බලයක් නැති කණ්ඩායමක් රට පාලනය කිරීම පුරවැසියන් ලෙස අප පිළිගත යුතුද?

 ඡායාරූපය:

බලයක් නැති කණ්ඩායමක් රට පාලනය කිරීම පුරවැසියන් ලෙස අප පිළිගත යුතුද?

ජවිපෙ නායක අනුර දිසානායක

අපේ රට මේ තරම් විගඩම්කාරී, විකට, අරාජික තත්ත්වයකට පත් කළේ ජනාධිපතිවරයායි. ආර්ථිකය කඩාවට්ටලා, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කොට, ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රට හෑල්ලුවට ලක් කළේ ජනාධිපතිවරයායි. ඒ නිසා ඔහු කළ මෙම දේශපාලන අපරාධයට හෘද සාක්‍ෂියක් තිබෙනවා නම් ඔහු ජාතියෙන් සමාව ගත යුතු බව අපි අවධාරණය කරනවා. තවදුරටත් තමන්ගේ දේශපාලන කුමන්ත්‍රණය ඉදිරියට ගෙන යාමට උත්සාහ නොකොට ව්‍යවස්ථාවට ගරු කරමින් කටයුතු කරන ලෙස අපි ජනාධිපතිවරයාට බල කරනවා. එසේ නොකොට හිතුවක්කාරී ලෙස තවදුරටත් ක්‍රියා කරන්නේ නම් ජනාධිපතිවරයා නොහිතන පන්නයේ ජනතා නැඟිටීම් සිදු වීමට ඉඩ ඇති බව අපි අවධාරණය කරනවා” යැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. පසුගියදා (03) පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී අටවාගත් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. එය පාර්ලිමේන්තුවේ විවාද කිරීමට රාජපක්‍ෂ කණ්ඩායම බාධා කළා. එම බාධා මධ්‍යයේ විශ්වාසභංග යෝජනාව සම්මත කරගත්තා. මන්ත්‍රීවරුන් 122කගේ අත්සන් ලේඛනයත් ඒ සමඟ ජනාධිපතිවරයාට බාර දුන්නා. ඒ අනුව 15 වැනිදා කථානායකවරයා විසින් තවදුරටත් අගමැතිවරයෙක් නොමැති බවත් ආණ්ඩුවක් නොමැති බවත් ප්‍රකාශයට පත් කළා. එය පිළිගැනීමට ජනාධිපතිවරයා සූදානම් නොමැති තත්වයක් තුළ 16 වැනිදාත් විශ්වාසභංගයක් යළි පාර්ලිමේන්තුවට ගෙනාවා. එහිදීත් රාජපක්‍ෂ කණ්ඩායම විශ්වාසභංගය විධිමත් විවාදයකට ඉඩ නොතබා මිරිස්කුඩු ප්‍රහාර එල්ල කළා. පාර්ලිමේන්තුවේ උපකරණ කඩා බිඳ දැම්මා. කථානායකවරයාගේ පුටුව පෙරළලා සෙංකෝලය තබන මේසය පෙරළලා මුග්ධයන් ලෙස හැසිරුණා. නමුත් එම බාධා මධ්‍යයේ කථානායකවරයා සභාගර්භයට පැමිණ විධිමත් ආකාරයෙන් විශ්වාභංගය සම්මත කරගත්තා.

“ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකරන තත්ත්වයක් තුළ අපට ගත හැකි එකම ක්‍රියාමාර්ගය වූයේ අභියාචනාධිකරණයට යාමයි. මන්ත්‍රීවරුන් 122කගේ මැදිහත්වීමෙන් අභියාචනාධිකරණයට ගොස් අපි ඉල්ලා සිටියා, 14 වැනිදා සම්මත කරගත් විශ්වාසභංගය සම්මත වී තිබෙන හෙයින් මහින්ද රාජපක්‍ෂට අගමැතිවරයා ලෙසත් කැබිනට් මණ්ඩලයට ඇමතිවරුන් ලෙසත් ක්‍රියා කිරීමට බලයක් නැති බව ප්‍රකාශයට පත් කරන්න කියලා. ඒ අනුව අභියාචනාධිකරණය ඉතාමත් වැදගත් තීරණයක් ලබාදී තිබෙනවා. නඩු විභාගය අවසන් වන තෙක් අටවා ගන්නා ලද ආණ්ඩුව අත්හිටුවා තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික, බලහත්කාරී, විකෘති සිතුවිලිවලට අනුව වැඩකිරීම අත්හිටුවා තිබෙනවා. පාර්ලිමේන්තුවේ විශ්වාසභංගය සම්මත වී තිබියදීත් කථානායකවරයා විසින් අගමැතිවරයෙක් හෝ කැබිනට් මණ්ඩලයක් නොමැති බව ප්‍රකාශයට පත්කර තිබියදී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය කැඳෙව්වා. විවිධ තීන්දු-තීරණ ගත්තා. සෙල්ලම් ඇමතිවරු තමන්ගේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් රැකියා දෙන්න පටන් ගත්තා. මෙවැනි සෙල්ලම් ආණ්ඩුවක් රට පාලනය කිරීම පුරවැසියන් පිළිගත යුතුද? කුමන දේශපාලන මතය දැරුවත් නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී, පාර්ලිමේන්තුවේ බලයක් නැති කණ්ඩායමක් රට පාලනය කිරීම පුරවැසියන් ලෙස අප පිළිගත යුතුද? මේ ආකාරයට ජනාධිපතිවරයාට හිතෙන පරිදි තමන්ට හිතවත් ඕනෑම කල්ලියක් වටකරගෙන රට පාලනය කළ හැකිද?

“14 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත වූ විශ්වාසභංගයත් 15 වැනිදා කථානායකවරයාගේ විශේෂ ප්‍රකාශයත් අභියාචනාධිකරණය විසින් තහවුරු කොට තිබෙනවා. අපි මෛත්‍රීපාල සිරිසේනට කියනවා ඔහුගේ තීරණ වැරදි බව ඕනෑවටත් වැඩියෙන් දැන් ඔප්පු කර තිබෙන බව. පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය, අගමැතිවරයා පත් කිරීමේ ගැසට් නිවේදනය, ඇමතිවරුන් පත් කිරීමේ ගැසට් නිවේදනය අධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා. ජනාධිපතිවරයකුගේ තීරණවලට අත්විය හැකි බරපතළම තත්ත්වය දැන් ඇති වෙලා තිබෙනවා. එම නිසා අපි ජනාධිපතිවරයාට කියනවා, එම ගැසට් නිවේදන ඉල්ලා අස්කරගත යුතුයි කියලා. පාර්ලිමේන්තුවේදීත්, අධිකරණයේදී දෙවතාවකුත් ඔහුගේ ක්‍රියාමාර්ග පරාජයට පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා දැන් විකෘති සිහියෙන් මිදිය යුතුව තිබෙනවා. බහුතර කණ්ඩායමට ආණ්ඩුව ලබාදිය යුතුව තිබෙනවා.

“මේක රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණයක්. මෛත්‍රීපාල සිරිසේනත්, මහින්ද රාජපක්‍ෂත් එක්වී බලය පැහැරගත් දේශපාලන කුමන්ත්‍රණයක්. එම රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණය අදාළ බරින් තේරුම් ගත යුතුව තිබෙනවා. රනිල්, මහින්ද යාළු මිත්‍රයන් වී කරට අත දා ගැනීමෙන් මෙම ප්‍රශ්නය කෙළවර කිරීමට අපි ඉඩ තියන්නේ නැහැ. මෙවැනි රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණවලට පිළිතුරක් ලබාදිය යුතුයි. එනිසා මෙම දේශපාලන කුමන්ත්‍රණයට හවුල්වූවන්ට දඬුවම් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තුව මැදිහත් වී පනතක් සම්මත කරගැනීමෙන් කොමිසමක් පත් කළ යුතු බව අපි අවධාරණය කරනවා. එම කොමිසමේදී අපේ රටේ මාධ්‍ය ආයතන කුමන්ත්‍රණකරුවන්ගේ පැත්තේ සිට ක්‍රියාකිරීම සම්බන්ධයෙන්ද වගවිභාග කළ යුතුව තිබෙනවා. මෙවැනි දේශපාලන කුමන්ත්‍රණයක් සිදු වන විට ඊට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට මාධ්‍යවලට විශාල වගකීමක් තිබෙනවා. කාර්යභාරයක් තිබෙනවා.”

මාතෘකා