දරුවා විෂය ප්‍රවීණයකු මෙන්ම මානවවාදියකු කරන්න ගුරුවරයා කැපවීමෙන් මැදිහත් විය යුතුයි

 ඡායාරූපය:

දරුවා විෂය ප්‍රවීණයකු මෙන්ම මානවවාදියකු කරන්න ගුරුවරයා කැපවීමෙන් මැදිහත් විය යුතුයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

දරුවා විෂය ප්‍රවීණයකු මෙන්ම මානවවාදියකු බවට පත්කිරීමට ගුරුවරයා මැදිහත් විය යුතු බවත් දරුවකුගේ අනාගතය තීරණය වන්නේ ගුරුවරයාගෙන් බැවින් දරුවන් සම්බන්ධ තීන්දු තීරණවල දී ගැඹුරු අවබෝධයක් සහ මනුෂ්‍යත්වය පෙරටුකොට ගත යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (02) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

"ඔබ හැමදෙනාම ගුරු සේවය සඳහා එක්වන දිනයේ ඔබ ඇමතීමට ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා. අධ්‍යාපන ලේකම්තුමා පිළිගැනීමේ කතාව කරමින් වඩාත් ගැඹුරු කරුණු කිහිපයක් සඳහන් කළා. එතුමා කියපු කරුණු විසඳිය යුත්තේ අධ්‍යාපනඥයන් විසිනුයි. ඒ වගේම අධ්‍යාපනඥයන්ට අවශ්‍ය සම්පත් ලබා දෙන්නේ දේශපාලනඥ‍යනුයි. අපේ රටේ ජනගහනයෙන් සියයට 52ක් කාන්තාවන්. ගුරු වෘත්තියේ පමණක් නෙවෙයි, රාජ්‍ය සේවයේ නිරත පිරිසෙන් සීයට 60ක් පමණ කාන්තාවන්. ජනගහනයෙන් සීයට 52ක් කාන්තාවන් වුවත් ඊට වැඩි ප්‍රතිශතයක් රටේ රාජ්‍ය සේවයේත් අනෙක් වෘත්තීන්වලත් නියැළෙනවා. ඒකට හේතුව විදියට මම හිතන්නේ අධ්‍යාපනයට උනන්දුව වැඩිපුර තිබෙන්නේ ගැහැනු දරුවන්ට නිසා කියලයි. ගමේ භාෂාවෙන් කියනවා නම් කෙල්ලෝ ඉගෙනගන්න උනන්දුව දක්වනවා වැඩියි කොල්ලන්ට එච්චර ඉගෙනගන්න උවමනාවක් නැහැ. ඔවුන් දුවනවා පනිනවා වැඩියි. ඒ නිසා බහුතරයක් ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය වැඩියි.

"කාන්තා නියෝජනය අඩු එකම ක්ෂේත්‍රය දේශපාලන ක්ෂේත්‍රයයි. කාන්තාවන් ඡන්දය ඉල්ලන්න ආවහම කාන්තාවන්ම ඡන්දෙ දෙන්නේ නැහැ. ඒක නිසා පත්වෙන්නේ නැහැ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් පළාත් සභා, ප්‍රාදේශීය සභාවල මැතිවරණ ලැයිස්තුවට දානවා තරග කරන්න. එකට ඉන්න කාන්තාවන්වත් එයාට ඡන්දය දෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නය මොකද්ද කියලා මම නම් දන්නේ නැහැ. ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තාවන් ඉතාමත් අඩුයි අනෙක් කාන්තාවන් ඡන්දය නොදෙන නිසා. ආණ්ඩුකාරතුමා ගුරු මෑණිවරු කියලා කිව්වා. ඔබ විවාහක වුණත් අවිවාහක වුණත් ඔබට දරුවන් බාර නිසා ඔබ හැම කෙනෙක්ම දරුවන් සිටින මවුවරු පියවරු වෙනවා. දරුවන්ගේ වගකීම ඔබට බාරයි. මට අවුරුදු 10දී මම ගමේ පාසලේ අධ්‍යාපනය ලබන විට අපට අධ්‍යාපනය දුන් ගුරු මෑණිවරු පියවරු කවුරුවත් පොළොන්නරුවේ අය නෙවෙයි. කොළඹ, ගාල්ල, මාතර, රත්නපුර ප්‍රදේශවලින් ගිහින් හිටි අය. ආණ්ඩුකාරතුමාත් කිව්වා, ලේකම්තුමාත් කිව්වා මේ පත්වීම් දෙන්න තීරණය කළ දවසේ ඉඳලා බොහෝ බලපෑම් ආවා කියලා ගෙදර ඉඳලා යන්න පුළුවන් පාසල ඉල්ලලා. ඒ ‘ළඟම පාසල හොඳම පාසල’ නිසා වෙන්න ඇති.

"ඔබලාගේ වයසෙයි මගේ වයසෙයි මම දකින වෙනස තමයි අපි තරුණ කාලේ රස්සාවක් ලැබුණම ලොකු උත්සාහයක් ගන්නේ පුළුවන් තරම් ගෙදරින් ඈතක ඉන්නයි. ඈත ප්‍රදේශයකට ගිහින් නවාතැන් අරගෙන ඉන්නයි කැමති. ඒක අලුත් අත්දැකීමක්. අලුත් පරිසරයක්. අලුත් සමාජයක්. මම රැකියා තුනක් කරලා ඒ තුනෙන්ම ඉල්ලා අස්වූ කෙනෙක්. මටත් තිබුණා ගමේ ඉඳන් රැකියා කරන්න. නමුත් මගේ දැඩි ඉල්ලීම වුණේ පොළොන්නරුවෙන් හැකිතරම් ඈත තැනකට දෙන්න කියලා. අපිට කුඩා කාලේ පොළොන්නරුවේ උගන්නපු සෑම ගුරුවරයෙක්ම ඈත පළාත්වල අය. ගොවි ජනපද ආරම්භ වුණු කාලේ නිසා ඒ කාලේ පොළොන්නරුවෙන් ගුරුවරු බිහිවෙලා තිබුණේ නැහැ. අද ගුරු සේවයේ විතරක් නෙවෙයි රාජ්‍ය සේවයේ වෙනත් පත්වීමක් දුන්නහම ගෙදර ඉඳලා යන්න නැත්නම් ඇතැම් වෙලාවට පත්වීම බාර ගන්නේ නැහැ. මගේ දේශපාලන දිවියේ වසර 25ක් 30ක් මම පොළොන්නරුවේ ළමයින්ට රස්සාවල් දෙනවිට මම දැකපු අත්දැකීම් තමයි සමහර ළමයි කොළඹ ඇවිත් කාර්යාලය බලලා ආපහු යනවා. ඊට පස්සේ ඇවිත් කියනවා පොළොන්නරුවෙන්ම රස්සාවක් දෙන්න කියලා. ඒ තත්ත්වයට පත්වෙලා තියෙනවා. අපි ඒක වෙනස් කරන්න ඕනෑ.

"පත්වීම් ලැබූ ඔබ පාසලට ගියවිට අද ඔබ දකින්නේ සංස්කෘතික දරුවෙක් නොව, තාක්ෂණික දරුවෙක්. කුඩා කාලයේ අපි නම් සංස්කෘතික දරුවෝ. මොකද අපි පරිගණක දැකලා නැහැ. ජංගම දුරකථනය දැකලා නැහැ. අන්තර්ජාලය නැහැ. රූපවාහිනිය නැහැ. කුප්පි ලාම්පුවෙන් එළිය වින්ද අපි ඒ වයසේ සංස්කෘතික දරුවෝ. නමුත් ඔබට තිබෙන අභියෝගය තමයි අද ඉන්නේ තාක්ෂණික දරුවෝ. ඔබ දරුවාගෙන් ප්‍රශ්න අහනවාට වඩා දරුවා ඔබෙන් ප්‍රශ්න අහනවා. දරුවාගේ වයස අවුරුදු 6, 7 ඉඳලාම මවුපියො ලොකු උත්සාහයකින් දරුවන්ට ඉංග්‍රීසි ටිකක් උගන්වනවා. එතකොට අවුරුදු 7, 8 වෙනකොට දරුවන්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. පරිගණකය, ජංගම දුරකථනය, රූපවාහිනිය, ගුවන්විදුලිය ගත්විට අද වයස අවුරුදු 10ට අඩු දරුවන් ඒවා සමඟ ඉන්නවා. අද දරුවන් ඉන්නේ අධි තාක්ෂණය සමඟයි. 3G, 4G, 5G ඔය ඔක්කොම අවුරුදු 10ට අඩු ළමයි දන්නවා අතේ තිබෙන ෆෝන් එකෙන්. ඒ දරුවා ඔබට අභියෝගයක්. පන්තියේ කාල සීමාව පැය 5කට සීමා කර තිබෙන්නේ දරුවන්ටයි. ගුරුවරයාට නෙවෙයි. අනෙක් පැය ගණන තිබෙන්නේ ඊළඟ දවසේ උගන්වන දේ සඳහා සූදානම් වීමටයි. පන්තියට යන විට ගුරුවරයා සූදානම් නැත්නම් හෙට පන්තියේ දරුවන්ට උගන්වන දේ වගේම ඉන් බාහිර සමාජයේ අසන දකින දේ තුළින් දරුවා කැලඹෙනවා. ඒ සෑම දෙයක් සමඟම දරුවා ජීවත් වෙනවා. දඟකාර දරුවා ඔබට ආදරය කරනවා වගේම ඔබත් දරුවන්ට ආදරය කරන්න. ඔබේ පන්තියේ දරුවන් 40ක් ඉන්නවා නම් ඒ සෑම දරුවෙක් ගැනම පෞද්ගලිකව ඔබට අවබෝධයක් තියෙන්නට ඕනෑ. පාසල් යන කාලේ ඔබටත් අත්දැකීම් ඇති. මට එහෙම වෙලා තිබෙනවා. සමහර ගුරුවරු මට ආදරය කරලා තියෙනවා. ළඟට ගන්නවා. හොඳට කතා කරනවා කියලා දෙනවා. නමුත් සමහර ගුරුවරු ඇතැම් දරුවන්ව නුරුස්සනවා. ඔහු දෙස බලන්නේ නැහැ. සමහර විට ගුරුවරු එක් දරුවෙක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලා තවත් දරුවෙක් දෙස බලන්නේ නැති වුණාම ඒ දරුවාට තේරෙනවා මගේ මූණ දිහාවත් ගුරුතුමා බලන්නේ නෑ නේද කියලා. ඒක ප්‍රශ්නයක්. එතන තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ. ඒ නිසා හැම දරුවකුටම ආදරය කරන්න. හැම දරුවෙක්ම බලා ගන්න. පන්තියට එන දරුවාට ගෙදර මොනතරම් ප්‍රශ්න ඇද්ද. ඒ අත්දැකීම් ඔබටත් ඇති. මවුපියන්ගේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, මහමඟ එන විට ප්‍රශ්න ආදී නොයෙක් කටුක අත්දැකීම් සමඟ එන දරුවන් ඉන්නවා. ඒ සියල්ලටම ඔබත් සූදානම් විය යුතුයි.

"දරුවන් රැකබලා ගන්න පිරිසක් විදියට ඔබට විශාල වගකීමක් පැවරෙනවා. ඒ නිසා ඔබ භාග්‍යවන්තයි. සමහර අය රස්සාවල් හොයන විට හොඳ පඩි තියෙන්නේ බැංකුවල කියලා බැංකුවලට යනවා. සමහර අයට හොඳ සුදුසුකම් තිබුණත් කියනවා මම කැමති ගුරු වෘත්තියට කියලා. ගුරු වෘත්තියට කැමතියි කියන්න හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි ඒ වෘත්තියට තිබෙන ආදරයට හා කැමැත්තට. අනෙක් එක තමයි අනෙක් රාජ්‍ය සේවාවන්ට වඩා යම් කාල සීමාවක විවේකයක් තිබෙනවා පැය 8 සේවයට වඩා පැය 5 සේවාව තුළ. ඔබට බස්නාහිර පළාතේ මොන පාසල ලැබුණත් ඔබ සේවය කරන්නේ කැමැත්තෙන් කියලයි මම විශ්වාස කරන්නේ. ඉස්සර නම් ගුරුවරු ගන්නා විට පළාත් විදියට නෙවෙයි ගත්තේ. රටටම ගත්තේ. ඒ කාලේ නම් මේ විදියට ඔබට පත්වීම ලැබෙන්නේ අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, හම්බන්තොට එහෙම තමයි ලැබෙන්නේ. දැන් පළාත් සභා ක්‍රමයත් එක්ක ඒ පත්වීම් ටික පළාත් සභාවේ අයට දෙනවා. කාලානුරූපීව ඒ ටික වෙනස් වෙලා තිබෙනවා."

මාතෘකා