වසර තුනේදි කළ වැඩත් ඉදිරියේදි කරන වැඩත් අගමැති මොනරාගලදී හෙළි කරයි

 ඡායාරූපය:

වසර තුනේදි කළ වැඩත් ඉදිරියේදි කරන වැඩත් අගමැති මොනරාගලදී හෙළි කරයි

පුරාණ මුතුන් මිත්තන්ගේ සහජ හැකියාවන් යළි පණ ගන්වමින් ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්ගේ පාරාදීසයක් බවට පත් කිරීම සඳහා වත්මන් රජය ආරම්භ කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා වැඩසටහන පිළිබඳ දැනුම ජනතාවට ලබාදීමේ අරමුනින් ආරම්භ කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය (29) මොනරාගලදී ජනතාව ඉදිරියේ කළ කතාව,

“ඇඟට දැනෙන සංවර්ධනයේ වෙනස අද ගමට ගෙන ඒමට අපට හැකි වුණා. රටේ වෙනසක් ඇති කිරීමට 2015 දී ජනතාව අපට වරම් 2 ක් ලබාදුන්නා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලෙස තෝරා ගැනීමටත් අපේ ජාතික ආණ්ඩුව ඇති කිරීමටත් ඔබ අපට බලය ලබාදුන්නා. අප මෙවැනි විශාල ප්‍රදර්ශනයක් පවත්වන්නේ එහි ප්‍රතිඵල ඔබට පෙන්වීමටයි. ජනාධිපතිතුමාත් මෙම විශාල ප්‍රදර්ශනයට සහභාගී වීමට සිටියත් 'බිම්ස්ටෙක්' කලාපීය රාජ්‍ය නායකයින්ගේ සමුළුවට සහභාගී විය යුතු නිසා එතුමාට ඊට සහභාගී වීමට නොහැකි වුණා.

2013 වන විට ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 1,137 යි. නමුත් අපේ ණය වාරික ගෙවීමට රුපියල් බිලියන 1,162 ක් අවශ්‍ය වී තිබුණා. අප ණයවලින් පිරුණ ආර්ථිකයක් භාර ගත්තා. එදා හිටපු ජනාධිපතිතුමා යටතේ තිබූ මහා මාර්ග පිළිබඳ අමාත්‍යංශයෙන් අත්පත් කරගත් ඉඩම් සඳහා ජනතාවට වන්දි ගෙවීමට රුපියල් මිලියන 40,000 ක් අවශ්‍යව තිබුණා. අපේ රජය බලයට පත්වීමෙන් පසු අපට මේවා ගෙවීමට සිදුවුණා. පසුගිය ආණ්ඩුව දේශීය බැංකු හරහා රුපියල් බිලියන 54,000 ක් ණය ලෙස ලබාගෙන තිබෙන්නේ මාර්ග ඉදිකිරීම සඳහායි. නමුත් මාර්ග ඉදිකළ කොන්ත්‍රාත්කරුවන්ට ඔවුන් මුදල් ලබා දී තිබුණේ නැහැ. එම මුදල් කොන්ත්‍රාත්කරුවන්ට ලබාදීම අපට සිදු වුණා.

2005 සිට 2015 දක්වා ඔවුන් මහාමාර්ග ඉදිකිරීම් කිලෝ මීටර 183 ක් ඉදිකළා. නමුත් පසුගිය ආණ්ඩුවේ පරණ පව් ගෙවමිනුත් අපි 2015 සිට 2017 දක්වා මහා මාර්ග කිලෝමීටර 185 ක් ඉදි කිරීමට අපට හැකි වූ අතර මධ්‍යම අධිවේගයේ වැඩකටයුතු අවසන් වන විට එම ප්‍රමාණය තවත් වැඩි වෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩ කටයුතු වෙනුවෙන් 2015 වසර වන විට රුපියල් මිලියන 23,164 ක් ගෙවීමට අපිට සිදු වුණා. හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපල ආදිය සඳහා රුපියල් මිලියන ලක්ෂ 3 ක් ගෙවීමට අපට සිදුව තිබුණා. අප වැඩකටයුතු ආරම්භ කළේ ඒ ණය කන්දරාව ගෙවා දැමීමෙන් පසුවයි. රාජ්‍ය ගොඩනැගිලි සංස්ථාව තමන් භාර ගන්නා විට මිලියන 530 ක ණය මුදලක් තිබූ බව සජිත් ප්‍රේමදාස ඇමතිතුමා මා සමඟ පැවසුවා.

අධ්‍යාපන අමාත්‍යංශය භාර ගන්නා විට විධිමත් විදුහල්පතිවරුන්ගේ 4,000 ක පුරප්පාඩු පැවතුණා. අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 854 ක්, ගුරු අධ්‍යාපන සේවයේ පුරප්පාඩු 1,700 ක් ආදිය පුරවමින් අප නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කළා. පාසල් වැසිකිලි හිඟය අති විශාල ගැටළුවක්ව පැවතුණා. අලුුතින් වැසිකිලි 26,000 ක් ඉදිකළා. නමුත් එයත් ප්‍රමාණවත් වුණේ නැහැ.

2015 වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබාගෙන තිබූ ණය ප්‍රමාණය රුපියල් මිලියන 26,250 ක්. මේ ණය ගෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීමට අපට සිදුවුණා. තව ආදායම් මාර්ග ඇති කිරීමට අකමැත්තෙන් හෝ VAT වැඩි කිරීමටත් ඒ වෙනුවෙන් බැනුම් ඇසීමටත් අපට සිදුවුණා. නමුත් අද අපිට ණය ගෙවීමේ හැකියාව ඇතිවී තිබෙනවා. රටේ ආර්ථික ස්ථාවරභාවයක් දැන් ඇති වී තිබෙනවා. අපට පළමුවෙන්ම කඩුළු ආරක්‍ෂා කර ගැනීමට සිදු වූ බව ඔබට පැවසුවේ එම නිසයි. එය ලෙහෙසි කාර්යයක් නොවෙයි.

ජි.එස්.පි ප්ලස් සහනය ලබාගනීමින් නැවත යුරෝපීය වෙළඳපලට ඇතුළු වීමට අපට හැකිවුණා. ඇඟලුම් අපනයන වැඩිකර ගැනීමට ධීවර අපනයන වැඩි කරගැනීමට අපට හැකිවුණා. 2017 වසර වන විට ඩොලර් මිලියන 11,000 ක අපනයන ආදායමක් ලැබුණා. ලංකා ඉතිහාසයේ වාර්තා වූ වැඩිම අපනයන ආදායම වන්නේ එයයි. නමුත් මගේ අදහස ඉන් සෑහීමකට පත් නොවී එය තවත් වර්ධනය කරගත යුතුයි යන්නයි.

අපි පොරොන්දු වූ පිරිදි බලයට පත්වීමෙන් පසු රැකියා ආදායම් මාර්ග ලක්ෂ 7 ක් ඇති කළා. ඉන් රැකියා ලක්ෂ 4 ක් අර්ථසාධක අරමුදල් ලැබෙන ස්ථිර රැකියා වන අතර අනෙක් ලක්ෂ 3 කෘෂිකර්ම, ස්වයං රැකියා සහ වෙනත් අංශයන් ඔස්සේ ඇතිකර තිබෙනවා. අපේ සංචාරකයින් ප්‍රමාණය මිලියන 2 ක් දක්වා වැඩිකර ගැනීමට අපට හැකිවී තිබෙනවා.

2020 වන විට රටේ ණය බර දළ දේශීය ආදායමින් 70% කට සීමා කිරීමට අප බලාපොරොත්තු වුණා. එම අපහසු කාලයේත් අප ජනතාව අමතක කළේ නැහැ.

හෘද රෝග ප්‍රතිකාර සඳහා නොමිලේ ස්ටෙන්ට් ලබාදීමට අපට හැකිවුණා. අක්ෂී කාච නොමිලේ ලබාදීමටත් වෙළඳ පොලේ ඇති අක්ෂි කාච 37ක මිල පාලනය කිරීමටත් අප කටයුතු කළා. පිළිකා රෝගින්ට ප්‍රතිකාර දීමනාව ජීවිතාන්තය දක්වා ලබාදීමට අප කටයුතු කළා. අත්‍යාවශ්‍ය ඖෂධ 48ක මිල අඩු කළා. 1919 සුව සැරිය ගිලන් රථ සේවාව දීපව්‍යාප්ත කිරීමට අප කටයුතු කළා.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ප්‍රාථමික පාසල් 3,578ක් සහ ද්විතීය පාසල් 1,000 ට අධික ප්‍රමාණයක් වෙනුවෙනුත් ගොඩනැගිලි සහ අනෙක් පහසුකම් ලබාදීමට කටයුතු කළා. පෝෂ්‍යදායි ආහාර ලබාදීමට කටයුතු කළා. පෝෂ්‍යදායි ආහාර ලබාදීමේ වැඩසටහන යටතේ පාසල් දරුවන් මිලියනයකට ප්‍රතිලාභ දීමට අපට හැකි වුණා. සුරක්ෂා රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම, පාසල් ගුරුවරුන් බඳවා ගැනීමෙන් දේශපාලනය ඉවත් කිරීම, මහපොළ ආධාර රුපියල් 2,500 සිට 5,000 දක්වා වැඩි කිරීම ශිෂ්‍යාධාර ලබාදීම රුපියල් 2000 සිට රුපියල් 4000 දක්වා වැඩි කිරීම ආදි ප්‍රතිලාභ රැසක් අපේ ආණ්ඩුව යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉටු වුණා.

ගැබිණි මාතාවන්ට ලබාදෙන රුපියල් 20,000 දීමනාව අප තවමත් ලබා දෙනවා. 2014 දී සමෘද්ධි ලබාදුන් උපරිම 1,500ක මුදල රුපියල් 3,000ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළා. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රුපියල් 10,000 කින් වැඩි කරමින් විශ්‍රාම වැටුප් වැඩි කරමින්, අප රාජ්‍ය සේවකයන්ට ප්‍රතිලාභ ලබා දුන්නා. පොලිස් සේවයේ වැටුප් වැඩි කිරීම, පුද්ගලික අංශය වෙනුවෙන් රු. 10,000 අවම වැටුප් ප්‍රමාණය තීරණය කිරීම, රුපියල් 2,500 වැටුප් වැඩිකිරීමට යෝජනා කිරීම ආදියද අපේ ආණ්ඩුව යටතේ ගනු ලැබූ පියවරයන් බව සඳහන් කළ යුතුයි.

ඇත්ත වශයෙන්ම 2014 ජීවන වියදම සමඟ සසඳන විට වර්තමානයේ පහසුවෙන් ජීවත් විය හැකි තත්වයක් නිර්මාණය වී තිබෙනවා. උදාගම්මාන 1,100ක් ඉදිකිරීම දැන් ආරම්භ කර තිබෙනවා. වතුකරයේ නිවාස 10,000 ව්‍යාපෘතිය, වතුකරයේ ගම්මාන ඉදිකිරීම් වැඩසටහන අප මේ වන විටත් ආරම්භ කර අවසන්.

අඩු ආදායම්ලාභි නාගරික ප්‍රදේශවල ජීවත්වන ජනතාවට තට්ටු නිවාස ලබාදීම, මධ්‍යම පාන්තිකයන්ට පණවා ඇති කොන්දේසි මත ණය ලබාදීම අදි සියලු කටයුතු අප පසුගිය වසර 03ක් වැනි කෙටි කාලයකදි සිදු කළ කාර්යයන්. තරුණ සේවා සභාව හරහා ක්‍රියාත්මක කරන ගමට කෝටියක් වැඩසටහන හරහා මේ වන විට ග්‍රාම සංවර්ධනය වෙනුවෙන් ලක්ෂ 10,000 වැඩි මුදලක් අප ලබාදී තිබෙනවා. තව දින කිහිපයකින් චෙන්කලාඩි සිට මොනරාගල දක්වා වන මාර්ග සංවර්ධන වැඩසටහන ආරම්භ කරනවා.

මොනරාගල දිස්ත්‍රික්කයේ වාරිමාර්ග කටයුතු සඳහා රුපියල් මිලියන 7,500ක් ලබාදී තිබෙනවා. කුඩා ව්‍යාපෘති ආරම්භ කිරීමට අප ආධාර උපකාර ලබා දෙනවා. ග්‍රාම ශක්ති ව්‍යාපාරය, මොරගහකන්ද ව්‍යාපාරය ආදිය ආරම්භ කිරීමට අප මුදල් ලබාදී තිබෙනවා. මේ සියල්ල අප සිදු කළේ බොරුවට බෙර ගසමින් නොවේ. නමුත් අද එහි ප්‍රගතිය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය තුලින් පෙනෙන්නට තිබෙනවා. දැන් අප හොදින් ලකුණු රැස් කරමින් ජයග්‍රහණය වෙනුවෙන් වැඩකටයුතු කළ යුතුයි.

ගම්පෙරලිය හරහා ගමට මුදල් ලබාදීමට අප කටයුතු කරනවා. එන්ටර්ප්‍රයිස් වැඩසටහන හරහා රටේ ව්‍යවසායකයන්ට ණය ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කර තිබෙනවා. සාමාන්‍ය ණයක් ලබාගැනීම වෙනුවට ආණ්ඩුවේ මැදිහත් වීමද සමඟ ඔබට ණය ලබාදීමේ ක්‍රමයක් අප ඇති කර තිබෙනවා. රටේ සියලුම ගම්මානවල ගම්පෙරළිය වැඩසටහන ඉදිරියේදී ආරම්භ කරනවා. මාර්ග ඉදිකිරීමට නිවාස ඉදිකිරීමට අප තවත් මුදල් ලබා දෙනවා.

මේ රට 2025 වනවිට දියුණු රටක් බවට පත් කරනවා. ඔබ වෙනුවෙන් රැකියා ඇති කිරීමට ආදායම් වැඩි කිරීමට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට ආදි වැඩසටහන් ගණනාවක් අප ක්‍රියාත්මක කරනවා. අපේ එකම අරමුණ ඔබ වෙනුවෙන් හොඳ අනාගතයක් නිර්මාණය කිරීමයි. 2015 දී ඔබ දුන් වරමත් සමඟ අපට අභියෝගයක් භාර වුණා. අපි එම අභියෝගයට මුහුණ දුන්නා. බැනුම් ඇසීමට අපට සිදුවුණා. පැවති ප්‍රාදේශීය සභා මැතිවරණය පරාජයට පත්වීමට සිදුවුණා. නමුත් රට ගොඩගැනීමේ මූලික පරමාර්ථය ඇතිව අප කටයුතු කළා. ඒ අනුව අපි ඉදිරියට ගියා”

මාතෘකා