ප්‍රහාරයේ වගකීම IS බාර ගනී

 ඡායාරූපය:

ප්‍රහාරයේ වගකීම IS බාර ගනී

පාස්කු ඉරිදා දිනයේ එල්ල කළ ප්‍රහාර තම සටන් කරුවන් විසින් සිදු කළ බව ත්‍රස්ත සංවිධානය පවසයි. එම සංවිධානයට සම්බන්ධ අමාක් පුවත් ආයතනය (AMAQ News Agency) IS වෙනුවෙන් එම නිවේදනය නිකුත් කර තිබේ.

"පෙරේදා දිනයේදී එක්සත් ජනපදය ප්‍රමුඛ හවුලේ පුරවැසියන් සහ නසරා (ක්‍රිස්තියානි) සාමාජිකයන් ඉලක්ක කරගත් ප්‍රහාරය සිදු කළේ ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන්ය" යනුවෙන් අමාක්හි පළ වූ නිවේදනයේ දැක්වේ.

ජීවිත තුන්සියයකට අධික ගණනක් බිලි ගනිමින් සහ 500කට අධික පිරිසකට තුවාල සිදු කරමින් එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වනවිට 40 දෙනෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන අතර ඉන් එක් පුද්ගලයෙකු සිරියානු ජාතිකයෙකි.

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් පල්ලි දෙකක් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරවලට පළි ගැනීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල කර ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ඊයේ (23) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

එමෙන්ම මෙම ප්‍රහාරවලට දේශීය සංවිධාන දෙකක්ද සම්බන්ධ බවට විශ්වාස කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය. 'නැෂනල් තවුහීත් ජමාත්' සහ 'ජම්මියතුල් මිල්ලතු ඊබ්‍රහිම්' ලෙස එම සංවිධාන හඳුනාගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.

[උපුලි ජයරත්න]

මාතෘකා