දැන් නඩු තීන්දු දෙකක් දීලා තියෙනවා : එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

දැන් නඩු තීන්දු දෙකක් දීලා තියෙනවා : එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ

අපේ මීළඟ සටන තිබෙන්නේ ජනතා වරම අනුව යළිත් ආණ්ඩුවක් හදා රට පාලනය කොට කිසිදු බියක් සැකක් නොමැතිව පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගියදා (03) ගාල්ලේදී එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ ‘යුක්තියේ ජනහඩ’ විරෝධතා රැළියට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“අධිකරණය මේ අයට කියලා ති‍යෙන්නේ පලයව් කියලා. දෙවියන්ගේ නාමයෙන් යන්න කියලා අපි මේ අයට කියනවා. අධිකරණයෙන් කියලා තියෙන්නේ ආණ්ඩුවකට විරුද්ධව නොව පුද්ගලයින්ට විරුද්ධව දෙන තීන්දුවක් කියලා. මෙතන නීත්‍යනුකූලව අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් හදලා බලධාරියා පත් කරන්න පුළුවන්. මේ නිසා රටේ පාලනයට හානියක් නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන මන්ත්‍රීවරයා තමයි අගමැතිවරයා වෙන්නේ. අපි මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගෙන තියෙනවා. එම දිවුරුම් ප්‍රකාශ ජනාධිපතිවරයාට දෙනවා.

“2015දී අපි කියන දේ විශ්වාස කරලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කළා. අපට ආණ්ඩු බලය දුන්නා. මාව අගමැති කළා. අපට අවශ්‍ය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න. මම එකක් කියනවා, අපි ජනතාවගේ වරම පාවා දෙන්නේ නැහැ. ව්‍යවස්ථාව දූෂණය කරන්න දෙන්නේ නැහැ. අයිතිය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපේ සටන ජනතාවගේ වරම අනුව යළිත් ආණ්ඩුවක් හදලා රට පාලනය කරලා පාර්ලිමේන්තු මැතිවරණයකට යාමයි. ඒ සඳහා අපි බය නැහැ. මැතිවරණයක් සඳහා එක්සත් ජාතික පෙරමුණේ අය පමණක් නෙවෙයි, සන්ධානයට, ජ.වි.පෙට, ද්‍රවිඩ සන්ධානයට ඡන්දය දුන්නු අය එකඟ විය යුතුයි. ඒ සියලු දෙනාම තීන්දු කරන්න අවශ්‍යයි ඡන්දයකට යනවාද නැද්ද කියලා. අපි යහපාලනයක් ඇති කළා. අපට ආණ්ඩුව දෙන්න, ඒ අනුව පක්ෂ සියල්ල කැඳවලා ඒ අය එකඟ නම් ඡන්දය පවත්වන්න සූදානම් කියලා අපි කියනවා. ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණ, ජ.වි.පෙ සහ ද්‍රවිඩ සන්ධානය එකඟ විය යුතුයි.

“ජවිපෙ කියලා තියෙනවා 2019 ඡන්දය පවත්වන්න ඕන කියලා. ඒ අයට තියෙන්නේ ද්‍රඩිඩ සන්ධානයට කතා කරන්න. ඒ අනුව ද්‍රවිඩ සන්ධානයේ සහයෝගයත් අරගෙන ඡන්ද තියෙන දිනය තීරණ කරන්න කියලා තමයි අපි කියන්නේ. අපට අවශ්‍ය වන්නේ ජනතාවගේ තීරණයයි. ඒ අය කිව්වොත් වේලාසනින් ඡන්දයට එනවා කියලා අපට ප්‍රශ්නයක් නැහැ. රූපවාහිනියෙන් කතා කරලා අධිකරණයට බලපෑම් කරන එක නෙවෙයි කරන්න ඕන. ද්‍රවිඩ සන්ධානය සමඟ කතා කරලා එකඟතාවකට එන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ එකඟතාව ලබා දෙන්නම්. දැන් ඔක්කොම ඉවරයි. ගිය ගමන ඉවරයි. නඩු තීන්දු දෙකක් දීලා තියෙනවා. රටේ අස්ථාවර තත්ත්වයක් ඇති කරලා වැඩක් නැහැ. මේ රටේ සංචාරකයින් නැහැ, රුපියල කඩා වැටිලා, බඩු මිල වැඩි වෙනවා, නිල ඇඳුම් නැහැ. ව්‍යවස්ථාව අනුව ඡන්දයක් තිබිය යුතුයි. ඒ අනුව විතරයි ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා වන්නේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් 19 වැනි සංශෝධනයේදී දුන්න පොරොන්දුව තමයි ජයග්‍රහණය කළේ. අපි ජ්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. ජනතාවට වටිනාකමක් දීලා තියෙනවා ව්‍යවස්ථාව අනුව ආණ්ඩුවක් ඇති කරන්න. පාර්ලිමේන්තුව බහුතරයක් තියෙන මන්ත්‍රීවරයා තමයි අගමැතිවරයා ලෙස පත්කරන්නේ. ‘ 77 ඉඳලා කළේ ඒ විදියට.”

මාතෘකා