ඉදිරියේදී බිහි වන හැම නගරයක්ම පරිසර හිතකාමී නගරයක් : අමාත්‍ය පාඨලී චම්පික රණවක

 ඡායාරූපය:

ඉදිරියේදී බිහි වන හැම නගරයක්ම පරිසර හිතකාමී නගරයක් : අමාත්‍ය පාඨලී චම්පික රණවක

පරිසරය සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා වැඩසටහන් කීපයක් වත්මන් රජය ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී ආරම්භ කෙරෙන සියලුම ව්‍යාපෘති පරිසර හිතකාමී ලෙස ක්‍රියාත්මක කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (08) මහනුවර ප්‍රදේශයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"වාහන ඉන්ධන, ගල් අඟුරු දහනය ඇතුළු පරිසරයට හානි වන සෑම දහනයකින්ම පරිසරයට එක්වන කාබන්ඩයොක්සයිඩ් වායු කිලෝග‍්‍රෑම් 1.2ක් ගසක් විසින් වසරකදී උරා ගනු ලබනවා. එමෙන්ම ජල සංරක්‍ෂණයට, තාප වායු දහරා පාලනයට ගසට හැකියාව තිබෙනවා. මහනුවර තමයි රටේ තිබෙන වායු දූෂණය වැඩිම නගරය. කොළඹ නගරයේ වායු දූෂණය පාලනය වී ඇත්තේ මුහුදු සුළං හේතුවෙන්. ඉන්දියාවේ දිල්ලි, කල්කටා, මුම්බායි යන නගරවල වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති ප්‍රමිතියට වඩා හැත්තෑ ගුණයකින් වැඩි වී තිබෙනවා. ඒ අනුව ඒ නගර මිනිස්සුන්ට ජීවත් විය නොහැකි නගර බවට පත් වී තිබෙනවා.

නමුත් අපට ආඩම්බරයෙන් කියන්න පුළුවන් දෙයක් තිබෙනවා. ඒක තමයි 2008 වසරේදී මා පරිසර ඇමතිවරයා හැටියට සිටින විටදී ප්‍රවාහන අමාත්‍යාංශයත්, පරිසර අමාත්‍යාංශයත් එකතුව කරපු වායු විමෝචන ක්‍රියාවලිය නිසා කොළඹ නගරය හා අවට නගරවල දූෂණය වර්ධනය වීම සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙන බව පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපද විශ්වවිද්‍යාල සිදු කළ පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙනවා.

ඒ වගේම අපි වායු දූෂණය මනින ක්‍රියාදාමයක් මධ්‍යම පරිසර අධිකාරියෙන් පවත්වාගෙන යනවා. නමුත් අපට මේ ගෝලීය වශයෙන් එල්ලවන ප්‍රශ්නයෙන් ගැලවෙන්න බැහැ. ඒ අනුව අපි එක පියවරක් හැටියට නාගරික සංවර්ධනයේදී පරිසර හිතකාමීත්වය මාර්ගෝපදේශයක් හැටියට අපි ඇතුළු කර තිබෙනවා. තමන්ගේ බලශක්තිය පරිසර හිතකාමී ලෙස සිදු කරගන්න, ජලය ප්‍රතිචක්‍රීයකරණය කර ගන්න. ඒ වගේම හැකි තරම් දුරට නගර නිර්මාණයේදී විවෘත ස්ථාන ඇති කර ඒවායේ ගස් කොළන් ආදිය ඇති කර හිතකාමී තත්වයක් ඇති කරන්න. මේකට හොඳම උදාහරණය වරාය නගරය. වරාය නගරයේ බිම් ප්‍රමාණයෙන් 30%කට වැඩි ප්‍රමාණයක් විවෘත භූමියක් හැටියට පවත්වාගෙන යන්න කටයුතු කරන්න. ඉදිරි කාලයේදී සෑම නගර සැලසුමකදීම පරිසර හිතකාමීව පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා"

මාතෘකා