මම ඡන්දය දිනුවා නම් දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ

 ඡායාරූපය:

මම ඡන්දය දිනුවා නම් දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ

පා. ම. සරත් ෆොන්සේකා

මම ජනාධිපති වුණා නම් බිලියන 12ක් දාලා මගේ දිස්ත්‍රික්කය විතරක් සංවර්ධනය කරන්නේ නෑ. මම ජනපති වුණා නම් උදේට එකක් රෑට එකක් කියන්නේ නෑ. දවල් මිගෙල් රෑ දනියෙල් වැඩ කරන්නේ නෑ. මම ජනපති වුණා නම් මා ගැනම පොතක් ලියලා ඒක මගේ දුවගේ නමින් පළ කරන්නේ නෑ” යැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“පසුගිය එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් හා ජනපති අතර පැවැති සාකච්ඡාවේදී නැවත වරක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාව මතක් කරලා තියෙනවා. මං හිතනවා තමාව මතක් නොකර ජනාධිපතිවරයාට කිසිවක් කරගන්න බැහැ කියලා. මම ඡන්දය දිනුවා නම් දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ. තුට්ටු දෙකේ වැඩ කරන්නේ නෑ. මම එක්සත් ජාතික පක්ෂයෙන් ජනපති වුණා නම් එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ කකුළෙන් අදින්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ පක්ෂයේ නායකත්වය භාර ගන්නේ නෑ. මම ජනපති වුණා නම් සුමාන දෙකකට වරක් පිටරට යන්නෙත් නෑ. මම ඇමති ලෙස කටයුතු කරන අවස්ථාවේදී කිසිම අවස්ථාවක රජයේ මුදිලින් විදේශ සංචාරවලට එක් වී නෑ. මම මාස 10ක් පාවිච්චි කළේ මගේ පෞද්ගලික වාහනය. මම ජනපති වුණා නම් කොහේ ගියත් පණ බයේ කතා කරන්නේ නෑ. මම ජනපති වුණා නම් රංගේ කියලා මන්ත්‍රීවරුන් කොටා බාන්නේ නෑ.”

මාතෘකා