියාව පිළිබඳව අපක්ෂපාතීව කටයුතු කරන ලෙස මම පොලිස්පතිවරයාට ලිපියකින් දන්වා තිබෙනවා. ඒ පරීක්ෂණ අවසන් වන තෙක් මා මේ වන විට දරන ඌව පළාත් අධ්‍යාපනධූරයෙන් වහාම ඉල්ලා අස් වෙනවා.   

ඒ වගේම මේ වන තුරු ලංකාවෙ කිසිම පොලිස් ස්ථානයක ගුරුවරියව දණ ගැස්වීම හා ඇයට ද්වේශ සහගත අයුරෙන් බැණ වැදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා නැහැ. මම 12 වෙනිදා බදුල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කරලා තියනවා. ඊට අමතර සමන්ත විද්‍යාරත්න පළාත් සභා මන්ත්‍රීවරයාටත් ලංකා ගුරු සේවා සංගමයේ නිලධාරීන් දෙපළක් වන හපුගොඩ සහ වර්ශමාන යන දෙදෙනාටත් විරුද්ධව මේ වන විට නඩු පවරන්න එන්තරවාසි යවලා තියනවා. දින 14ක් බලනවා. ඉන්පසු නඩු මඟට පිවිසෙනවා. මට අභූත චෝදනා කිරීම සම්බන්ධයෙන් මම ඔවුන්ගෙන් රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලනවා.  

මුලින්ම එම විදුහල්පතිනිය මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරනවා එහෙම සිදුවීමක් වුණේ නැහැ කියල. ඉන්පසු නැවත වඩිවෙල් සුරේෂ් කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දෙමළ මහා විද්‍යාලයට ඇතුල් වෙලා විදුහල්පතිනියට අගමැතිතුමාගෙන් දුරකථන ඇමතුමක් තියෙනවා කියල අගමැතිතුමා කිව්ව විදිහට මේ කටඋත්තරය වෙනස් කරන්න කියල බලපෑම් කරල තියනවා.

ඉන් පස්සෙයි මේ විදුහල්පතිනිය නැවත මම ඇයව දණ ගැස්සුවාය, බලෙන් කටඋත්තර ගත්තාය කියල ඇගේ කටඋත්තරය වෙනස් කරන්නෙ. මම හිතන විදිහට ඒ දේශපාලන බලපෑම මතයි විදුහල්පතිනිය ඒ වගේ කටඋත්තරයක් දීලා තියෙන්නෙ. නමුත් ඊෙය් දෙවන වරටත් මේ සම්බන්ධයෙන් නැවත ස්වාධීන පරීක්ෂණයක් කරන්න කියල මම පොලිස්පතිවරයාට දැනුම් දුන්නා.   

 ඒ වගේම වඩිවෙල් සුරේෂ් කියන මන්ත්‍රීවරයාට පාසලේ ඉගැන්වීම් කාලය තුළ බලහත්කාරයෙන් පාසලට ඇතුල් වෙන්න බැහැ. පාසලකට ඇතුල් වෙන්නවත් ඒ විදිහට අයුතු බලපෑම් කරන්නවත් බැහැ. මොකද ඒක පළාත් සභාව යටතේ තියන පාසලක්. මේ සම්බන්ධයෙන් පියවර ගන්න කියල මම ඌව පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටිනවා. වඩිවෙල් සුරේෂ් විතරක් නෙමෙයි, වර්ශමාන සහ හපුගොඩ කියන්නෙ මෙවර පළාත් පාලන මැතිවරණයට ජනතා විමුක්ති පෙරමු‍ණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් දෙදෙනෙක්. ඒ දෙන්නා කොහොමද එතනට ගිහින් විදුහල්පතිනියට බලපෑම් කරන්නෙ? මේ සම්බන්ධයෙන් මම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පැමිණිල්ලක් කරන්න ඉන්නෙ. ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය ජනප්‍රිය කරගන්න වගේම අපේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කරන්නයි මේ අය මේ කටයුතු කරන්නෙ. ඇත්තටම මේක මැතිවරණ දූෂණ ක්‍රියාවක්.  

මේක මුස්ලිම් දරුවෙක් පාසලට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් වන ප්‍රශ්නයක්. මේ වඩිවෙල් සුරේශ් කියන මන්ත්‍රීවරයා මේ සිදුවීමෙදි ක්‍රියා කළ ආකාරය දෙස බැලුවාම පෙනී යන්නෙ ඔවුන් මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාව අතර විශාල ජාතිවාදී අරගලයක් ඇති කිරීමට මේ ප්‍රශ්නය පාදක කරගෙන ඇති බවයි. සිංහල දරුවෙක් වෙනුවෙන් නෙමෙයි මම මේ ඉදිරිපත් වෙලා තියෙන්නෙ. දෙමළ විද්‍යාලයකට 5%ක් මුස්ලිම් දරුවො ඇතුළත් කරගන්න ඕනේ. එම නිසා දෙමළ බාලිකා විද්‍යාලයේ චක්‍රලේඛය අනුව 5%ක් මුස්ලිම් දරුවන් ඇතුළත් කරගන්න ඕනේ.   

ඒ වගේම ගුරු සංගමේ ජෝසප් ස්ටාර්ලීන් යන අය කියනවා මේ සම්බන්ධයෙන් මම වරදකරු කියල. ඒ නිසා මාව අත්අඩංගුවට ගන්න කියලා. ජෝසප් ස්ටාර්ලීන්ට මම කියනවා මාව අත්අඩංගුවට ගන්න කලින් බලන්න බදුල්ලෙ පොලිසියක මං ගැන පැමිණිල්ලක් තියනවාද කියල.

[ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක]