කඳු ලඳු බඩවැටි අතරින් වැටි වැටි උඩවාඩියේ සිරි - විසිතුරු දුටු හැටි

 ඡායාරූපය:

කඳු ලඳු බඩවැටි අතරින් වැටි වැටි උඩවාඩියේ සිරි - විසිතුරු දුටු හැටි

(මෙම ලිපියේ මුල් කොටස් පසුගිය සතිවල රැස සංචාරක පිටුවේ පළ විය. මේ එහි අවසන් කොටසයි.)

ඇල්ල, නමුණුකුල, පස්සර පැත්තේ කඳුවලට වැටුණු අරුණාලෝකය උඩවාඩියට එබෙන්නේ ටිකක් විතර පමාවෙලා… ඒ නිසා වෙලාව උදේ හය හමාර වෙද්දිත්, උඩවාඩියට කළුවරයි... සතියේ දවස් පහේ රස්සාවට යන අපේ “ගමන් නඩේ” උදවිය සති අන්තයේදී උදේම අවදි වෙන්නේ නැති නිසා, තව ටිකක් සුවපහසුවට නිදාගන්න, ඒකත් හොඳකට හිටියා….

ඒත් උඩවාඩියේ කුරුළු කිරිල්ලියෝ තමන්ගේ රාජකාරි පටන් ගත්තහම කාටද නින්ද යන්නේ… “දිමුතු’ ලගේ අම්මත් උදේම නැගිටලා වැඩ… අපේ පිරිවරට උදේ කෑම හදනවා වෙන්නැති…

ඒ නිසාම අකැමැත්තෙන් නැගිටලා, හෙමි හෙමින් කුස්සිය පැත්තට ගෑටුවා…

“දිමුතු” ලගේ අම්මා ඒ වෙනකොට අපි වෙනුවෙන් තේ මුට්ටිය ලිපේ තියලා ගොඩක් වෙලා ගිහින්…. කිතුල් හකුරු කෑල්ලක් එක්ක කිරි කහට එකක් බොන ගමන්

“කෝ මාමා… “ කියලා ඇහුවා….

“එයයි, පුතයි…. කිතුල් රාජකරිවලට ගිහින්….”

“ගස් කීයක විතර කිතුල් මදිනවද? “

“අපිට ගස් අටක් තියෙනවා…. අයියලගේ ඒවත් බලන්නේ අපි… ඔක්කොම ගස් විස්සකට කිට්ටුයි…”

“හකුරු පැණි හදනවද?”

“ඔව්.. සතියකට හකුරු කිලෝ විස්සක් විතර, පැණි බෝතල් දහයක් විතර හදනවා…. රා නම් විකුණන්නේ නෑ… එයාගේ පාවිචචියට විතරයි…”

කතාව අතර වැඩ රාජකාරිවලට විරාමයක් නොදුන් ඇය, ඊළඟට ලක ලැහැස්ති වුණේ කුරහන් අඹරන්න… අපේ පැතිවල වගේ සුපිරි වෙළඳසැළට ගිහින් ‘කුරක්කන් පිටි’ පැකට් එකක් ගන්න තරමේ හදිසියක් උඩවාඩියට නෑ… තමන්ට අවශ්‍ය කුරක්කන් ඇට ටික අඹරගෙන පිටි කරගන්න එක තමන් විසින්ම කරන උඩවාඩිය ගමේ බවලත්තු

ඒ කාර්යය වෙහෙසක් ලෙස දකින්නේ නෑ… ඇඹරුම් ගල, කුරහන් ගල සහ වංගෙඩිය වෙනුවෙන් මුළුතැන්ගෙයිම හෝ ඊට යාබදව වෙන් කළ ඉඩකඩක් පවත්වාගෙන යාම මේ ගමේ සෑම ගෙදරකදිම දකින්න පුළුවන්. ඊළඟ මොහොතේ, උදේම කිතුළට ගිහින් ආපහු ආව “දිමුතු”ලාගේ තාත්තාත්, ‘දිමුතු”ලගේ අම්මා කුරහන් අඹරන තැනට ඇවිත් උදව් දෙන්න පටන් ගත්තා… ඒත් දිමුතු පේන්න නෑ…

ඇල්ලෙන්, වැල්ලවායෙන් මේ ගමට මුස්ලිම් වෙළෙන්දෝ එනවා.. ගමේ මිනිස්සුන්ගේ ගම්මිරිස් ටික,බඩඉරිඟු ටික, කුරක්කන් ටික, කොකෝවා ටික, අඹ ටික, කෙසෙල් කැන් ටික, කරුංකා ටික, කිතුල් පැණි, හකුරු ටික මේ සේරම අරගෙන යන්න එන මේ මුස්ලිම් වෙළෙන්දෝ තවලම් ඇදලා වයසට ගිය හරකටත් හොද වටිනාකමක් දීලා අරගෙන යනවා… පන්සලේදි ඇහෙන අනිමිසලෝචනය ගැන බණ කතාවලට සාදුකාර දෙන මේ මිනිස්සු “ගඟෙන් එගොඩ වුණාට පස්සේ ඔරුව කරේ තියන් යන්නේ මොකටද” කියල හිතන, බැදීම් ප්‍රහීණ කළ මිනිස්සු බව කියන්න ඒ උදාහරණෙම ඇති…

ඔන්න එතකොටම කුස්සියට මතුවුණේ “දිමුතු”.

“අද පහළ “උඩුකඹුරේ’ වී පටවනවා…. මෙහා කෑල්ලේ කොළ පාගනවා…. කෑම ටිකක් එහෙම කාලා ලෑස්ති වෙමුකෝ….” අපේ මග පෙන්වන්නා ඒ දැනුම් දීම කලේ ඉක්මණින්ම ගැමි අසිරිය බලන්නට මඟට බට යුතු බව මතක් කරමින්….

කෙමෙන් කෙමෙන් කන්ද මුදුණෙන් ගමට වැටෙන ඉරු එළිය ගස්වල කොළ අතරින් රූටලා ඇවිත් උඩවාඩියේ පොළොවට වැටෙන්න ගන්න කොට හතයි කාලට විතර ඇති. ඒ වෙනකොටත් කුරුළු කූජනයට කලබලයක් මිසෙක ඉවසිල්ලක් නෑ… මේ ගෙදරට අවශ්‍යතා සදහා ජලය ගන්නේ නැවුම් උල්පතකින්. ඒ උල්පත තියෙන්නේ ගෙට පිටුපස ඇති කන්දේ අතරමැද තැනෙක…එතැන් සිට ඇතිරූ ප්ලාස්ටික් බට දිගේ නොනැවතී අධිවේගයෙන් ගලන වතුර කවදාවත් හිඳෙන එකක් නොවෙයි… අයිස් කැටේ වගේ සීතල ඒ වතුර පහරට හොරෙන් හොරෙන් දෝත පා ගත් වතුරෙන් මුව සෝදාගත් අපි, අද දවසට අදාළ ගමනට සූදානම් වුණා….

උදේ කෑමට තිබුණේ කිරිබත්… පංකාදු පහට ගලේ අඹරලා හදපු ලුණු මිරිසත් එක්ක අලුත් අස්වැන්නනේ කිරි රහට හැපෙන කැකුළු හාල් කිරිබත කාපු අපි ඊළඟ මොහොතේ කුඹුරු යාය හොයාගෙන පල්ලම් බැස්සා…

කලින් දවසෙ “ගෝන දෙන පැන්න ඇල්ල” හොයාගෙන ගිය පාරේ දොළ පහර දක්වා ගිය අපි එතැනින් පාර මාරු කරලා දොළ පහළට ගියා… සීඝ්‍ර බෑවුමක පහළ බහින දොලේ තැනින් තැනින් වාරි ඇළවල් නිර්මාණය කරලා තියෙන්නේ කඳු බිම් කුඹූරු බවට හරවගෙන තියෙන නිසා… උඩවාඩියේ තියෙන්නේ හෙල්මළු කුඹුරු… කන්දක උඩ ඉඳන් පහතට, පාරමිපරික ගොවි ඥාණය උපයොගී කර ගනිමින් සකස් කර තිබෙන හෙල්මළු කුඹුරු බලන්න ලස්සනයි. සතියකට කළින් ආව නම් කරළින් බරවෙලා බිමට නැමුණු කුඹූරු බලන්න තිබුණත්, අපි උඩවාඩියට එනකොට උඩවාඩියේ කුඹුරු කැපිලා ඉවරයි… දැන් දැන් සමහර කුඹුරුවල ගොයම් පාගනවා. සමහර කුඹුරු, කමත්වල වී වේලනවා… සමහර කුඹූරු ඊළඟ කන්නෙට වගා කරන්න අවශ්‍ය පස් පෙරලීම් ආදිය කරනවා…

ඈත වන වදුළු මැද්දෙන් ඉහළ නඟින රතු සහ සුදු පාට තැවරූ උස දුරකථන කුළුණු දෙකක් පෙන්වලා “දිමුතු” මල්ලි “අර පේන්නේ වැල්ලවාය…..” කියල කියනවා… අපි ඒ දිහා බලලා පිළිගත්ත බව ඇඟවෙන්න ඔළුව වනනවා…

“අපි මුලින්ම කුඩා ඔය ගාවට යමු..”

කුඩාඔය තියෙන්නේ උඩවාඩිය ගමේ ඉඳන් හැතැප්ම එක හමාරක් විතර පැරණි අඩිපාර දිගේ පහළට බැස්සහම… ඒ කාලේ ඉඳන් දැනටත් හිඟුරුකඩුවට යන්නේ මේ පාර දිගේ… හෝදාපාළුව වළක්වන්න අතරමැදින් ගල්වැටි බැඳලා තියෙන මේ පාරේ සමහර තැන් රෑටාගෙන පහළට යන්න පුළුවන් ආනතියෙන් යුක්ත අවදානම් සහගත තැන්…අපේ නඩේ සමහරුත් ඒ පල්ලම් බැස්සේ රූටාගෙන වගේ තමයි… පුදුමය කියන්නේ තවලම් බඳින හරක් කිලෝ පනහක් බර පටවගෙන මේ අවදානම් සහගත ආඳා පිටවල් දිගේ ඉහළ පහළ යන එක….

“අපේ ගමේ මිනිස්සු වැඩ ගත්තට පස්සේ හරක්ට වඳින වෙලාවල් තියෙනව…”

“වැඳල විතරක් මදි…. කකුල් අතපය තවන්නත් ඕන… මේ වගෙ යනවට….” එහෙම කිව්වේ අපේ නඩේ චමීර.

“දැන් ඔය තවලම් යන හරක් ඇදගෙන පෙරළිලා, කකුල් එහෙම කැඩිලා නැද්ද?”

“අපෝ ඕන තරම්… කැලේ ගොනිකා කොල තියෙන නිසා හොඳ කරන්න අමාරු නෑ… ගමේම හරක්ට වෙදකම් කරන්නේ අපේ මාමා කෙනෙක්….”

ගමේ ජිවත් වන, අපිට ගම් දැකුම් ගමනෙදි හමුවන හැම කෙනෙක්ම “දිමුතු”ගේ නෑයෙක්… ඒක තමයි මේ ගමේ හැටි… පහුගිය පළාත් පාලන ඡන්දෙට ගස් ගල්වල අලවපු පෝස්ටර් තාමත් තැන් තැන්වල ඉතිරි වෙලා තියෙනවා…. හැබැයි ගමට මන්ත්‍රී කෙනෙක් පත්වෙලා තියෙන්නේ කුඩා ඔයෙන් එහා කොස්ගොල්ල ගමෙන්… ඒකත් ආණ්ඩුවෙන් නොවෙයි විපක්ෂෙන්… මන්ත්‍රී කෙනෙක් තීරණය කරන්න තරම් ජන බලයක් උඩවාඩියට නැති නිසා හැම ඡන්දෙකම වෙන්නේ ගමට මන්ත්‍රී කමක් නැති වෙන එක තමයි…

කුඩා ඔය ඉහත්තාවෙන් කුඹුරට ගොඩවුණු අපිට මුලින්ම හමුවණේ මඩ කරලා, වතුර බැඳලා තිබ්බ ලියැදි ටිකක්… අඩියක් තියල අඩියක් උස්සගන්න බැරි පටු නියරක අවධානමක් අරන් යනවට වැඩිය මඩට බැහැල යන එක පහසුයි….

තම තමන්ගේ කුඹූරුවල වතුර බැඳලා, මඩ කරගන්න එක තනි තනිව කරගන්න වැඩක්… ගොයම් හිටවන එක කාන්තා පාර්ශවය එක්කාසු වෙලා අත්තමට කරගන්න වැඩක්… ආපහු පැහිල කරල් බිමට නැමෙනකම් වැඩ ටික වෙන්නේ තනිවම… අස්වැන්න කපන එක, ගොයම් පාගන එක කරගන්නේ සාමුහිකව අත්තමෙන්…. ආපහු වී ටික වේල ගෙන අස්වැන්න ගෙට ගන්න එක කරන්නේ තනිවම…. කුඹුරුයාය මැද තැන තැන බෝගස් පිහිටලා තිබුණා… ඒ වගේම විවේක ගන්න පැල් කොට හදලා තිබුණා... පිපාසාවට වතුර බොන්න ලබුකැටේ අරන් ආවට, වල්නාශක ප්ලාස්ටික් බෝතල් නියර අයිනේ වැටිලා තිබුණේ පරස්පර කතාවක් කියන්න වගේ... ටිකක් විතර නියර දිගේ ඉහළ නැඟලා ගියහම හමුවුණේ ඉපැනැල්ල තියෙන කුඹුරු යායක්… ඒකේ කෙළවරක ගොයම් පාගනවා… කවි සද්ද නම් ඇහුණේ නැතත්, දහදොළොස් දෙනෙක් එතැන හරි හරියට වැඩ කරා…. මහන්සි වෙන අයට බොන්න, කේතල දෙකක ගෙනත් තිබුණු තේ පංගුවෙන් ඉතිරි ටිකත් බීපු අපි අඩ හෝරා අඩක් විතර ගොයම් පෑගිල්ල බලන්න ගත කළා… රටාවකට කෙරෙන ඒ කර්තව්‍යය, ගමේ වුණාට හැමෝටම බැරි වැඩක් බව තේරුණේ එතැන පිරිසෙන් දෙතුන් දෙනෙකු පමණක් ප්‍රධානියන් වෙද්දී අනෙක් පිරිස සහායකයින් පමණක් බව වැටහුණු නිසා… තවත් ටිකක් කන්ද නැඟගෙන උඩට එනකොට එතැන තවලමකට වී පටවනවා… ඒකත් සකසුරුවමින් විමසිල්ලෙන් කරන්න ඕන රාජකාරියක්…

ගැමිකම, සංකර නොවූ සිරත් විරිත් එක්ක තවත් හෝරාවක් දෙකක් ගත කරන්න ඕන වුණත්, සංචරණයට ඉඩකඩ ලැබෙන සති අන්තයේ දෙවැනි දවස අවසානයේ නිවෙසට පැමිණිය යුතු නිසාම උඩවාඩියෙන් සමුගන්නට වෙලාව එළැඹෙමින් තිබුණා…

ඒ නිසාම අතීත කතාවෙන් වර්තමාන කතාවට මාරු වුණු උඩවාඩිය ගමේ අනාගත කතාව ලියන්න ආයෙත් දවසක එන්න හිතාගෙන මමත්, අපේ පිරිවරත් උඩවඩියට සමුදෙන්න තීරණය කළා… “දිමුතු”ගේ ගෙදරට ආපහු එන පාරෙදි දොළෙන් එගොඩ වෙන තැන දිය වලකට පැනලා නාගත්තු අපි දවල්කෑමත් අරගෙන, Eternal Traveller ආයතනය වෙනුවෙන් “රැස” සංචාරයට උඩවාඩියේ පහසුකම් සපයපු “දිමුතු” මල්ලිටත් ස්තූති කරලා දොඩම්ගොල්ලට පයින් ගාටන්න පටන්ගත්තා… අපි එනකම් මඟ බලාගෙන හිටපු “සම්පත්” මල්ලිගේ මැක්සිමෝව ඇල්ල පැත්තට කන්ද අදින්න පටන් ගත්තා… ඇල්ලට හොඳටම වැස්ස… තවත් දවසක තවත් අලුත් ගමනකින් හමුවෙන බලාපොරොත්තුව ඇතිව ඇල්ලෙන් සමුගත් අපි තම තමන්ගේ නිවාස සොයාගෙන හතර අතේ විසිරුණා…

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමග ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් Eternal Traveller අප අමතන්න… එසේම රැස පුවත්පත වෙනුවෙන් MegaaHike කණ්ඩායම සමඟ අපූරු සංචාරවල යෙදෙන්නට අවශ්‍ය නම් අපත් සමඟ එකතු වන්න… අපේ මීළඟ චාරිකාව දෙහදු කඩුල්ල පැන කොත්මලයට…. Eternal Traveller අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්....

සටහන [ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ ] [email protected]

ඡායා [Eternal Traveller වෙනුවෙන් ප්‍රදීප් ලක්සිරි සමඟ අරෆත් ෂනාස්]

කතා කරන්න අපිට...

ප්‍රදීප් 076 66 42 607 / 0703 17 44 17

දුලිප් 0777 043 804 / 0703 207 207

මාතෘකා