පෞද්ගලික රෝහල්වල මිල නියාමන ගැසට් පත්‍රය ඉදිරි සතියේදී : ඇමති රාජිත සේනාරත්න කියයි

 ඡායාරූපය:

පෞද්ගලික රෝහල්වල මිල නියාමන ගැසට් පත්‍රය ඉදිරි සතියේදී : ඇමති රාජිත සේනාරත්න කියයි

සණස ව්‍යාපාරයේ 40 වන සංවත්සරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී පසුගියදා (26) පස්වරුවේ දී පැවැත්විනි. මෙහිදී නව මුහුණුවරකින් සණස ලාංඡනය එළිදැක්වීම, සණස ග්‍රන්ථ එළිදැක්වීම, සණස සේවක උපහාර පිරිනැමීම සහ සණස සමරු මුද්දරය නිකුත් කිරීම සිදු විය.

“රටේ තිබූ වැරදි දේශපාලනය බල තණ්හාව මත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. බොරු කියනවා නම් ප්‍රගමනයක් නැහැ. සුමට ගමනක් නැහැ. දුක්විඳ රටවල් නිර්මාණය කළ යුතුයි. විප්ලවය අපිරිසිදු බව ලෙනින් පවා ප්‍රකාශ කළා. නමුත් විප්ලවයෙන් පසු පාරිශූද්ධ ලෝකයක් ඉදිරියේ දී නිර්මාණය වනවා. රටවල් වෙනස් කළ යුතුයි. ඒ සඳහා කැපවිය යුතුයි. අපේ රට තුල ද සාමය සමාදානය ඉතාම වැදගත්. එම නිසා තමයි උතුරේ සිට දකුණ දක්වා සණස ව්‍යාපාරය බිහි වන්නේ. විශ්වීය මිනිසා බිහි කළ යුතුයි. ජාති, ආගම්, කුල භේද ව්‍යාපාරයකට වැඩක් නැහැ. අදත් බෙදුම්වාදය ගැන කථා කරනවා. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්න පුළුවන්. ජාතිවාදය මුල්කර ගනිමින් කථා කිරිම තමයි අපට වැරදුන තැන.

2015 වසරේ දී විදුලිපුටු, දේශප්‍රේමය ගැන කථා කරද්දී නව දේශයක් බිහි කිරීමේ අරමුණින් වත්මන් රජය බිහි කළා. එය නිවැරදි තීන්දුවක්. අන්තවාදී බලවේග පරාජයට පත් වුනා. අපේ ගමනට සමහරු එකතු වූයේ වෙනසකට පමණයි. ඇතැම් අය විවිධ හේතු නිසා එකතු වුනා. නමුත් කොටසක් අවංකව නායකත්වය ලබාදුන්නා. සුදුවෑන් සංස්කෘතිය, උතුරේ භීෂණය, මුස්ලිම් ජනතාවට සිදු කළ බලපෑම් අපි නැති කළා. විවිධ පාඩු සිදු වුනා. නමුත් එවැනි ක්‍රියාකාරකම් සිදු නොකර රටක් නිර්මාණය කරන්න බැහැ. සමාජ විප්ලවය ගැන අවබෝධයක් නොමැති පිරිසකුත් ඒ අතර හිටියා. නමුත් සමාජ ප්‍රගමනය ඉදිරියට ගියා. සෑම වෙනසක්ම පාරිශුද්ධභාවයෙන් සිදු වෙන්නේ නැහැ. ගමන යනවිට සිදුවන වැරදි නිවැරදි කරමින් ඉදිරියට ගමන් කරනවා.

වසර 30 ක කාලයක් යුද්ධයක් පැවැතුනා. එය නිමා කිරීමට නායකත්වය ලබාදුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ වැනි නායකයින්. අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ලබා දිය යුතුයි. ඖෂධ සමාගම්වල බලපෑම් මත අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කළා. තවත් දින කිහිපයකින් ඖෂධ වර්ග 26 ක මිල අඩු කරනවා. සෞඛ්‍ය යනු වෙළෙද ව්‍යාපාරයක්ම පමණක් නොව සේවාවක් ද විය යුතුයි. පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරීමේ ගැසට් පත්‍රය ද ඉදිරි සතියේ දී නිකුත් කරනවා. මම ප්‍රායෝගික අත්දැකීම්වල සිටිමින් තමයි කථා කරන්නේ. එක ප්‍රතිපත්තියක අපි සිටිය යුතුයි. ඩොලර් බිලියන එකහමාරක වත්කමක් සතු සණස ව්‍යාපාරය ගොඩනැංවීම අපට ආදර්ශයක්. ඒ ආකාරයට රට ගොඩනැගීමට අපට බැරි ඇයි.”

මාතෘකා