ජනතාව බඩගින්නේ තියන්ෙන නෑ - - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටුනායක දී පවසයි.

 ඡායාරූපය:

ජනතාව බඩගින්නේ තියන්ෙන නෑ - - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටුනායක දී පවසයි.

මේ රටේ නියඟයක් ආ විට සෑම ආණ්ඩුවක්ම සහල් පිටරටින් ගෙන්වා තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේය. ජනාධිපතිවරයා මෙසේ පැවසූයේ පසුගියදා කටුනායක ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.  
" මීගමුව, කටාන, ජා- ඇල, වත්තල, මිනුවන්ගොඩ, දිවුලපිටිය ප්‍රදේශවලට පැමිණි විට මගේ මතකයට එන්නේ මගේ මිත්‍ර ජේ.රාජ්. ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමා. එතුමාගේ යහපත් ගතිගුණ මා මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ගම්පහ දිස්ත්‍රික්කය මේ රටේ දේශපාලනයේ මහා පරිවර්තනයක් කළ ,මේ රටේ පුංචි මිනිස්සුන්ට ඔළුව උස්සන්න පුළුවන් සමාජයක් හදපු , අපේම දේ අගය කරපු, වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් දිනාදුන් දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික වශයෙන් මහා පරිවර්තනයක් කළ ඉතිහාසයේ සදා අනුස්මරණීය නායකයාණන් වූ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ දර්ශනයෙන් පෝෂණය වූ ප්‍රදේශයක්.  
මීට අවුරුදු තුනකට පෙර පොදු අපේක්ෂකයා විදියට ජනාධිපතිවරණයේදි මේ දිස්ත්‍රික්කයේ ජනතාව මාව ජයග්‍රහණය කළා.සමහර අය අහනවා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙලා මොනවාද කළේ කියලා. ඒ කළ දේ බොහෝයි.මම දැක්කා අද පත්තරයක මේ දිස්ත්‍රික්කය නියෝජනය කළ පසුගිය ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා කියා තිබෙනවා, 2015 මේ රට මට භාර දෙනවිට සහලින් රට ස්වයංපෝෂිත වී පිටරටට සහල් යැව්වා කියා .මම 2014 නොවැම්බර් මාසයේ මම ආණ්ඩුවෙන් ඉවත් වනවිටත් අති විශාල සහල් ප්‍රමාණයක් රටට ගෙනැල්ලා ගෙනාපු ගාණටත් වඩා අඩුවෙන් දුන්නා. මේ රටේ නියඟයක් ආ විට සෑම ආණ්ඩුවක්ම සහල් පිටරටින් ගෙන්වා තිබෙනවා. දැන් අවුරුදු දෙකක් නියඟය නිසා සහල් පිටරටින් ගේන්න වෙලා තිබෙනවා. ජනතාව බඩගින්නේ තියන්න බැහැ.
පොදු අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කරලා මම මේ රට භාරගන්නා විට ලෝකය අපෙන් ඈත්වෙලා තිබුණේ. ලෝකයේ රටවල් හතරක් පහක් තමයි අපිට හිතවත්ව හිටියේ. ඇමෙරිකාව, යුරෝපය, ජපානය වැනි ප්‍රබලයින් සියලු දෙනා අපෙන් ඈත්වෙලා. මම ජනාධිපති ධුරයට පත්වෙලා ඔබව හමුවෙන්න ආවේ නැහැ ස්තූති කරන්න. නමුත් ලෝකය වටේ ගිහිල්ලා ලෝකයේ නායකයින්ට කිව්වා, මම මගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවා. මිනිස්සුන්ගේ නිදහස තහවුරු කරනවා. මානව අයිතිවාසිකම් තහවුරු කරනවා. මට හොඳ රටක් හදන්න කරදර නොකර ඉඩ දෙන්න කියලා කිව්වා.
ඒ කාලේ මැතිවරණ වේදිකාව් කතා කළ ජාත්‍යන්තර යුද අධිකරණ, විදේශීය විනිශ්චයකාරවරු, විදුලි පුටු ඒ සියල්ල මම ඉවත් කළා. ලෝකයා හමුවට ගොස් යුද්ධය දිනපු රණවිරුවෝ වරදක් කරලා තිබෙනවා නම් මම ඒ පිළිබඳ සොයා බලන්නම්. මට පරීක්ෂණ කරන්න දෙන්න කියා ජාත්‍යන්තර විරෝධයෙන් අපේ ආරක්ෂක හමුදා මම බේරාගත්තා. ලෝකයා ඉදිරියේ අපේ ත්‍රිවිධ හමුදාව පිළිගන්නා තත්ත්වයට පත්කළා.   
මේ රටේ අතුරුදහන්වීම්, මිනිස් ඝාතන, කම්කරු අරගලවලට වෙඩි තියපු, වතුර ඉල්ලපු ජනතාවට වෙඩි තියලා මරපු ,මාධ්‍ය ආයතන ගිනි තියපු ,ජනමාධ්‍යවේදීන් රට හැරදා ගිය ,පුවත්පත් කතුවරුන් මහ පාරේ මැරුණ සමාජයක් එදා තිබුණේ. ඒ නිසයි මේ රටේ ජනතාව මාව ජනාධිපති කළේ. මම එය වෙනස් කළා.   
මේ අවුරුදු තුනටම මේ රටේ රජයේ අනුග්‍රහයෙන් මිනිස් ඝාතන නැහැ. අතුරුදහන්වීම් නැහැ. රජයේ අනුග්‍රහයෙන් මාධ්‍යවේදීන් මරලා නැහැ. මාධ්‍ය ආයතන ගිනිගෙන නැහැ. මම රට වෙනස් කළා. අපිට ප්‍රශ්න තිබෙනවා. ආර්ථික අමාරුකම් තිබෙනවා. අති විශාල විදේශ ණය කන්දරාව ගෙවන්න සිදුවුණා. ඒ විශාල ණය ගෙවීම් සමග ඇතිවූ ආර්ථික අපහසුතාවය නිසා තමුන්නාන්සේලාට ජීවන සටනේ අමාරුකම් ඇතිවුණා. මම ජනාධිපති වෙලා මේ සම්මුතිවාදි ආණ්ඩුවේ සම්මුතිය තුළ භාරගත්තේ ජාත්‍යන්තරයේ හිත දිනාගැනීම. ජාත්‍යන්තර ප්‍රශ්නවලින් රට බේරාගැනීම . මේ ප්‍රධාන කරුණු සමග අනෙක් ප්‍රශ්න විසඳන්න අගමැතිතුමාට සහ ඇමතිවරුන්ට භාරදුන්නා. ආණ්ඩුවක තිබිය යුතු නිදහස ජනතාවට සහතික කළා වගේම මැති ඇමතිවරුන්ගේ නිදහස මම සහතික කළා.
මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ පෙරේදාත් රැස්වීමක කියනවා රට විකුණනවා කියා. අපි රට විකුණනවාලු. කොහේද අපි රට විකුණලා තියෙන්නේ? කවුද රට වික්කේ? කොළඹ වරාය නගරය, පෝට් සිටි මම ජනාධිපති වන විට අක්කර 240 ක් චීනයට සින්නක්කර දී තිබුණේ. හමුදා මූලස්ථානයක් අද අපිට නැහැ. යුද්ධයක් කරලා ජයග්‍රහණය කළ හමුදාවට අද ඉන්න මූලස්ථානයක් නැහැ. අද ඒ ස්ථානය පිටරට සමාගමකට විකුණලා . මේ රටේ ඉතිහාසයෙ රජ කාලේවත් මෑත යුගයේවත් කිසිම ආණ්ඩුවක් භූමියෙන් අඟලක් සින්නකරව දීලා නැහැ.
මම පසුගිය දිනවල රැස්වීම්වලදි කිව්වා ,කොමිෂන් සභා වාර්තා අනුව අලුත් නීති හදන්න වෙනවා. තිබෙන නීති සංශෝධනය කරන්න වෙනවා කියලා. මේ වනවිට කරගෙන යනවා, ඔබලාට ලබන සතියේ වනවිට ඒවාගේ ප්‍රතිඵල පෙනෙයි කියලා. ඒත් එක්කම මම කතාකරන ගමන් පොඩි දේශපාලන සාහිත්‍යයකුත් දාලා කිව්වා මේ මිනිසුන් වැරදි කළාම හිරේ විතරක් නෙමේ අපායටත් යයි කියලා කිව්වා. මම කාගේවත් නමක් කිව්වේ නැහැ. තනතුරක් කිව්වෙත් නැහැ. පක්ෂයක් කිව්වෙත් නැහැ. මම සල්ලි හොරකම් කරපු අයටයි එහෙම කිව්වේ.  ඒකට සමහරු පිළිතුරු දෙනවා. මේ අපාය තොප්පිය දාගෙන. මහින්ද රාජපක්ෂ මහත්තයාත් ඒ ගැන කියලා පිළිතුරු දෙනවා. මම අහනවා මේ අපාය තොප්පිය එයාලා දාගෙන මොකද. මම කිව්වේ හොරුන්ට. එක්සත් ජාතික පක්ෂයේ සමහර ඇමති මැතිවරුත් මේවාට උත්තර දීලා තිබෙනවා. මම හරි පුදුම වෙනවා මේවාට. මම ඔබට කියන්න ඕන අපි අලුත් දේශපාලන ගමනක් යමු. අලුත් අපේක්ෂක මහත්වරුන් ඉන්නවා. එයාලා ඔබලාගේ නියෝජිතයෝ පමණක් නොවේ. මගේත් නියෝජිතයෝ. මම වැඩ කරන්න අවශ්‍ය ශක්තිය සම්පූර්ණයෙන්ම දෙනවා. හොඳ හැදියාවක් ඇති මිනිසුන්ට සේවය කරන නායකයින් බිහිකරනවා. හොඳ පක්ෂයක් සමග හොඳ අනාගතයක් හදමු. ඒ නිසා පෙබරවාරි 10 අත ලකුණට ඡන්දය දෙන්න. අපි අනිවාර්යෙන්ම දිනනවා. උතුර මෙන්ම දකුණත් දිනනවා. දූෂිත දේශපාලනය ඉවත් කරලා අපි හොඳ රටක් හදමු."යැයිද ජනපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

මාතෘකා