රැකියා බිහිකරන විධිමත් සැලැස්මක් තියෙනවා - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වව්නියාවේදී

 ඡායාරූපය:

රැකියා බිහිකරන විධිමත් සැලැස්මක් තියෙනවා - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වව්නියාවේදී

යුද්ධය  නිසා බොහෝ අවස්ථා අහිමිවූ තරණ තරුණියන් උතුරේ සිටිනවා. ඔවුන්ගේ බලාපොරොත්තු පොරොන්දුවලින් පමණක් ඉටු නොවන බවත් රැකියා බිහිකරන විධිමත් සැලැස්මක් තුළින් රට සංවර්ධනය කොට එම තරුණ තරුණියන්ගේ පමණක් නොව මේ රටේ සෑම ජන කොටසකගේම බලා පොරොත්තු ඉටුකර දෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පැවසීය. වව්නියාව දිස්ත්‍රික්කයේ පළාත් පලන ආයතන වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින අපේෂකයින්ට සහය පළකිරීම සඳහා පසුගියදා  වව්නියාව කලෙයිමගල් ක්‍රීඩාපිටියේ පැවති ප්‍රචාරක රැළියක් අමතමින්  අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.    
"2014 දෙසැම්බර් මාසයේදී අපේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සඳහා පක්ෂ ගණනාවත් එකතුවුණා. එතුමා දිනුවා.මම අගමැති වුණා. අපි කැබිනට් මණ්ඩලයක් පත්කළා. සුළුතර ආණ්ඩුවක් හැටියට අපි එදා පාර්ලිමේන්තුවට නීතියක් ගෙනාවා, ප්‍රාදේශීය සභා හා නගරසභාවල කාන්තා නියෝජනය අවම වශයෙන්  සියයට විසිපහක් වියයුතුයි කියලා.  අපි මෙතැන  කාන්තා අපේක්ෂිකාවන් බොහෝ දෙනෙක්  දකිනවා . කාන්තා නියෝජනය අවම වශයෙන් සියයට විසිපහයි වැඩිම වශයෙන් සියට සියයයි. පිරිමි නියෝජනය කිසිම විදියකින් සියයට හැත්තෑපහට වඩා වැඩි වෙන්නේ නෑ.
ඊට පස්සේ අපි එකතුවුණා, එක්සත් ජාතික පක්ෂය වශයෙන්. රටේ ආණ්ඩව හැදුවට පස්සේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගමේ ආණ්ඩුව හදන්න.  මහින්ද රාජක්ෂගේ කාලේ මේ රටේ ජනතාව ජීවත්වුණේ බයෙන්. අද සංහිඳයාව තියෙනවා.  බෞද්ධ, හින්දු, ඉස්ලාම් ,ක්‍රිස්තියානි සියලු දෙනා ජීවත්වෙනවා. අද තියෙන්නේ ජාතින් අතර භේදය නෙවෙයි සාමයයි. අපි ශ්‍රී ලාංකික අනන්‍යතාව තරවුරු කරගෙන යනවා.  රටේ කළ කටයුත්ත ගමේ කරන්න එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.මේ ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් හැම දෙනාම ජීවත් වෙනවා. යුද්ධ කාලෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට බයෙන් ජීවත්වුණා.  යුද්ධය නිසා මේ ප්‍රදේශවල ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. සමාජය කඩා වැටුණා.  දැන් අපිට ඒ ආර්ථිකය අලුතෙන් හදන්න වෙලා. දකුණේ ආර්ථිකය නැතිවුණේ නෑ . උතුරේ ආර්ථිකයයි නැගෙනහිර ආර්ථිකයයි සම්පූර්ණයෙන්ම නැතිවුණා. ඒක සෑදීම සඳහා  අපි සැලසුම් සකස්කරලා තියෙනවා.
උතුරේ නැගෙනහිර අර්ථිකය හදන්න කලින් අපිට රට හදන්න සිද්ධවුණා, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ මේ රටේ ආණ්ඩුවට අදායමක් තිබුණේ නෑ. වැඩ කළේ ණය අරගෙන. ණය ගෙව්වෙත් ණය අරගෙන .විශාල කඩා වැටීමක් තිබුණා. ඒ කඩාවැටීම අතරෙයි ඔහු ජනාධිපතිවරණයකට ගියේ.හොඳ වෙලාවට අපි ආණ්ඩුව බාර ගත්තා.  දැන් ආණ්ඩුවේ ආදායම වැඩිකරගෙන තියෙනවා. අලුත් ව්‍යාපෘති ආරම්භ කර තියෙනවා. දැන් අපිට ණය ගෙවන්න ණය ගන්න උවමනා නෑ.  අපේ මුදල්වලින්ම ඒ ණය ගෙවන්න පුළුවන්. අපි සංවර්ධනය ආරම්භකර තියෙනවා. පළවෙනි අවුරුදු දෙකේ අපි ආර්ථිකයේ ස්ථාවරභාවය ඇති කළා. උතුරේ ,දකුණේ  ,නැගෙනහිර ,බටහිර හැම තැනම ඒ ස්ථාවරත්වය ඇතිකළා. දැන් තමයි රටේ හැමතැනම සංවර්ධනය කර රැකියාදීම ආරම්භකර තියෙන්නේ.  
 අපි සංවර්ධනය ආරම්භ කළා, වැඩිම අපනයන ආදායම ලැබුණේ 2017 අවුරුද්දේ .එය ඩොලර් බිලියන 15 යි. ඒ වගේම තමයි වැඩිම විදේශ ආයෝජන ලැබුණේ 2017 අවුරුද්දේ. ඩොලර් බිලියන එකහමාරයි. මේවා තුළින්  මා  සෑහීමකට පත්වන්නේ නෑ . මේ රටේ රැකියා ප්‍රශ්නය විසඳීමට මේක දෙගුණයක් කරන්න ඕනේ . කර්මාන්ත ශාලා ඇතිකරන්න , සංචාරක ව්‍යාපාරය, වෙළඳ ව්‍යාපාර ,  කෘෂිකර්මාන්තය , ස්වයං රැකියා දියුණු කරන්න ඕනේ. මේවා දැන් අපි ආරම්භකර තියෙනවා. රජයේ රැකියාවලින් විතරක්  ප්‍රශ්නය විසඳන්න බෑ. අපි දැන් උපාධිධාරින් කොටසකට ගුරු පත්වීම් දෙනවා. උතුරු නැගෙනහිරත් ඒ අය ඉන්නවා. හැම කෙනාටම රජයෙන් ආදායම් මාර්ග ලබාදෙන්න බෑ. සංවර්ධනය මේ ප්‍රදේශවලට ගේන්න ඕනේ.
මහනුවර සිට හම්බන්තොට දක්වා මාර්ග පද්ධතිය හදලා තියෙනවා.  හම්බන්තොට වරාය දැන් සුදු අලියෙක් නෙවෙයි , ඒකෙන් හම්බකරන විදියේ වැඩ ආරම්භකර තියෙනවා.මත්තල ගුවන්තොටුපොළත් ඉන්දියන් සමාගමක් එක්ක හදනවා. එත‍කොට වරාය දෙකක් තියෙනවා , කොළඹයි හම්බන්තොටයි වශයෙන්. ගුවන් තොටුපොළ දෙකක් තියෙනවා. කටුනායකයි , මත්තලයි. මේ මහා මාර්ගය වටේ තමයි මූලික වෙළඳ කලාප, සංචාරක කලාප හදන්නේ .   බෙංගාල බොක්කේ හොඳම වරාය ත්‍රිකුණාමලය.  දැනටමත් සිංගප්පූරු සමාගමක් සමග ත්‍රිකුණාල සංවර්ධන සැලැස්ම සකස්කරගෙන යනවා. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමතිතුමා  එහි වැඩකටයුතු සිදුකරගෙන යනවා.
රටේ ආර්ථිකය ශක්තිමත් කරලා ගමේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන .වවුනියාව ප්‍රධාන නගරයක් වෙන්න ඕන . ඒකට නගර සැලස්මක් ඕන. වවුනියාවට ගෙවල් හදලා දීම මූලික කටයුත්තක්. අපි වවුනියාවට ගෙවල් 5000 ක් හදලා දීමට කටයුතු කරනවා .අතුරුදන්වූවන් ගැන තවදුරටත් අපි හොයනවා . මේවා පැය 24 න් විසඳන්න බෑ ක්‍රමානුකූලවයි විසඳිය යුත්තේ. මේ සියලු දේ ඉටුකර දීම සඳහා ගමේ අණ්ඩුවත් අපි සමඟ  වැඩකළ යුතුයි. එ්ක කළ හැක්කේ අපිට විතරයි. මේ සඳහා නායකත්වය දීමට  රිෂාඩ් බදියුදීන් හා ස්වාමිනාදන් යන ඇමැතිවරුන් ඉන්නවා."   රටේ ආණ්ඩුවත් ගමේ ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයට ලබා දන ලෙසද  ඉල්ලා සිටි අගමැතිවරයා මෙතෙක් ලබා නොදුන් ගමේ බලය මෙවර ලබා දී වෙනස වටහා ගන්නා ලෙසද කියා සිටියේය."

මාතෘකා