බැසිල් ලා විශේෂ මහාධිකරණයට බය ඇයි? : පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අසයි

 ඡායාරූපය:

බැසිල් ලා විශේෂ මහාධිකරණයට බය ඇයි? : පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අසයි

රජය ස්ථාපිත කර ඇති ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණවලට එරෙහිව රාජපක්ෂලා දැන් කෑගසන්නේ පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණවලට තමන් සම්බන්ධ බවට ඔවුන්ගේ හෘදය සාක්ෂිය දන්නා නිසා බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පෙරේදා (28) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

තවදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා,

'අපි දැන් ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවා දිනපතා නඩු අසන්න කටයුතු කර තිබෙනවා. දැන් බැසිල් රාජපක්ෂ මහතා කියලා තිබෙනවා, ඒ අය බලයට ආව දවසක මේ විශේෂ මහාධිකරණ අහෝසි කරනවා කියලා. ඇයි මේවාට බය වෙන්නේ? ඇයි හැංගෙන්නේ? ඇයි තමන්ගේ නඩු අහනකොට ඉහළ අධිකරණවලට ගිහින් ඒ නඩු අහන්න එපා කියලා නියෝග ඉල්ලන්නේ?

තමන් පිරිසුදු නම්, තමන් වංචා කරලා නැතිනම්, තමන් දූෂණවලට සම්බන්ධ නැතිනම් ඕනෑම උසාවියකට ගිහින් බය නැතිව නඩුවලට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් හා ආත්ම විශ්වාසයක් තිබෙන්න ඕනෑ.

මෙතැන තිබෙන දේ ඒ අයට ආත්ම විශ්වායක් නෑ මේ නඩුවලට මුහුණ දෙන්න. ඒ අයගේ හෘදය සාක්ෂිය දන්නවා ඒ අය මේ වංචා දූෂණවලට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. ඒ අය ජනතාවගේ මුදල් අවභාවිත කරලා තිබෙනවා කියලා.

කාගෙන් ගැලවුණත් තමන්ගේ හෘදය සාක්ෂියෙන් ගැලවෙන්න බෑ. හෘදය සාක්ෂියට මුහුණ දෙන්න බැරි නිසා තමයි ඒ අය කියන්නේ අපි ආවාම මේවා අහෝසි කරනවා කියන්නේ, එසේත් නැතිනම් මේ නඩු අහන්න එපා කියලා ඉහළ අධිකරණවලින් නියෝග ඉල්ලන්නේ මේ තිබෙන බය නිසයි. එහෙම බය ඒ අය මේ වැරදිවලට සම්බන්ධ නිසයි. වැරදි කරලා නැතිනම් කවුරුවත් බය වෙන්න ඕනෑ නෑ. තමන් හෘදය සාක්ෂියට එකඟව ජනතාවගේ මුදල් අවභාවිත කර නැතිනම් අපිට මේවාට බය වෙන්න වුවමනාවක් නෑ' යැයිද පැවැසීය.

මාතෘකා