මහින්දානන්ද වගේ නෙවෙයි ‘මම කෙළින් මිනිහෙක්’ : පා.ම. කුමාර වෙල්ගම

 ඡායාරූපය:

මහින්දානන්ද වගේ නෙවෙයි ‘මම කෙළින් මිනිහෙක්’ : පා.ම. කුමාර වෙල්ගම

මම මහින්දානන්ද වගේ කොන්ද පණ නැති මිනිහෙක්‌ නොවෙයි. කෙළින් කතා කරන කෙළින් මිනිහෙක්‌" යෑයි ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා (07) කළුතර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන පළාත් පාලන ආයතන නියෝජිතයන් හා අපේක්‍ෂකයන් දැනුවත් කිරීම සඳහා කළුතරදි පැවැති රැස්‌වීමකදීය.

“මම වසර 36 ක්‌ ශ්‍රීලනිපයේ ආසන සංවිධාකවරයෙක්‌. මට ඒක ලැබුණේ ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමා බණ්‌ඩාරනායක මැතිනියගෙන්. මම දේශපාලනයට එන කාලේ මේ නාමල්ලා ඉපදිලා නැහැ. රෝහිතලා ජංගියේ චූ කර ගන්න කාලේ. පියල්ලා ගැන කතා කරල වැඩක්‌ නැහැ. එදා මගේ නායකයා වූයේ රත්නසිරි වික්‍රමනායක මහතා. පසුකාලෙක එනම් 2015 ජනාධිපතිවරණයෙන් පසු විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව, දිනේෂ් යන කණ්‌ඩායම "මහින්ද සුළඟ" කියලා රැස්‌වීමක්‌ නුගේගොඩ තිබ්බා. ඒකට ගියොත් ශ්‍රීලනිපයෙන් ඉවත් කරන බව කිව්වා. ඒකට මම ඇතුළු කීප දෙනෙක්‌ ගියා.

මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා පත්තරේකට කියල තියෙනවා කුමාර වෙල්ගම ගැන කතා කරලා වැඩක්‌ නැහැ. එයා විකට චරිතයක්‌ රඟපානවා කියලා.

මහින්දානන්ද මහත්තයට මම කියන්න ඕන තමුසෙට එදා කොන්දක්‌ තිබුණා නම් නුගේගොඩ රැස්‌වීමට නෑවිත් හැංගිලා බලන් ඉන්නේ නැහැ. මේ ගෙනියන්නේ අනුන්ගේ කොන්ත්‍රාත් එකක්‌. විපක්‍ෂයේ ඉඳන් ආණ්‌ඩුවට ඩීල් දාන අය ඉන්නවා. මට නම් වුණත් කියන්න පුළුවන්. ඒත් උඩ බලාගෙන මුහුණට කෙළ ගහගන්න බැහැ. වෙල්ගම කෙළින් මිනිහෙක්‌. තමුසෙ වගේ කොන්දක්‌ නැති මිනිහෙක්‌ නොවෙයි.

මම මහින්ද රාජපක්ෂ මහත්තයට වුණත් කියන්න තියෙන දේ මූණටම කියනවා. මට එදා විපක්‍ෂ නායකකම දෙන්න කියලා එජනිස මන්ත්‍රීවරු ඉල්ලුවේ දක්‍ෂතාව හා කෙළින් කතා කරන ගුණය නිසයි.

අපට නව ජනාධිපතිවරු ඉල්ලන්න අවශ්‍ය නැහැ. අපි බලාපොරොත්තු වන්නේ මහින්ද විතරයි. ඔහුගෙන් තොර ලෝකයක්‌ මට නැහැ. මට ජනාධිපති වෙන්න ඕන නැහැ. අවුරුදු 36 ක්‌ ආ ගමනේ මට හුඟක්‌ දුර පේනවා. එදා මහින්දානන්දලා හිටියේ චන්ද්‍රිකා පිලේ. දැන් ලොකුවට කතා කරනවා. ඒ අයගේ ඔළුවෙ තියෙන්නේ වෙන ප්‍රශ්න. ඒවට ඉඩ දෙන්න බැහැ”

මාතෘකා