පාර්ලිමේන්තුව

 ඡායාරූපය:

පාර්ලිමේන්තුව

සති කිහිපයක් තිස්සේ පැවැති දේශපාලන අර්බුදය සමනය වෙමින් තිබෙන තත්ත්වයක් තුල පාර්ලිමේන්තුව ඊයේ(18)රැස් විය.පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී විශේෂ කටයුතු කිහිපයක්ම සිදු විය. වේත්‍රධාරී සෙංකෝලය තැන්පත් කරනු ලැබීමෙන් අනතුරුව කථානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඪ වීමෙන් පසු පාර්ලිමේන්තුවේ කටයුතු ඇරැඹිණි. මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

පාර්ලිමේන්තුවේ වෙනත් පිරිසක් ඉන්නවා. (ව්‍යවස්ථාව කියවයි.) පාර්ලිමේන්තුවට තේරී පත් වුණු මන්ත්‍රීවරයෙක් ඒ තේරී පත් වුණු ව්‍යවස්ථාවෙන් ඉවත් වූ පසු ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වන බව ව්‍යවස්ථාවේ තියෙනවා. මෙතැන බහුතරයක් පොහොට්ටුවේ.

මහින්ද විපක්ෂනායක කිරීම ගැන නීති ප්‍රශ්න දෙකක් මතුවෙයි

 

එම් ඒ සුමන්තිරන් මහතා

සභාවේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි කැබිනට් මණ්ඩලයේ සහ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති. ජනාධිපති තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා. ජනාධිපති යටතේ අමාත්‍යාංශ තුනක් තිබෙනවා. එනිසා එහි සාමාජිකයකුට විපක්ෂනායක වෙන්න බෑ. ව්‍යවස්ථාවේ පැහැදිලිව එය කියනවා. ව්‍යවස්ථාවේ පැහැදිලිවම තියෙනවා තේරී පත්වූ පක්ෂයේ සාමාජිකත්වය අවසන් වූ පසු මාසෙකින් පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අවසන් වෙන බව.

කථානායක - මේ සම්බන්ධයෙන් ලිඛිතව ලබාදෙන්න. ඉන් පසු මම මගේ තීරණය දැනුම් ‍ දෙන්නම්..... ඒ ගැන මම හොයලා බලන්නම්.

සුසිල් ප්‍රේමජයන්ත මහතා

පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තේරී පත් වෙලා ඉන්නේ පක්ෂ 6කින්. එක්සත් ජනතා නිදහස් සන්ධානය තරග කළේ පක්ෂ කිහිපයක් එකතු වෙලා.

මේ පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක් තමයි එක්සත් ජාතික පෙරමුණ අතර සම්මුතියක් ඇති කර ගත්තේ. ඒ අනුව තමයි අමාත්‍ය ධුර ගණන වැඩිකරගෙන තිබෙන්නේ. ශ්‍රීලනිපයෙන් මන්ත්‍රීවරුන් තේරී පත් වෙලා නෑ මේ පාර්ලිමේන්තුවට.

එක්සත් ජනතා නිදහස් සන්ධානය තමයි විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වෙන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකුට විපක්ෂනායක වෙන්න කිසිම ගැටලුවක් නෑ.

දිනේෂ් ගුණවර්ධන - ආණ්ඩු පක්ෂයට පසු වැඩිම මන්ත්‍රීවරුන් සිටින කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානය යැයි කථානායක ප්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා විපක්ෂනායක ලෙස නම් කළ බවත් ඔබතුමා ප්‍රකාශයට පත් කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ඉන්න නිසා විපක්ෂනායක වෙන්න බෑ කියලා බොළඳ තර්කයක් ඉදිරිපත් කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ලෙස සිටියදී මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ලෙස කටයුතු කළා. මේ බොළඳ විරෝධතා සලකන්නේ නැතුව පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට කළා.

ලක්ෂ්මන් කිරිඇල්ල - චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කැබිනට් අමාත්‍ය ධුර දැරුවේ නෑ. ජනාධිපති විතරයි.

රවුෆ් හකීම් මහතාද මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම ගැන නීති තර්ක දෙකක් මතු කරයි. සන්ධාන මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරු පාර්ලිමේන්තුව සභා ගැබෙන් ආණ්ඩු පක්ෂයට ගොස් අසුන් ගත්හ.

මාතෘකා