සිංගප්පූරු නිදහස් වෙ‍ෙළඳ ගිවිසුමට විශ්ලේෂණ කමිටුවක් ඇමැති මහින්ද සමරසිංහ

 ඡායාරූපය:

සිංගප්පූරු නිදහස් වෙ‍ෙළඳ ගිවිසුමට විශ්ලේෂණ කමිටුවක් ඇමැති මහින්ද සමරසිංහ

බැඳුම්කර ගැටලුවලට කොමිසමක් පත් කර එම ගැටලුව විසඳීමට කටයුතු කළා සේම සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මඟින්ද රටට අයහපත් ප්‍රතිඵල ඇති වෙනවාද යන්න ගැන සෙවීමට ජනාධිපතිවරයා කමිටුවක් පත් කිරීමට කටයුතු කර ඇති බවත්, මාස දෙකක් තුළ සම්පූර්ණ වාර්තාවක් ලබාදීමට එතුමා කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පසුගියදා (19) පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධව මේ වන විට රටේ කතිකාවතක් ඇති වී තිබෙනවා. මේ ගැන විවිධ අය විවිධ ප්‍රතිචාර දක්වනවා. පාර්ලිමේන්තුවේ පවා මේ ගැන විවාද කෙරුණා. ජනාධිපතිවරයා රටේ මෙවැනි කතාබහක් ඇති වන හැම විටම තමන්ගේ පැත්තෙන් ගත යුතු පියවර ගන්නවා. සංවේදී නායකයෙකු ලෙස එතුමා මේ ගැන සොයා බලා මාස දෙකක් තුළ වාර්තාවක් ලබාදීම සඳහා ස්වාධීන විද්වත් කමිටුවක් පත්කර තිබෙනවා.

“එම කමිටුවේ සභාපතිවරයා වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතායි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආර්.ඒ. ජයතිස්ස යන මහත්වරු එහි සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනවා.

“රටට අයහපත් කරුණු මේ වාර්තාවේ තිබෙනවා නම් ඒවා ගැන විශ්ලේෂණය කර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එම කමිටුවට උපදෙස් දී තිබෙනවා. මෙම ගිවිසුම අත්සන් කිරීම සිදු වුණේ නීතිපතිවරයාගේද නිර්දේශය මත කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුවයි. මෙය අත්සන් කර වසරක් ඇතුළත සංශෝධනය කිරීමේ අවස්ථාව ඇති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙ‍ෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසුවා. ඒ අනුව කමිටුවේ නිර්දේශ මත ගත යුතු පියවර ගත හැකියි.

“කවුරුත් මේ ගැන කුලප්පු විය යුතු නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටවල විවිධ මතිමතාන්තර, දේශපාලනමය සටන් පාඨ ආදී විවිධ දේ කතා කරන්න පුළුවන්. ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසමක් පත් කළේත් එවැනි අවස්ථාවකයි. එතුමා එහිදීත් ජනතාව ඉල්ලූ දෙයට ප්‍රතිචාර දැක්වූවා මිස අනවශ්‍ය ඇඟිලි ගැසීම් කළේ නැහැ”

මාතෘකා