සතුට සැනසුම් සුවේ ඉතිරෙන ගමේ නමයි උඩවාඩිය | ඇස පාදන රැස


සතුට සැනසුම් සුවේ ඉතිරෙන ගමේ නමයි උඩවාඩිය

 ඡායාරූපය:

සතුට සැනසුම් සුවේ ඉතිරෙන ගමේ නමයි උඩවාඩිය

මල් පැණි බී - තලප කෑ අමතක නොවන ගමනක කතාව

“ගෝන දෙන පැන්න ඇල්ලේ”දිය ඇලි සෙල්ලම අහවර වන විට එළඹ තිබුණේ සවස් වරුවයි. කුසගින්න ගත රිදවන නිසාම අපි දිය කෙළිය අහවර කර ආපසු ගමන ඇරඹුවෙමු. වතුරට පෙඟුණු දෙපාවලින් ගල් මතින් පැන පැන යනවාට වඩා පහසුම දේ වන්නේ වතුරට බැස ජල පහර දිගේ ගමන් කිරීමයි. බඩගින්න වැඩි කමට නවාතැන කරා ඉක්මනින් යායුතු නිසාම අපි තෝරගත්තේ ඒ විකල්පයයි.

අපි නිවෙසට යන විට කෑම සූදානම් වෙලා තිබුණා. “දිමුත්”ගේ අම්මයි,සොයුරියන් දෙන්නයි එකතු වෙලා තමයි කැම හදල තිබ්බේ… නිවුඩු හාලේ බතුයි, වට්ටක්කා දළු සම්බෝලෙයි, පොළොස් ඇඹුලයි, කිරට හදපු පරිප්පු සහ තෙල් දැමු ටින්මාළු වංජනයයි පංකාදු පහට හදල තිබ්බා. ව්‍යාංජන ගැලපිල්ල උපරිමයි…. නෑමෙන් පස්සේ මතු වුණූ බඩගින්න, ව්‍යංජනවල රසයත් එක්ක මුහු වෙලාඑක පාරකින් සෑහෙන්න බැරිව දෙවැනි, තුන්වැන් වටයටත් බෙදාගෙන කෑවට කාටවත් මදි පාඩුවක් වුණේනම් නෑ…

දහවල් කෑමට අතුරු පස වුණේ “කිතුල් පිටි වණ්ඩු”. කිතුල්පිටි හදාගන්නේ කපා දැමූ කිතුල් ගසක බොඩයෙන්… ඒ නිසාම කිතුල් පිටි නිතර හදාගන්න ලැබෙන්නේ නෑ…. අවශ්‍යතාවයකට කිතුල් ගහක් කැපුවහම හෝ සුළඟකට අහුවෙලා පෙරළුණාම තමයි කිතුල් පිටි හදාගන්න අවස්ථාව ලැබෙන්නේ… ඒ නිසාම ඒ කිතුල් පිටි ප්‍රවේසම් කරගෙන පිට්ටු, රොටී. වණ්ඩු වගේ කැම හදන්න භාවිතා කරනවා…. වණ්ඩු හදන්නේ කිතුල් පිටි, කිතුල් පැණි සහ පොල් නියමිත අනුපාතයකට මිශ්‍ර කිරීමෙන්. අදාළ මිශ්‍රණය තරමක වේලාවක් පිපෙන්නට තබා, ඉන්පසු ගොටුවක් ලෙස සකසාගත් කැන්ද කොළයකට වක්කර තම්බා ගැනීමෙන් වණ්ඩු හදාගන්න පුළුවන්.

වණ්ඩු හදන එක විතරක් නොවෙයි, කොස් වාරෙට අටුකොස් හදාගන්න එක, කොස් ඇට එකතුකරන එක, පුවක් ඇහිඳලා කරුංකා කරන එක, සීට්ටු දන්කඳ පන්සලට ගෙනියන එක මේ ගමේ ගැමි ලියන්ගේ රාජකාරි ලැයිස්තුවේ වරදින්නේ නෑ… ගෙදර කුස්සියට යාබදව තියෙන දරමැස්ස පුරවලා තියාගන්න එකත් ගැමි බවලතුන්ගේ රාජකාරියක්… ආගන්තුක කාන්තා විමුක්තියක් සොයාගෙන පිකටින් නොගියට, ගෙදර වැඩත් කරගෙන,තමන්ට පැවැරෙන අතුරු වැඩ ලැයිස්තුවත් ඉටුකරන “දිමුතු”ලාගේ අම්මා හිටියේ බොහොම සැහැල්ලුවකින්… ”දිමුතු”ලගේ අප්පච්චි බොහොම ගෞරවයෙන් තමන්ගේ පවුලේ වගකීම් ටික ඉෂ්ට කරනවා… තවම එන්ජීඕ නෝනලා ගමට ඇවිත් නැති නිසා පවුල් සැලසුම් වල ඉදල, පවුල් ආරවුල් වෙනකම් කිසිම දෙයක්ගැන ගමේ මිනිස්සුන්ට වගේ වගක් නෑ…ආරවුලක් වුණත් බත ඉදෙනකම් මිසෙක වැඩි කාලෙකට නොවෙයි.

ගෙදර ටී.වී. එකක් තිබ්බට ඒක බලන්නේ කලාතුරකින්…ඒ නිසා හවසට දිගහැරෙන, පවුල් අවුල් කරන ටෙලි කතන්දර වලට ඇබ්බැහිවිමක් උඩවාඩියේ නෑ… අහන චැනල් එක මොකද්ද කියල බෝඩ් ගහල නැති උඩවාඩියේ උදේට පිරිත් අහන්න රේඩියෝව දමන එනකම් අනිවාර්ය පුරුද්දක්… දවසේ පත්තරේ ඕන නම් ගේන්න වෙන්නේ ඇල්ලෙන් හරි පැල්වත්තෙන් හරි තමයි…. පිටි, භුමිතෙල්, අල, පරිප්පු වැඩි වුණා කියල දැනගන්න හදිස්සියක් නැති නිසා පත්තරේට ඇබ්බැහි වුණු පිරිසත් බොහොම අඩුයි… හිටියත් ඒ අනූවෙන් මෙපිට ඉපදුණ පරම්පරාව. එතැනට කලින් පිරිසට අකුරු සාස්තරේ හරියට බැරි නිසා පත්තරේකින් ඇති වැඩක් නෑ…

උඩවාඩියට දවස ඇරඹෙන්නේ හිරුට කලින්. උදේම ගෙදර උයන, පිහන කටයුතු ටික. දෙමාල්ලොම හරි හරියට සහයෝගෙන් කෙරෙන මේ වැඩේට පවුලේ දැනුමුතු දැරිවියක් ඉන්නවා නම් දායක විම අනිවාර්යයි. කිතුලේ මලට බෙහෙත් තියෙන එක - තෙලිජජ මුට්ටිය අලුත් කරන එක ගෘහ මූලිකයාගේ ඊළග රාජකාරිය... එවෙලෙම අඹරගත්තු කුරහන් ටිකකින් හදන පිට්ටුවකින්- රොටියකින්, තැම්බෙන බඩඉරිඟු කරලකින්, මාළුවක් දෙකක් එක්ක ඉදෙන කැකුළු බත් ටිකකින් උදේ දවල් වේල සකසගෙන කුඹුරට, කමතට, අත්තමට හරි කොරටුවට හරි යන එක දෙමාල්ලන්ගේ ඊළඟ වැඩේ. සමහරවිට පිරිමියා කුඹුරට යද්දි, ගෘහණිය වත්තේ පිටියේ ගම්මිරිස් ටික එක්ක, කොකෝවා වගාව එක්ක, කිතුල් තෙලිජ්ජ ටික පදම් කරන වැඩ එක්ක ගත කරනවා… තනියම කුඹුරට ගිහින් වැඩ කරන බවලතුනුත් හිඟ නෑ…

පොළ දවසට හිඟුරුකඩුවට හෝ බල්ලකැටුවට යාමත් අනිවාර්යයි. හිඟුරුකඩුවට නම් තමන්ගේ අස්වැන්න පොදි බැඳගෙන තවලම දක්කගෙන හෝ හිස මත තබාගෙන යන අතර බල්ලකැටුවට නම් යන්නේ සම්පත්ගේ මැක්සිමෝ එකෙන්… සතියටම ඕන ලුණු, කරවල වගේ දේවල් රෙදි පෙරෙදි ගන්නේ පොළෙන්. දෙන්නම කුඹුරට ගියොත් ගෘහණිය ටිකක් වේලාසනින් ගෙදරට එනවා… ඒ දර හොයන්න, වේලපු රෙදි ගෙට ගන්න වගේ දේවල් වලට... උදේ බැඳපු හරක් ටිකත් ලෙහාගෙන ඉර අවරට යන්න පටන් ගන්න කොටම ගෙදර එන ගෘහමූලිකයා කෑමෙන් පස්සේ ටිකක් විවේකෙන් ඉද්දි ගෘහණියට මැහුම් ගෙතුම්, පුවක් එකතු කිරිල්ල, කොප්පරා වේලිල්ල, පැදුරු විවිම වගේ වැඩ තියෙනවා…. ඉර බැහැගෙන යද්දි ගෘහ මූලිකයා කිතුල් ගහටත්, ගෘහණිය කුස්සියටත් යනවා… ගමේ පිංකමක්, මළගෙයක්, මඟුලක් නැති දාට හවස හය හත වෙත්දි තම තමන්ගේ ගෙවල් වලට කොටුවෙලා දරුවන්ගේ පාඩම් වැඩට, පවුලේ කතා බහට එකතු වෙන නිවැසියෝ කලින්ම නින්දට යනවා….

දැන් දැන් මේ සරල ජිවිතේ තරමකට වෙනස් නොවෙනවමත් නොවෙයි… ගමේ හැම ගෙදරටම වගේ සිඩීඑම්ඒ දුරකථන තියෙනවා… ඈත ඉන්න නෑයෝ එක්ක කතා බහට ඒ දුරකථන වැදගත්… ජංගම දුරකථන සංඥා නැතත් ගමේ තරුණ පිරිස අතර ජංගම දුරකථන තියෙනවා… හිඟුරුකඩුවට, හිඟුරුකඩුවෙන් මොණරාගලට පාසැල් ගිය “දිමුතු”ට ස්මාර්ට් ෆෝන් එකක්, ෆේස්බුක් එකවුන්ට් එකක් තියෙනවා… ජයවර්ධනපුර කැම්පස් එකේ ඉන්න “දිමුතු”ගේ අක්කට ඊමේල්, ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් එකවුන්ට්ස් තියෙනවා…. ජංගමයාට සංඥා ගෙන්න ගන්න සරල කාර්මික දැනුම භාවිතා කරලා “දිමුතු” විසින්ම සකසා ගත් අපූරු පහන් පැළකුත් “දිමුතු”ලගේ ගෙදර තියෙනවා…. අපිත් උඩවාඩියේ ගත කළ දවස් දෙකේදි, අපේ නාගරික සහෘදයින් සමඟ සබඳතාවය ගොඩනඟා ගත්තේ සරල සංඥා වර්ධකයක් ලෙස සකසා තිබූ ඒ පහන් පැලේ පිහිටෙන් තමා….

ඩයබිටික්ස්, කොලෙස්ටරෝල්, බයිපාස් වගේ ඉංග්‍රීසි නම් තියෙන ලෙඩවලට බෙහෙත් ගන්න වගේම උසස් පෙළට පන්ති යන්නත් ගමේ මිනිස්සු හරි හරියට බදුල්ලට මොණරාගලට යනවා…. විළි රැහැනේ එල්ලිලා දරුවෝ වැදුව තරුණ අම්මලා තවමත් උඩවාඩියේ ඉන්නවා… ඒ වුණාට පවුල් සෞඛ්‍ය සේවා මිසීගෙන් බේරිල්ලක් නැති නිසා දැන් දැන් හිඟුරුකඩුවට බුත්තලට, මොණරාගලට ක්ලීනික් යන, චැනලින් යන පිරිස් ගමේ ඉන්නවා...එක දවසක පැයක දෙකක වැඩක් වෙනුවෙන් ගමෙන් පිටට යන උඩවාඩියේ මිනිස්සු මඟතොටේදි ගත කරන කාලය සමහරවිට දවස් දෙකක්. නැත්නම් තුනක්… ගමෙන් පිටවෙලා පළමු දවසේ හිඟුරුකඩුවේ හෝ පැල්වත්තේ නැවතිලා, ඊළඟ දවසේ මොණරාගලට ගිහින් අවශ්‍ය කාර්යය කරගෙන ආපහු එන ගමනෙදි, පැල්වත්ත පහුකරගන්න ලැබෙන්නේ කලාතුරකින්. එහෙම වුණොත් එදාට ආයෙමත් පැල්වත්තේ නැවතිලා ගමට එන්නේ පහුවදාට…. මේ නිසා උඩවාඩියේ මිනිස්සුන්ට හිඟුරුකඩුවේ, පැල්වත්තේ ගෙවල් දොරවල් ආගන්තුක තැන් නොවේ…ලබාදෙන නවාතැන් වෙනුවෙන් කිතුල් හකුරු මුලකට, බඩඉරිඟු කරල් කිහිපයකට එහා දෙයක් ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙත් නෑ… ඇල්ල හරහා බදුල්ලට යන වැඩෙත් මේ විදියම තමයි. වෙනස් වෙන්නේ ඇල්ල, බල්ලකැටුව ග්‍රාම නාම දෙක විතරයි.

කිතුල් ගහ එක්ක ගැමියන්ගේ ගනුදෙනුව හරිම අපූරුයි. ඒවගේම වැඩි බජනෙට ගිහින් කිතුල් ගස් පාමුල අහවර වෙච්චි ජීවිත ගැන මතකත් උඩවාඩියේ තියෙනවා…කිතුල් ගහක පළවෙනි මල සනුහරේ අනාගතේ ගැන හිතල ගහට කැමැති විදියට පිපිලා පරවෙන්න ඉඩදෙන ගැමියා දෙවැනි මල පූදින කොටම රිටි තියලා, වරපට බැඳලා හැර ගහගෙන සූදානම් වෙනවා… ඊළඟට මලේ අගපිරෙන කාලෙට කොල්ලන් කොළ, කොච්චි, හුනු, වියල් දුඹුලු, සහිඳ ලුණු ආදී දේවල් අරගෙන දෙහි ඇඹුලෙන් අඹරලා බෙහෙත් එහෙම තියලා මල කපන්න ගන්නවා… ඊට පස්සේ ඉතින් නිධානේ පහළ වුණා වගේ තමයි… උදේට ලැබෙන තෙලිජ්ජ ටික දවසම කුඹුරු කොටන්නට ජවයක් ගෙනෙන ශක්තිජනක පානයක්… හවසට ලැබෙන රා ටික පවුල් ජීවිතේ රැකගන්න අවශ්‍ය ශක්තිය ගෙනෙන අරුම පුදුම වාජීකරණයක්… ඕනම දෙයක් ඕනවට වඩා ඕන නැති නිසා පමණ දැන පානයෙන් කාටවත් වරදක් නෑ කියල තමයි “දිමුතු”ලගේ තාත්තා කියන්නේ….

“මේ ගම දුෂ්කරයි තමයි… ඒත් අපි මේ ගමට, ගමේ පිළිවෙතට කැමැතියි. ගේ ගාවටම වාහනේ ඇවිත් බහින්න අපිත් කැමැතියි… ඒත් ඒක බලපෑමකට, හදිසියට ඉක්මනට වෙනවට වැඩිය සාමාන්‍ය විදියට හෙමි හෙමින් වෙන එක තමයි හොඳ. අපේ ගෑණු විළි රෑනේ එල්ලිලා දරුවෝ වැදුවට අපේ දුවල එහෙම කරන්න ඕන නෑ… කොළඹ රටේ මිනිස්සුන්ට ඇවිල්ල බලල “අනේ අපොයි” කියල දුක් වෙන්න පසුතැවිලි වෙන්න දෙයක් නෑ… අපි මේ ගම් වල ඉන්නේ සතුටෙන්… අපි තලප කනවා තමයි…. හැබැයි හරි හරියට බතුත් කනවා… ගමේ කැම කෑව කියල අපිට, අපේ ළමයින්ටත් කොළඹ රටේ ලෙඩ හැදෙනවා… කලින් වෙද ගෙදරින් බෙහෙත් ගත්තු අපි දැන් ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්නවා… ඉස්කෝල තියෙනවා තමයි…ඒත් කොළඹ රටේ තරම් ලස්සනට නෙවෙයි… එහෙමයි කියල කොළඹ රටේ ඉගෙන ගත්තු මිනිස්සුත් රස්සා නැතිව ඉද්දි, අකුරු ඉගෙන නොගත්තට අපිට රස්සා නැතිවෙන්නේ නෑ… ගම්මිරිස් ටික කොකෝවා ටික විකුණගත්තහම අපිත් ලස්සෙට කොඩි දානවා…” ඒ කතාව දිමුතු ගේ තාත්තගෙන්….

හවස් වරුවට කිතුල් ගහට බඩ ගාලා ආවට පස්සේ ගමේ මිනිස්සුන්ගේ මුඛරි බව වැඩි වෙනවා… හැබැයි ඒක බොහොම සුන්දරයි….වෙල්ලස්ස සටනේ ඉඳන් අතීත කතන්දරයි, රසවත් ජීවන අත්දැකීම් වල ඉඳන් විශ්මයජනක සිදුවිම් ගැනයි, කතන්දර බොහොමයි… මේ හැම එකක්ම ඇද පළුද්දක් නැතිව එළියට පනින්නේ කිතුල් සාරයේ තියෙන අපූරු ගුණයක් නිසයි… ආගන්තුක අපිටත් හොඳටම සළකන්න හිතාගෙන “දිමුතු”ලගේ තාත්තා නොපැසණු කිතුල් සාරය වෙන්කරල අරන් ඇවිත් තිබ්බා… අනුපාන අඩුවැඩියත් එක්ක ලැබුණු ඒ සත්කාරය අපේ හවස්වරුව ඇත්තටම සුන්දර එකක් කළා…

සවස්කරේ ඇල්ල පැත්තෙන් මතුවුණු වැහිවලාවත් එක්ක රාත්‍රිය එළැඹෙද්දි පට්ටම කළුවරයි… විදුලිය තිබුණත් මඳ ආලෝකය සහිත විදුලි බුබුළු වලට අවට වනාන්තරය විනිවිදගෙන වැඩි ඈතකට යන්න බෑ… ගේකින් ගේකට හූවක දුර තියෙන නිසා ළඟම ගෙදර විදුලි එළිය වුණත් පේන්නේ නෑ…ඒ නිසාම නියෝන් එළි පිරුණු රාත්‍රියට නිදිබර නොවන උඩවාඩියට ආගන්තුක දෑස් නිදිකිරා වැටෙන්න ගත්තේ අටේ කණිසමත් වැදෙන්න කලින්….

ලහි ලහියේ මුළුතැන් ගෙයින් රෑ කෑම පිලියෙල වෙන කලබලය දැනෙද්දි කුසගින්න මෝරන්න ගත්තේ අපි අපිටත් හොරෙන්…

“අද රෑ කෑමට තියෙන්නේ මොනවද?”

අපේ කුකුස නිමා කරමින් තවත් මොහොතකින් “දිමුතු”ගේ අම්මා කෑම මේසෙට අරන් ආවේ දුඹුරුපාට ගුලි වගයක්…

“මේ තමයි තලප… කුරක්කන් තලප… මේක කන්නේ මෙන්න මේ විදියට කොල්ලු ආනමේ පොඟවගෙන...කාලෙකට කලින් නම් අපේ ගම්වල තලපත් එක්ක දඩමස් හොද්දක් වරදින්නේ නැ… ඒ වෙනුවට අද තියෙන්නේ “චිකන්” කරියක්…”

තලප කන විදිහ ගැන හැදින්වීමක් කරලම ඇය අපිට කැමට ආරාධනා කළා… හදිසියේවත් තලප ගිලගන්න අමාරු කෙනෙක් හිටියොත් කන්න කියලා, ඇල්ලෙන් ගෙනාව පාන් රාත්තල් දෙක තුනත් වෙනම කපල ළඟින්ම තිබ්බත් තලප ගුලි ටික ඉවර වෙනකම් ඒ දිහාවත් බලන්න අපි ඉදිරිපත් වුණේ නෑ… බඩේ රැළි මැකෙනකම් බඩගින්නත්, පෙරේතකමත් දෙකටම හිළව් වෙන්න තළප සහ පාන් කාපු අපි ඊළඟ මොහොතේ නැවතුණේ සාලය පුරා පිළිවෙලකට එලුණු පැදුරු උඩ…නින්දෙයි, සැප නින්දෙයි වෙනස තියෙන්නේ මෙට්ටයක නොවෙයි පැදුරක කියල තේරුම් ගන්න පුළුවන් වුණු ඒ රාත්‍රිය නැවැත නැවත ළඟා කරගන්න බැරි වීම ගැන නම් අදටත් තියෙන්නේ දුකක්….

අවසන් කොටස ලබන සතියේ….

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමග ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් Eternal Traveller අප අමතන්න… එසේම රැස පුවත්පත වෙනුවෙන් MegaaHike කණ්ඩායම සමග අපූරු සංචාරවල යෙදෙන්නට අවශ්‍ය නම් අපත් සමඟ එකතු වන්න… අපේ මීළඟ චාරිකාව දෙහදු කඩුල්ල පැන කොත්මලයට…. Eternal Traveller අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...

සටහන [ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ] [email protected] I ඡායා Eternal Traveller වෙනුවෙන් [ප්‍රදීප් ලක්සිරි] [චතුර හේමාල්]

(මෙම ලිපියේ මුල් කොටස් පසුගිය සතිවල රැස සංචාරක පිටුවේ පළවිය. මේ එහි තෙවැනි කොටසයි.)

ප්‍රදීප් 076 66 42 607 / 0703 17 44 17

දුලිප් 0777 043 804 / 0703 207 207

මාතෘකා