මහින්ද මහත්තයාගේ රාජයෝගය මැරෙන කල් නළලේ කොටලා තියෙනවා : පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම

 ඡායාරූපය:

මහින්ද මහත්තයාගේ රාජයෝගය මැරෙන කල් නළලේ කොටලා තියෙනවා : පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම

අපි කලබල වෙන්න ඕන නැහැ. මහින්ද මහත්තයාගේ කේන්දරේ තවමත් හරිම බලවත්. එතුමාට රාජයෝගය මැරෙන කල් නළලේ කොටලා තියෙනවා. මගේ කොටලා තියෙන්නේ සිකුරුයෝගයයි. උගුල් ඇටෙව්වාට එතුමාගේ රාජයෝගය වට්ටන්න බැහැ. නඩු තීන්දුව එනකල් මේ ආණ්ඩුව වැටෙන්නේ නැහැ. නඩු තීන්දුවෙන් පස්සේ අපි තීරණයක් ගමු” පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගියදා (02) බදුල්ලේ පැවැති පොදුජන පෙරමුණේ පාක්ෂික හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“දැන් කණ්ඩායමක් ඉන්නවා, නිතරම ඇවිත් වැරදි අදහස් එතුමාට දෙනවා. හරිම කලබලයෙන් ඇවිත් අරක කරන්න මේක කරන්න කියලා කියනවා. මට පේන්නේ මේ ඔක්කොම කටයුතු කරන්නේ මහින්ද මහත්තයාගේ ජනප්‍රියත්වයට ගහන්න. මොකද මහින්ද මහත්තයා තරම් ජනප්‍රිය මිනිහෙක් ලංකාවෙත් නැහැ, ලෝකයෙත් නැහැ කියල මට හිතෙනවා. ඉන්නවා නම් ඉන්නේ රුසියාවේ පුටින් විතරමයි. ඒ නිසා මහින්ද මහත්තයාගේ ජනප්‍රියත්වය බස්සන්න සමහර අය උගුල් ඇටෙව්වාද කියන සැකය මතු වෙලා තියෙනවා.

“හම්බන්තොට වරාය චීනුන්ට විකුණනවාට අපි විරුද්ධ වුණාම එදා ඒ ආණ්ඩුවේ ඇමතිවරයා කිව්වේ නැහැ මම මේකට අත්සන් කරන්නේ නැහැ කියලා. ඒ ඇමතිවරයා ලංකාවට ලොකු ගෞරවයක් ලබාදීපු ලෝක පූජිත ක්‍රීඩකයෙක්. එයා මේ ගිවිසුමට අත්සන් කරන්න බැහැ කියල කිව්වම එයා එම ඇමතිකමෙන් ඉවත් කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් දාලා ඒ ගිවිසුම අත්සන් කළා. ඒ විතරක් නෙවෙයි, ඒ සඳහා වූ චෙක්පත රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ක එකතු වෙලා මාධ්‍යයෙන් පෙන්නුවා. ඒ පෙන්නපු ඇමතිවරයාත් එක්ක වෙල්ගමට ගිහිල්ලා එකට වාඩිවෙන්න පුළුවන්ද කියල මම තමුන්නාන්සේලාගෙන් අහනවා. අපේ අනාගත පරපුරට රටක් ඉතිරි කරන්න ඕන. දේශපාලනය කියල අපට රට අමතක කරන්න බැහැ. රට තමයි එක. මහින්ද රාජපක්ෂ මහත්තයා අහස් යාත්‍රාවෙන් බැහැලා මේ පොළොව ඉඹලා කිව්වා පළමුවත් රට, දෙවනුවත් රට, තුනත් රට කියලා. රට තමයි එක. රටේ ඊළඟ පරම්පරාවට බොරුකාරයො වෙන්න අපිට බැහැ. මත්තල ගුවන්තොටුපොළ විකුණන්න ගිවිසුම් අත්සන් කළේ නැද්ද? අත්සන් කළා, තාම ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් අත්සන් කළා. මේකයි ඇත්ත. මේ වගේ අය එක්කද රට ගෙනියන්නේ? අන්න ඒවා ඔළුවට ආ නිසා තමයි මම කිව්වේ ඇමතිකම් ගන්නේ නැහැ කියල. හැබැයි මං පොහොට්ටුවේ සලකුණ යටතේ මහින්ද මහත්තයාට සලකලා මගේ ඡන්දය දෙනවා. ඒ විතරක් නෙවෙයි, තුනෙන් දෙකටත් මගේ ඡන්දය දෙනවා. හැබැයි මම කිසිම තනතුරක් ගන්නේ නැහැ. සමහර අය වරදවා තේරුම් ගත්තත් මම ඉදිරිය බලලයි කතා කරන්නේ.

අපි ආණ්ඩුවේ සිටියත් එකයි, විපක්ෂයේ සිටියත් එකයි. මොකද අපි අවුරුදු 4ක්ම විපක්ෂයේ සිටියා. ඒ අවුරුදු 4දී ඔය අලුත් කණ්ඩායම එන්න ඉස්සෙල්ලා අපි මහින්ද මහත්තයාගේ ඇඟේ මදුරුවෙක් වහන්න දුන්නේ නැහැ. අපි 54 දෙනා එතුමා ඇහැක් වගේ ආරක්ෂා කළා. මේ රටේ රාජ්‍ය නායකයා හැටියට මහින්ද රාජපක්ෂ වගේ උත්තමයෙක් තවත් අවරුදු පන්සීයකට ලංකාවේ උපදින්නේ නැහැ. ඒක සක්සුදක් සේ මම කියනවා. අන්න ඒ නිසා තමයි අපි එතුමා ආරක්ෂා කළ යුත්තේ. 19 වැනි සංශෝධනයෙන් මගේ බලතල ඔක්කොම ඉවරයි කිව්වාට, ජනාධිපති බලතල නෑ ජනාධිපති රූකඩයක් කිව්වාට, මං ගාව තිබ්බ සේරම දුන්නා කිව්වාට, දැන් මට බලයක් නැහැ කිව්වාට දැන් දැක්කද ජනාධිපතිතුමාට තියෙන විධායක බලතල? පේනවානේ ඒක. ඒ බලතල එහෙම ඉවත් කරන්න බැහැ. ඒ බලතල තවමත් තියෙනවා. අපිත් අන්න ඒ වගේ බලතල තියෙන ජනාධිපතිවරයෙක් ලෙසට මහින්ද රාජපක්ෂ මහතා යළිත් පත් කරමු. අනෙක් පක්ෂවල කිසි කෙනෙක් එතුමාගේ කිට්ටුවෙන්වත් තියන්න බැහැ. අන්න ඒ නිසා අප එතුමා ආරක්ෂා කළ යුතුයි. එතුමා මේ රටේ අගමැති කරලා සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? මුළු රටම ඉල්ලන්නේ එතුමා. අපි එතුමා පත් කළ යුත්තේ අගමැතිකමට නෙවෙයි, ජනාධිපතිවරයා හැටියටයි. එතකොට අපි කාටත් නිදහසේ හුස්ම ගන්න පුළුවන්.

මාතෘකා