ඒකාබද්ධයේ තිත්ත ඇත්ත ඇමති චම්පික හෙළි කරයි

 ඡායාරූපය:

ඒකාබද්ධයේ තිත්ත ඇත්ත ඇමති චම්පික හෙළි කරයි

ඒකාබද්ධ විපක්ෂයේ හොඳ චරිත සිටිය හැකි බවත් මහින්ද රාජපක්ෂ මහතාට තම සහෝදරයින්ටත් වඩා තම දරුවන් වැදගත් වී ඇති බවත් ඒ අනුව ඉදිරි කාලයේ දරුවන්ට අවශ්‍ය විදිහට පාර හදනවා මිස, ඒකාබද්ධ විපක්‍ෂය රටටවත්, රටේ ජනතාවටවත්, රටේ අනාගතයටවත් පාර හදන තැනක් නොවන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

රත්නපුර සමන් දේවාලය ආශ්‍රිතව සිදු කෙරෙන සංවර්ධන කටයුතු නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් පසුගියදා අමාත්‍යවරයා මේ බව පැවැසීය.

එම නිරීක්‍ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙසේ පැවැසීය.

“ඇත්ත වශයෙන්ම මේ රජයට ලබාදුන් ජනවරමේ කොටසක් සිටියේ ජාතික මංකොල්ලය ගෙන ගිය පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර යුක්තිය ඉටු කරයි කියන බලාපොරොත්තුවෙන්. මමත් පිළි ගන්නවා ඒ පැත්තෙන් අපේ ආණ්ඩුවෙත් අසාර්ථක භාවයක් තිබෙනවා. එය නිවැරදි කර ගැනීම ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ ප්‍රබල වගකීමක්. ජනතාවගේ මනාපයෙන්, ඡන්දයෙන් ඇවිල්ලා ජාවාරම් කාරයින්ට අවශ්‍ය විදිහට හැසිරෙන පුද්ගලයන් ගැන තීරණ ගැනීම ජනතාවගේ වගකීමක්.

ඒ වගේම මේ කරුණු කියා දුන් අය හැටියට අපි පොරොන්දු වෙනවා ජනතාවට මේ පිළිබඳ අඛණ්ඩ අරගලයක නියැලෙනවා. මම තමයි මුලින්ම 2015 ජනවාරි 21දා අද රටේ තිබෙන අධිකරණ ක්‍රමයට මේ ප්‍රශ්න විසඳන්න බැහැ. ඒ නිසා විශේෂ අධිකරණයක් අවශ්‍යයි කියන යෝජනාව ගෙනාවේ. එදා ඒ සඳහා අනුමැතිය ලැබුනේ නැහැ. නමුත් පසුව හැමොටම එය අවශ්‍ය කාරණයක් හැටියට පිළිගන්න සිදුවෙලා තිබෙනවා. අද ඒවා ස්ථාපිත කරන්න කටයුතු කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එමගින් යුක්තිය ඉටු වෙයි කියා.

ඒකාබද්ධ විපක්ෂයේ හොඳ චරිත ඉන්න පුළුවන් නමුත්, මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පවුලෙන් පිට කිසිම කෙනෙකුට පදවියක් තානාන්තරයක් ලැබෙන්න දෙන්නේ නැහැ. එතුමාගේ සහෝදරයින්ටත් වඩා දැන් එතුමාට වැදගත් වෙලා තිබෙන්නේ එතුමාගේ දරුවෝ. ඒ අනුව ඉදිරි කාලයේ දරුවන්ට අවශ්‍ය විදිහට පාර හදනවා මිස, ඒකාබද්ධ විපක්‍ෂය රටටවත්, රටේ ජනතාවටවත්, රටේ අනාගතයටවත් පාර හැදෙන තැනක් නෙමෙයි. "

මාතෘකා