හෙළ උරුමයේ සහාය එජාප ආණ්ඩුවකට

 ඡායාරූපය:

හෙළ උරුමයේ සහාය එජාප ආණ්ඩුවකට

ජාතික හෙළ උරුමය හා එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන අවබෝධතා ගිවිසුම ප්‍රකාරව යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවනු ලබන ආණ්ඩුවකට සිය සහාය පළ කරන බව ජාතික හෙළ උරුමය පවසයි.
අවබෝධතා ගිවිසුම අනුව ජාතික හෙළ උරුම සාමාජිකයන් දරන මන්ත්‍රී ධුරවල අයිතිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට වීම හේතුවෙන් අනාගතයේදීද ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීමට ජාතික හෙළ උරුමය තීරණය කර තිබේ. ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා 'රැස'ට පැවසුවේ මේ දක්වා යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ තවදුරටත් පවත්වාගෙන යාම පිණිස තම පක්ෂය මෙම තීරණය ගෙන ඇති බවය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ගැනීමට කිසිසේත් නොහැකි වන අතර, ඒ අනුව හුදු ප්‍රකාශ නිකුත් කිරීමෙන් ඵලක් නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුගිය මහ මැතිවරණයට ජාතික හෙළ උරුමය තරග කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටවූ සන්ධානය වන එක්සත් ජාතික පෙරමුණෙනි. ඇමති පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන හා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන හිමි විය.

මාතෘකා