කිළිනොච්චියේ ගංවතුර අලාභය තක්සේරු කර ආධාර ලබාදෙනවා : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

කිළිනොච්චියේ ගංවතුර අලාභය තක්සේරු කර ආධාර ලබාදෙනවා : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

“කිලිනොච්චි, මුලතිව් ප්‍රදේශවල පසුගිය සති අන්තයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පවුල් 38000කට මේ වන විට හානි සිදු වී තිබෙනවා. නිවාස, කෘෂිකර්මාන්තය, වෙළඳාම, සුළු කර්මාන්ත ආදිය විනාශයට පත් වී තිබෙනවා. ආර්ථික වශයෙන් නොදියුණු කිලිනොච්චි, මුලතිව් දිස්ත්‍රික්ක සඳහා මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල බලපෑමක් සිදු වී තිබෙනවා.

ජල ගැලීමෙන් විපතට පත් පුද්ගලයින් ලබාගෙන ඇති ණය සඳහා පොලිය අය කර ගැනීම මසකට ප්‍රමාද කරන ලෙස දන්වනවා. බැංකු ණය අය කර ගැනීමත් තාවකාලිකව අත්හිටුවා ඒ සඳහා ලබාදිය හැකි සහන පිළිබඳව අදාළ බැංකු සමඟ සාකච්ඡා කරනවා. ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහ ප්‍රාදේශිය සභාවේ සහාය ඇතිව ප්‍රදේශයේ ළිං පොම්ප මඟින් පවිත්‍ර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා.

කෘෂිකර්මාන්තයට, වී වගාවට විශාල ලෙස හානි සිදු වී තිබෙනවා. සත්ත්ව පාලනය සඳහා ඇති කළ ගවයන්, එළුවන් සහ කුකුළන් වැනි සතුන්ගේ ජීවිත නැති වී තිබෙනවා. කුඩා ව්‍යාපාර ගණනාවකට හානි වෙලා තිබෙනවා. එම සිදු වූ අලාභ තක්සේරු කර ආධාර ලබාදීමට අපි කටයුතු කරනවා.

අලාභ වූ සමහර නිවාසවලට සහ කෘෂි අංශය සඳහා රක්ෂණය මඟින් මුදල් ලබාදීමට කටයුතු කරනවා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. උතුරේ අවතැන් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පසුගියදා (28) කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“මෙම ප්‍රදේශ සඳහා සහන ලබාදී සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට මේ වන විට අපි කටයුතු කරනවා. උතුරේ ජනතාව මෙම ගංවතුර තත්ත්වයට මුහුණ දුන් අවස්ථාවේදී කඩිනමින් සහන ලබාදීමට, ජීවිත ආරක්ෂා කර දීමට මූලිකව කටයුතු කළ දිස්ත්‍රික් ලේකම්වරුන් දෙදෙනාට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ටද, පරිපාලන යාන්ත්‍රණයටද මම මේ අවස්ථාවේදී ස්තූතිවන්ත වෙනවා.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියද මෙම අවස්ථාවේදී විශාල සේවයක් සිදු කළා. සෞඛ්‍ය සේවාව මගින්ද විශාල ලෙස ආධාර උපකාර ලැබුණා. ස්වේච්ඡා සංවිධාන ගණනාවක ආධාර ලැබුණා. ආගමික නායකයින්ගෙන් ආධාර උපකාර ලැබුණා. ඒ සියලු දෙනාටම රජය වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා.

“මෙම අවස්ථාවේ සියලු දෙනාගෙන්ම ලැබුණු උදවු උපකාර නිසා ජීවිත ගණනාවක් බේරා ගැනීමට හැකි වුණා. පසුගිය 23 වැනිදා මෙම දිස්ත්‍රික්කයේ නිලධාරීන් සහ පළාත් සභාවේ නිලධාරීන් මෙම ස්ථානයේ හමු වී සාකච්ඡා සිදු කළා. 24 වැනි දින රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිතුමා මේ පළාත් නියෝජනය කරන අනෙකුත් මන්ත්‍රීවරුනුත් හමු වී සාකච්ඡා කළා. මධ්‍යම ආණ්ඩුව යටතේ පවතින ආයතන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අමාත්‍යාංශ මඟිනුත් මීට සම්බන්ධ වී කටයුතු කළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙන්ද මේ වන විට සහනාධාර ලබා දී තිබෙනවා.

“ඒත් ජල ගැල්මේ තර්ජනය අවසන් වී නැහැ. ඒ සඳහා අපි අවධානයෙන් සිටිය යුතුයි. මෙම ජල ගැල්මෙන් විපතට පත් වූ සියලුම දෙනාට අපි පළමුවෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරනවා.

මෙම ආධාර සති දෙකක පමණ කාලයකට ලබා දෙනවා. නිවාස හානි වූ සියලු දෙනාට රුපියල් 10000ක දීමනාවක් ලබා දෙනවා. ගංවතුරෙන් විපතට පත් වූ හැම දෙනාටම මෙම වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දිනට පෙර ආධාර මුදල් ලබා‍දෙන්න කටයුතු කරනවා. ගංවතුරින් ආපදාවට ලක් වූ අයගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් අපි අවධානය යොමු කරනවා. හෙට දිනයේ කොළඹ නගර සභාවෙන් කණ්ඩායමකුත් මෙහි පැමිණෙනවා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු වෙනවා. ඊට අමතරව ආණ්ඩුකා‍රතුමා සමඟත්, ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් සමඟත් සාකච්ඡා කර ඉදිරි කටයුතු සිදු කරනවා.

“තවත් එක් මූලික ගැටලුවක්ව පවතින්නේ ප්‍රාදේශීය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමයි. ඒ සඳහා සියලු ප්‍රාදේශීය සභා වෙත යම් මුදල් ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කරනවා. ඔවුන් විසින් ඇස්තමේන්තුවක් සකස් කර ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි කටයුතු කරනවා.

මූලික වැඩ කටයුතු සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යතුමා සමඟ යළිත් සාකච්ඡාවක් සිදු කරනවා. සෞඛ්‍ය සහ නිවාස අමාත්‍යවරුන්ද, අනෙකුත් ඇමතිවරුන්ද මෙම ස්ථානයට පැමිණෙන බවට ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟත් මෙම වැඩ කටයුතු සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස මා දන්වනවා. මාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාත් මෙහි පැමිණ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීම් කරනවා.

ඊට අමතරව මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් සමඟ කොළඹදී සාකච්ඡා කිරීමටද මම කටයුතු කරනවා. මෙම ප්‍රදේශයේ සංවර්ධනය සඳහා අපි වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන නිසා ඒවාද අනාගතයේ අපි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.”

මාතෘකා