ඖෂධ පනත අතුරුදන් වූ හැටි ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

 ඡායාරූපය:

ඖෂධ පනත අතුරුදන් වූ හැටි ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

නිමල් සිරිපාල සිල්වා ඇමතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ධුරයට පත් වෙද්දී එතුමාව මේ ආකාරයෙන් පිළිගැනීමට එවක නායකයන්ට හෘද සාක්ෂියක් තිබුණේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ පසුගියදා (31) නෙළුම්පොකුණ රඟහලේ ‘සුවපති අභිෂේකය’ නමින් පැවති අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත උපහාර දැක්වීමේ උළෙලට සහභාගි වෙමිනි. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති ධුරයෙන් පිදුම් ලැබීමෙන් රටට සහ ජනතාවට ලැබෙන ගෞරවය භුක්ති විඳින අවස්ථාවක ඔබ ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

“අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා පසුගිය වසර 60කට 70කට ආසන්න කාලයක සිට ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රතිඵල ලබමින් අද මුළු මහත් ලෝකය අපේ සෞඛ්‍ය සේවාව පිළිගන්නා යුගයක්. 2015 ජනවාරි මාසයෙන් පසුව මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව සැබෑ ලෙසම නිදහස් සෞඛ්‍ය සේවාවක් කරන්න ගෙන ගිය රජයේ වැඩපිළිවෙළේදි එයට විශිෂ්ට නායකත්වයක් දුන් රාජිත සේනාරත්න ඇමතිතුමා අද සුවපති අභිෂේකය ලබද්දී ඒ සතුට මා ලබන්නේ මගේ හෘද සාක්ෂියට අනුව අවංකව ඔහුට සුබ පතිමින්.

“රාජිත සේනාරත්න මැතිතුමනි, ඔබ මේ තනතුරට පත් වීමේදී ඔබට සුබපතන්න මම ආවේ ඉමහත් සතුටින්. මගේ ඇමතිවරයා, රටේ ඇමතිවරයා, අපේ ඇමතිවරයා ලෝකය පිළිගෙන තිබෙනවා. ඔබට අද තිබෙන වාසනාව එදා ලෝක සෞඛ්‍ය සංවිධානය මා පිළිගනිද්දී මට තිබුණේ නැහැ. නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා මෙහි සිටිනවා.

එතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ධුරයට පත් වෙද්දී එතුමාව මේ ආකාරයෙන් පිළිගන්න එවක නායකයන්ට හෘද සාක්ෂියක් තිබුණේ නැහැ. 2013දී මත්ද්‍රව්‍යවලට, දුම්කොළවලට, සිගරට්වලට, මද්‍යසාරවලට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තිකයන් සමඟ එක්ව ගෙනගිය සටන එදා ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්තා. ඒ අනුව ඔවුන් එදා මා ඇගයීමට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ උත්සවයක් සංවිධානය කළා.

ඊට අතිවිශාල පිරිසක් එක්රොක් වෙලා සිටියා. එවෙලාවේ අරලියගහ මන්දිරයෙන් ඇවිත් රාජ්‍ය නායකයාට කතා කරන්න තිබූ නිල පෝඩියම් එක ඔවුන් ආපහු ගලවාගෙන ගියා. න්‍යායපත්‍රයේ රාජ්‍ය නායකයාට කතාවක් තිබියදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින්, ජිනීවාවල නියෝජිතයින් ලංකාවට පැමිණ මා වෙත සම්මාන පුදද්දී රාජ්‍ය නායකයා උත්සව සභාවේ නිහඬව ගොළුවත රැක්කා.

“රාජිත සේනාරත්න ඇමතිතුමා දුම්වැටිවල සෞඛ්‍යමය අවවාද 80%ක් ඇතුළත් විය යුතුයි කියන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂකවරු ඉදිරියේ නිදහසට කරුණු කියන්න සිදුවුණේ නැහැ. නමුත් මට එදා ඒ දේ සිදු වුණා. මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මේ රටේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය විදියට පිළිගන්නා බවට අවුරුදු 45ක් සෑම ආණ්ඩුවකම කතා කරද්දී, සංවාද කරද්දී, තර්ක කරද්දී එය යට ගියා. රාජිත සේනාරත්න ඇමතිතුමා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට, ඖෂධ මිල පහත වැටිම ඇතුළු රටේ පොදු ජනතාවට වරප්‍රසාද රාශියක් ලබා දුන් ඒ පනත සම්මත කරන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට, ඒ පනත 2015 අපි හදන විට එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේදී අතුරුදහන් වූවේ නැහැ.

2012 දී මම හදපු පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අතුරුදහන් වූවේ කෙසේද කියා මට වඩා හොඳට ඖෂධ සමාගම්වල මහත්වරු දන්නවා. ඖෂධ සමාගම් හැමෝම නරක නැහැ. සැම කෙනෙක්ම ජාවාරම්කාරයෝ නොවෙයි. ජාවාරම්කාර නොවන ඖෂධ සමාගම්වල අය ඒ කාලේ මට කිව්වා, “ඇමතිතුමා, සමාගම් සියල්ලටම මේ පනත ඉවත් කරවා ගන්න සල්ලි දෙන්න සිද්ධ වුණා.

එහෙමයි ඔය පනත අතුරුදහන් වුණේ” කියල. මේ පනත ගෙන එන විට උසාවියේ බංකුවලට වී රස්තියාදු වීමට රාජිත සේනාරත්න ඇමතිතුමාට සිදු වුණේ නැහැ. නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්න ආණ්ඩුවක් විදියට ගත් තීන්දුවලදී අපි රාජිත සේනාරත්න ඇමතිතුමාට ශක්තිය දෙන විට ඒ දූෂිතයෝ කිසි කෙනෙක් අපේ කාර්යාලවලට, ගෙවල්වලට ඇතුළු වුණේ නැහැ. ඇතුළු වුණේ නැත්තේ ඔවුන් දන්නවා අපි ඇතුළට ගන්නේ නැහැ කියල.

“මම 2012දී දුම්වැටි භාවිතය පිළිබඳව රටේ මහජනතාව පිළිපැදිය යුතු නීති රීති ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරපු වෙලාවේදී ඇමති මණ්ඩලයේ මූලාසනයෙන් මොකක්ද කිව්වේ? මේ නීති සම්මත කරලා මේ රටේ සිගරට් එකක් බොන්න බැහැ කියා විදේශිකයෝ, සංචාරකයෝ මේ රටට එන්නේ නැහැ. ඒ නිසා මේවා සම්මත කරන්න බැහැ කියා කැබිනට් මණ්ඩලයේදී එය විසි කළා.

මෙහි සිටින සහෝදර ඇමතිවරුන්ට මතක ඇති එය. නමුත් මම සතුටු වෙනවා අපි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා වගේ ජනතාවට නිදහස දුන්නා වගේ රටේ මාධ්‍ය නිදහස ශක්තිමත් කළා වගේ මේ රටේ ජනතාව වෙනුවෙන් අවංකව වැඩ කරන්න ඇමතිවරුන්ට නිදහස දී තිබෙනවා. ආණ්ඩුවත් සමග වැඩ කරන්න රටට ආදරය කරන සෑම කෙනෙකුටම නිදහස දී තිබෙනවා.

රට නිවැරදි කරන්න මාධ්‍යයට නිදහස දී තිබෙනවා. නමුත් ඇමති මණ්ඩලවල හිටපු අය දන්නවා එදා ඇමති මණ්ඩල සාකච්ඡා, සංවාද කළේ කෙසේද කියල. මමත් දැන් අවුරුදු 30ක් ඇමති මණ්ඩලවල සිටිනවා. අද පැවැති කැබිනට් මණ්ඩලයට සංදේශ 92ක් යොමු කර තිබුණා. පැය තුනහමාරකට වැඩි කාලයක් සාකච්ඡා කළා. අද සමහර කැබිනට් පත්‍රිකා තිබුණා විනාඩි 30ක් 40ක් කතා කරපු. මගේ අවුරුදු තිහක අත්දැකීමේදී විශේෂයෙන්ම වර්තමාන අපේ ආණ්ඩුව බලයට ඒමට පෙර ඇමති මණ්ඩලය තුළ සංදේශ සාකච්ඡා කිරීමට අපිට අද තිබෙන නිදහස එදා තිබුණේ නැහැ.

“මම අද පත්තරවල දැක්කා ගාල්ලේ හෘද රෝග ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ නාමල් ගමගේ මහතා සඳහන් කර තිබුණා, ලංකාවේ මේ වන විට හෘද රෝගවලින් දිනකට 120ත් 150ත් අතර ගණනක් මියයනවා කියල. මේවා ගැන කවුද කතා කරන්නේ? මත්ද්‍රව්‍යවලට, මද්‍යසාරවලට විරුද්ධව අවංකව කී දෙනෙක් මේ සටනට සිටිනවාද? මෙහි සිටින වෛද්‍යවරු, සෞඛ්‍ය සේවවේ ප්‍රධානීන්, විද්වතුන් දන්නවා බෝ නොවන රෝගවලින් 75% කට 80% කට මධ්‍යසාර, සිගරට් හේතුවන බව.

“අභිෂේක ලබන සෞඛ්‍ය ඇමතිවරයාට, මගේ සටන් සගයාට මම කියනවා ඒ අභියෝගයට අපි මුහුණ දෙමු කියා. ඒ 150 අපිට 50ක් කරගන්න පුළුවන් නම් එය අපේ කාලය තුළ අපි ජාතියේ අනාගතය වෙනුවෙන් කරන මහා පුණ්‍යකර්මයක් වෙනවා. මේ සඳහා සියලු දෙනාගේ දායකත්වය, සාමූහිකත්වය ලබාගත යුතුයි.

“මහාචාර්යතුමන්ලා දෙදෙනාගේම කතාවේදී ඉඟියක් කළා. මා හිතවත් කාලෝ ෆොන්සේකා මාහාචාර්යතුමා කිව්වා, පළවැනි සෞඛ්‍ය ඇමතිවරයා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා. එතුමා රටේ රාජ්‍ය නායකයා වුණා. ඉන්න තැනින් එළියට ඇවිල්ලා එතුමා රාජ්‍ය නායකයා වුණා කියා. එමෙන්ම එතුමා කිව්වා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් සෞඛ්‍ය ඇමති විදියට ඉඳලා ඉන්න තැනින් එළියට ඇවිල්ලා රාජ්‍ය නායකයා වුණා කියලා.

ඒ සුබ පෙර නිමිත්ත හොඳයි. මමත් ආශිර්වාද කරනවා. මට ප්‍රශ්නයක් තිබෙනවා ඉන්න තැනින් එළියට ගිහිල්ලාද ඉන්න තැන ඉඳලාද කියලා. ඒ ගැනත් සිතන්න කියා සෞඛ්‍ය ඇමතිතුමාට කියනවා. රාජිත සේනාරත්න ඇමතිතුමාට මම සුබ පතනවා. ආශිර්වාද කරනවා. ඔබේ දක්ෂතාවන්, හැකියාවන්, නිර්මාණශීලිභාවය, අවංකකම, එඩිතරකම ආදියට සුබ පතනවා. මේ සියලු දක්ෂතාවන් අපිට දේශපාලනඥයන් විදියට පෙන්නුම් කිරීමට පුළුවන් වී තිබෙන්නේ ජාතික සහ අන්තර්ජාතික වශයෙන් නිදහස් සෞඛ්‍ය සේවාවේ සේවය කරන වෛද්‍ය, හෙදි, පරිපූරක, අතුරු වෛද්‍ය සේවා ඒ සියලු සේවාවල සිටින අතිබහුතරයක් කරන විශිෂ්ට සේවය නිසායි.”

මාතෘකා