බෞද්ධ දර්ශනය පෝෂණය කිරීම සඳහා අපේ වගකීම් සහ යුතුකම් ඉටු කරමු : ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන | ඇස පාදන රැස


බෞද්ධ දර්ශනය පෝෂණය කිරීම සඳහා අපේ වගකීම් සහ යුතුකම් ඉටු කරමු : ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

 ඡායාරූපය:

බෞද්ධ දර්ශනය පෝෂණය කිරීම සඳහා අපේ වගකීම් සහ යුතුකම් ඉටු කරමු : ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

යහපත්, විනයගරුක සමාජයක් ගොඩනැගීම සහ ශක්තිමත් බෞද්ධ සමාජයක් පිළිබඳ පණිවිඩය ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ගෙනයාමට උතුම් වෙසක් දින සැමරුම සමඟ පෙළගැසෙන මෙන් සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.   
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පසුගිය 27 වනදා මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ පූජ්‍ය අඹගස්වැවේ රාහුලාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේ වෙත එම ධූරය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍ය උසවයට සහභාගී වෙමිණි.   
“ඓතිහාසික රංගිරි දඹුලු විහාරය උතුම් පූජනීය මහා පුදබිමක් වශයෙන් ලක්වැසි ජනතාව පමණක් නොව ලෝකවාසී බෞද්ධ ජනතාවත් බෞද්ධ නොවන ප්‍රජාවත් ඓතිහාසික වශයෙන් උතුම් කොට සලකන ගෞරවනීය පූජා භූමියක නව නායක පදවියට පත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ උතුම් පදවියට පත්වීම පිළිබඳව බෞද්ධයින් විදියට වගේම ලක්වැසියන් විදියටත් එමෙන්ම රජය විදියටත් අපි මහත් සතුටට පත්වෙනවා. අපේ රට වගේම ලෝකයේ අද තිඛෙන වාණිජ්‍ය සමාජය තුළ තරගකාරිත්වය තුළ බොහෝ භෞතික සම්පත් ධනය, බලය, සොයා යන සමාජයක් තිබෙන්නේ. ආධ්‍යාත්මික වශයෙන් සමාජය තුළ තිබෙන පිරිහීම්වලදී බෞද්ධ දර්ශනය තුළයි අපිට යහපත් සමාජයක් පිළිබඳව බලාපොරොත්තු තැබිය හැකි එකම මාර්ගය ඇත්තේ.   
ඓතිහාසික දඹුලු රජමහා විහාරයට අද ඊයේ පමණක් නොව, දිගු ඉතිහාසයක් තිබෙනවා. මෙහි තිඛෙන වටිනා සම්පත් පූජනීය කෞතුක වස්තූන්හි තිෙබන වටිනාකම් ඒ සියල්ල සමඟ අපේ මහා බෞද්ධ සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයත් මේ මහා පුදබිමයි. මේ මහා පුදබිම ආරක්ෂා කිරීම, සංවර්ධනය කිරීම, සංරක්ෂණය කිරීම, පෝෂණය කිරීම වගේම මෙහි භාරකාරීත්වය දරණ මෙහි වැඩවසන අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වෙනුවෙන් එක් පැත්තකින් රජය විදියටත්, තවත් පැත්තකින් පුරවැසියන්, බෞද්ධයින් විදියට කළ යුතු කාර්යයන් පිළිබඳ වගකීම, සහ යුතුකම් අපි සැමවිටම නොපිරිහෙලා ඉටු කළ යුතු වෙනවා. වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අභියස තිබියදී අපි රට වශයෙන් ක්‍රියාත්මක කරන රජයේ බෞද්ධාගමික කටයුතු පිළිබඳව විශේෂ වැඩසටහන් වගේම ගෞරවනීය මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ප්‍රමුඛ වූ වන්දනීය, පූජනීය මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි අපේ රටේත් අපේ රටෙන් පිටස්තරවත් බෞද්ධ වෙහෙර විහාරස්ථාන මුල්කර ගනිමින් සිදුකරන බෞද්ධාගමික කටයුතු මේ කාලය තුළ ඉතාමත් වැදගත් වෙනවා.   
සමාජයක් වශයෙන් අපි දකින පිරිහීම් මත්ද්‍රව්‍ය, සියදිවි නසාගැනීම් එමෙන්ම වාණිජ සමාජයේ තරගකාරිත්වයට මුහුණදීමේදී ඇතිවන විවිධ මානසික ව්‍යාකූලතා, සමාජමය ගැටුම්, දේශපාලන ගැටුම්, ආර්ථීක ගැටුම් මේ සියල්ල පිළිබඳව බුදුන් වහන්සේ බෞද්ධ දර්ශනය තුළ පැහැදිලි විසඳුම් දේශනා කර තිබෙනවා. අපි කාගේත් වගකීම, යුතුකම වන්නේ සැමවිටම බෞද්ධ දර්ශනය පෝෂණය කිරීම සඳහා අපේ වගකීම් සහ යුතුකම් ඉටු කිරීමයි. එහිදී මූලික වන්නේ අපේ චරිතවලින් අප විසින් දිය යුතු ආදර්ශයයි. අද සිටින කුඩා දරුවන්ට හෙට උපදින දරුවන්ට හොඳ රටක් තිෙබන්න යහපත් සමාජයක් තිබෙන්න අපි සෑම කෙනෙකුගේම චරිතයෙන් දිය යුතු ආදර්ශය ඉතාමත් වැදගත් වනවා.   
බෞද්ධ දර්ශනය තුළ පුද්ගලයෙකුගේ ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා තමන්ගේ කැපවීම ඒ සඳහා කෙනෙකුට තිබිය යුතු ආත්ම ශක්තිය, ආත්ම ධෛර්යය අපි සෑම කෙනෙක්ම තේරුම් ගෙන තිබෙනවා. අපි උදේ සවස පන්සලෙන්, විහාරස්ථානයෙන්, මාධ්‍ය තුළින් අසන ධර්ම දේශනා, බණ, පිරිත්, ධර්ම පණිවුඩ සියල්ලත් සමඟ අපේ ජීවිත හැඩගස්වා ගැනීමට සෑම කෙනෙක්ම වගකීමෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වූ දෙයක්. රට වශයෙන් ගත්විට බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය, පුරාවස්තු සංරක්ෂණය සඳහා රජයක් විදියට ප්‍රමුඛ කාර්යයක් ඉටු කරගෙන යනවා. ගෞරවනීය ආචාර්ය ගොඩගම මංගල නායක ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ අනුශාසනාව තුළ කරුණු කිහිපයක් පැහැදිලි කළා. ඔබවහන්සේ සඳහන් කළ කරුණු බොහෝ වේලාවට නිරාකරණයවී තව දවස් දෙකකින් තුනකින් ඔබවහන්සේලාට කරදරයක් නොමැතිව මේ කටයුතු කළ හැකි ඇමතිවරයෙක් ලැබේ කියා මම බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව මම විශේෂ අවධානය යොමුකර කටයුතු කරනවා. ලෝක කම්කරු දිනයේ මැයි දිනයේ උදෑසන පත්වන අලුත් ඇමති මණ්ඩලය තුළ ඔබවහන්සේලාගේ ප්‍රශ්නයත් මම විසඳලා තිබෙන බව ගෞරව පූර්වකව මේ අවස්ථාවේ සිහිපත් කරනවා.   
නව පදවියට පත් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ද මුලසුනේ වැඩවසන ගෞරවනීය අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ වූ වන්දනීය, පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයටත් ඔබ සියලු දෙනාටත් දීර්ඝායුෂ, නිරෝගිභාවය ප්‍රාර්ථනා කරමින් වෙසක් පසළොස්වන පුන් පොහෝ දිනය අභියස යහපත් සමාජයක් හදන්න විනය ගරුක සමාජයක් හදන්න බෞද්ධ සමාජය ශක්තිමත් කරන්න ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් කැපවෙමු කියන ඉල්ලීම කරමින් ඔබෙන් සමුගන්නවා” යැයි පැවසීය.   

මාතෘකා