පරක්කු වෙලා පටන් ගත්තට, දැන් ඉන්නේ ඉස්සරහ

 ඡායාරූපය:

පරක්කු වෙලා පටන් ගත්තට, දැන් ඉන්නේ ඉස්සරහ

ශ්‍රිලනිප මහලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක

 

ඇමතිතුමා මැතිවරණය අතඇරලා වගේනේ පේන්නේ...?

මම        සම්පූර්ණයෙන් මැතිවරණයට බැහැල ඉන්නේ. දැනුත් රැස්වීමක ඉන්නේ.


ජනාධිපතිතුමා සහ එජාපය අතර මොනව හරි ප්‍රශ්ණයක් එහෙම තියනවද?  


කිසිම ප්‍රශ්ණයක් නෑ. පක්ෂ  දෙක ජයග්‍රහණය කරවන්න ජනාධිපතිතුමයි අගමැතිතුමයි වෙන වෙනම මැතිවරණයට මූණ  දීගෙන ඉන්නවා.


අමාත්‍යාංශයේ වැඩවලට පහුගිය ටිකේ චෝදනා ආවා. මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ...?


යම්  ප්‍රශ්නයක් ඇවිත් ඒකට උත්තර දුන්නහම අවුරුද්දකට පස්සෙත් එකම ප්‍රශ්නයනේ ආයෙම කතා කරන්නේ. ඔය බිල්ඩිම ගැන ප්‍රශ්නය නම් උත්තර දීලත්  තේරුමක් නෑ.  
ඊළඟට පොහොර ගැන. සමහර වෙලාවට එක රටක් ගන්න තීන්දු තවත්  රටකට බලපානවා. පකිස්තානය යූරියා පොහොර පිටට නිකුත් කරන්නේ නෑ කියලා තීන්දු  කළහම, අපිට එවන්න තිබ්බ පොහොර මෙට්‍රික් ටොන් 40 000ක් වෙලාවට ගේන්න බැරි  වුනා. නමුත් ජනාධිපතිතුමා මේකට මැදිහත් වෙලා පකිස්තාන රජයත් එක්ක සාකච්ඡා  කරලා අපිට මාසෙකට පස්සේ තමයි ඒ පොහොර ටික ලැබුණේ. එතන යම් ප්‍රමාදයක් වුණා.  ඒ ප්‍රමාදය නිසා ගොවි මහත්වරුන්ට යම් අපහසුතාවයකට පත්වෙන්නත් සිද්ධ වුනා.  


ඡන්දෙන් පස්සේ පළාත් පාලන ආයතන ඇතුළේ ශ්‍රිලනිපය එජාපය එක් වීමේ සැලසුමක් එහෙම තියනවද?


ඒක  තාම හරියට කියන්න බෑ. නමුත් සියලුම පක්ෂවල බලාපොරොත්තුව වෙලා තියෙන්නේ  ජයග්‍රහණය. තනිවම පළාත් පාලන ආයතන වල බලය ලබාගන්න තමා ශ්‍රීලනිපයේ අපි ඡන්ද  සටනට බැහැලා ඉන්නේ හවුල් වෙලා බලය ගන්න පරමාර්ථයෙන් නෙමේ. තනියම සීයට  පනහක් අරගෙන ප්‍රාදේශීය සභා දිනාගන්න තමා අපි කටයුතු කරන්නේ.


 ශ්‍රිලනිපය කාලයක් අතඇරලා හිටපු 'අත' ආයෙත් අල්ලගෙන ඉදිරිපත් වෙන පළමු මැතිවරණය. ඔබයි ලේකම්. 'අත' පැරදුනොත් ප්‍රශ්න ගොඩක් එයි නේද?


දින්නත්  පැරැදුණත් මේක මගේ වැඩක් නෙමෙයිනේ. ලේකම්වරයා කියන්නේ මැතිවරණය දිනවන කෙනා  නෙමෙයිනේ. ලේකම්වරයා කියන්නේ පක්ෂේ ලේකම්වරයා. මැතිවරණයෙදි අපේ සියලුම ආසන  සංවිධායකතුමන්ලා, තම තමන්ගේ ප්‍රාදේශීය සභාවේ තමන්ගේ අපේක්ෂකයන් දිනවන්න  විශේෂයෙන් මහන්සිවෙලා වැඩ කරනවා. මේක දින්නත් මගේ ජයග්‍රහණයක් නෙමේ.  පැරැදුණත් මගේ පෞද්ගලික පරාජයක් නෙමේ.  


 ශ්‍රිලනිපය මේ වතාවේ තුන්වෙනි බලවේගය වෙයිද?


කිසිසේත්ම  නෑ. අනුරාධපුරයේ සියලුම ප්‍රාදේශීය සභා අපි ජයග්‍රහණය කරනවා. දෙවෙනියා වෙන්නෙත් නෑ. අනුරාධපුරයේ ප්‍රාදේශීය සභා 18යි මහනගර සභාවයි මේ 19ම බලය ශ්‍රීලනිපය ගන්නවා.


පොදු ජන පෙරමුණ එක්ක සටනේදී ශ්‍රීලනිපයට මොනවා වෙයිද?


අපි පක්ෂය සමඟි වෙයි කියන බලාපොරොත්තුවෙන්  දේශපාලන කටයුතු අපේ සමහර සංවිධායක තුමන්ලා කළේ නෑ. ඊට පස්සේ බලා ඉඳල ඉඳලා  තමා එතුමන්ලා අපේ සංවිධාන කටයුතු පටන් ගත්තේ. එතකම් පොදු ජන පෙරමුණ  රැස්වීම් ටික තමා ජනතාව දැක්කේ. පරක්කුවෙලා පටන් ගත්තත් මේ වෙනකොට  අපි කරුණු පැහැදිලි කරලා ඉදිරියෙන් ඉන්නවා. මොකද පොදු ජන පෙරමුණට  දේශපාලන වශයෙන් අනාගතයක් නෑ.
ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයට ආයෙ මේ  කපේවත් ජනාධිපති වෙන්නත් බෑ. අගමැති වෙන්නත් බෑ. ආණ්ඩුවක් හදන්නත් බෑ. මේ  රටේ මිනිස්සු එච්චර මෝඩ නෑ.  


යහපාලනයට මුල ඉඳලම උර දුන්න කෙනෙක් විදිහට, දැන් යහපාලනය දැනෙන්නේ කොහොමද?


යහපාලනය  ගැන බොහොම සතුටක් තියෙන්නේ. මොකද යහපාලනය පටන් ගත්ත නිසා තමා අද මේ  මැතිවරණය අපට රණ්ඩු නැතිව, මරාගන්නේ ගහගන්නේ කාර්‍යාල කඩාගන්නේ නැතිව, මේ  විදිහට මැතිවරණය කරගන්න පුළුවන් කම ලැබුෙණ්. අපි අපේ ප්‍රතිපත්තිය විතරයි  මැතිවරණයෙදි කතා කරන්න.  


මැතිවරණ නීති ටිකක් තදයි වගේ නේද?


මේක  පුරුදු වෙනකම් ටිකක් අමාරුයි තමා. මැතිවරණ කරන්න අපි හැමෝම පුරුදු වෙච්ච  ක්‍රමයක් තිබ්බා. වරප්‍රසාද දීලා ඡන්ද ගන්න තමා මේ රට පුරුදු කරලා තිබ්බේ.  රැස්වීමට එන්න නම් බත්පැකට් එක, අරක්කු වීදුරුව බලාපොරොත්තු වුනා.  සමිතියකින් ඡන්දෙ ගන්න නම් සමිතියට මොනවා හරි දෙන්න ඕන. අපේක්ෂකයත් පුරුදු  වුණා මොනවා හරි දීලා ඡන්දෙ ගන්න. ඉතිං විශාල මුදල් ප්‍රමාණයක් ඡන්දෙ  වෙනුවෙන්  වැය කළා. මේක ඇතුළේ දේශපාලනය තිබ්බේ නෑ. කවුරු හරි මොනව හරි  දුන්නහම දෙන දේ එක්ක තමා කතිරේ ගහන්නේ. මේ ක්‍රමයත් එක්ක අලුතෙන්ම පුරුදු  වෙනවා මේ රටේ දේශපාලනය කරන්න. ඒ නිසා  මේ මැතිවරණ නීති හොඳයි.

මාතෘකා