කුමන කැලේ අලි සෙල්ලම් බලා එන්ට ගිය අන්දම්

 ඡායාරූපය:

කුමන කැලේ අලි සෙල්ලම් බලා එන්ට ගිය අන්දම්

දවස පුරාම ඇවිදපු වෙහෙසත්, පානම පොළොව තෙමෙන්ට පෙරදා රැයේ වැටුණු වැස්සත් නිසා කලින් දවසේ ලැබුණු සැප නින්දට, අතරමඟ විරාම ලකුණු තියන්නට කිසිම සාමාජිකයෙකුට අවස්ථාව ලැබුණේ නෑ.. ඒත් පානම අහස ඒකාලෝක කරමින් අලුත් දවසක් අරගෙන වඩින හිරුටත් කලින් අවදි වෙන්න අපේ කණ්ඩායමට සිද්ධ වුණා. ඒ හරියටම උදේ හය, හය හමාර වෙනකොට කුමන කුරුළු අභය භූමියට පිවිසෙන අපේ අරමුණ ජයගන්න ඕන නිසා.

 


දනි පනි ගාලා ලැහැස්ති වෙලා  ඉවර වෙන්නත් කලින්, සෆාරි කැබ් ටික නවාතැන ඉදිරිපිටට ඇවිත් තිබුණා. පානම වෙරළ රකින වැලිපර වලට පහළින් විහිදුණු වැලි පාර දිගේ අපි කුමනට යන්න පිටත් වුණා. දෙමළ ඌරුවට සිංහල කථා කරන පානම ගම්මානයේ ඉඳන් කිලෝමීටර් දහසයක දුරකින් තමයි කුමන කරුළු අභය භූමියේ පිවිසුම තියෙන්නේ. ඒත් ඒ දුර ගෙවෙන්නේ පානම මිනිස් ජිවිත ගැන අපූරු හරස්කඩක් ආගන්තුක අපිට විවර කරමින්.
දරකැපීම සහ ගොවිතැන තමයි මේ ගමේ මිනිස්සුන්ගේ ප්‍රධානම ජීවිකාව . ධීවර රස්සාව කරන පවුල් කිහිපයකුත් රජයේ රැකියා කරන සුළු පිරිසකුත් හැරුණහම ගොඩක් දෙනා ගොවියො. හැබැයි වී ගොවිතැන් කරනවද, ගොඩ ගොවිතැන් කරනවද කියල  තීරණය කරන්නේ වැහි දෙයියන්ට ඕන හැටියට මිසෙක ගොවියන්ට ඕන හැටියට නොවෙයි. පත්තිනි ඇදහිල්ල ජයටම කෙරෙන මේ ප්‍රදේශයේ කතරගම දෙවියන් ඇදහීමත් දකින්න පුළුවන්.. කතරගම පෙරහැර කාලෙට “පාදයාත්‍රා” යන, උතුරෙන් නැගෙනහිරෙන් එන වන්දනාකරුවෝ පානම පහු කරගෙන ඔකඳට යන්නෙත් අපි යන පාර දිගේම තමයි..


වනාන්තර සීමාවට ඇතුළු වෙන්න කලින්ම මුව රංචු, වඳුරු රංචු ,කුරුළු රංචු අඩුවක් නැතිව බලන්න පුළුවන් කම තිබුණා. කලින්දා වැස්සට තෙමුණු පිල් වේලගන්න උත්සහ දරණ මොණරුත් හරි හරියට බලාගෙන අපි තව තවත් ඉස්සරහට ගියා. කුඩුම්බිගලට හැරෙන හන්දියත්, ඔකඳ දේවාලෙට හැරෙන හන්දියත් පහුවුණාම ඊළඟට හමුවන්නේ කුමන පිවිසුම. ත්‍රස්තවාදී කලබල තිබුණු සමයෙදි විනාශ වුණු අතීත ගොඩනැගිලි වෙනුවට තැනුණු නව ගොඩනැඟිලි සංකීර්ණයත් එක්කම තිබෙන කුමන පිවිසුමෙන් ප්‍රවේශපත්‍ර ගත්තු අපි වනෝද්‍යානයට ඇතුළුවුණා.


කාලෙකට කලින් යාල වනෝද්‍යානය විදියට හඳුන්වපු මේ වන බිමේ කුඹුක්කන් ඔයට මෙහා කොටස කුමන කුරුළු අභයභූමිය බවට පත් වූණේ මෑත කාලීනව. කළපු, විල්ලු සහ වැව් ගණනාවක් පිහිටි මේ බිම කුරුළු පාරදීසයක්. වනෝද්‍යානයට ඇතුළු වූ සැනින් හමුවන්නේ තරමක් විශාල වැවක්. ඒ වැව අද්දර පිල් විදහාගත් මොණරෙක් රඟමින් සිටියේ අපිව පිළිගන්න වගේ.
“දිවියෙක් බලාගන්න බැරි වෙයිද?”
කැලේ මැදින් යන අපේ වාහනේ රියදුරුගෙන් මම එහෙම ඇහුවේ කැමරාව සුසර කරන ගමන්.
“බැරි වෙන එකක් නැහැ. ඒත් වාහනේ සද්දේ දැනෙන කොට පැනගන්නමයි බලන්නේ..”
පළිහ දැමූ වල, කිරිපොකුණ, කොටගල්පොකුණ වගේ පුංචි පුංචි දියකඩිති වල හාවුන්, මුගටියන්, මීමින්නන් වගේ පුංචි සත්තු නිදහසේ හිටියා. අනෙක් සංචාරකයින්ට වඩා කළින් උද්‍යානයට ඇතුළුවෙන්න ලැබුණු නිසා පුංචි සත්තු කලබල වෙන්න කලින් දැක බලාගන්න අවස්ථාව අපිට ලැබුණා.


ඊළගට අපි ගියේ යෝධ ලිප ගාවට. සමාන ප්‍රමාණයෙන් යුතු විශාල ගල් ගෙඩි තුනක් එකිනෙකට ආසන්නව පිහිටා තිබෙන මේ ස්ථානය පාදයාත්‍රාවට එන වන්දනාකරුවන්ගේ ජනප්‍රිය නැවතුම් පොළක්. ඊළඟට හමුවුණේ ළිංතුන. මුහුදු වෙරළට ආසන්නව තිබුණත් ළිංතුන කියන තැන පිහිටි ළිං වල වතුර කිවුලක් නම් නෑ කියල තමයි අපේ වාහනේ රියදුරු තැන අපිට කිව්වෙ.
කාලෙකට කලින් මෙතැන නාවික හමුදා කඳවුරක් තිබුණත් අද ඒක ඉවත් කරලා. වනෝද්‍යානයට ඇතුළු වෙනකොට පනවපු නීති වලට අනුව මෙම ස්ථානයේ බහින්න අවසරයක් නොමැති නිසා ළිං වල වතුර කිවුල්ද නැද්ද කියල බලන්න අවස්ථාවක් අපිට නම් ලැබුණේ නැහැ.


හෙමි හෙමින් වටපිට බලාගෙන යන අපේ වාහන පෙළට ඊළඟට හමුවුණේ අලියෙක්. තුම්මුල්ල වැවේ ඉවුරට ආසන්නව  නිවි හැනහිල්ලේ දිය සැනහෙමින් හිටිය ඌට අපේ පැමිණීම ගැන වගක්වත් තිබුණේ නෑ. ඉදිරිපස පාදයෙන් පස බුරුල් කොට හොඬෙන් ගලවා ගන්නා තණකොළ පඳුරු වල මඩ වැව් දියෙන් සෝදා හරිමින් බුදින මේ සද්දන්තයා ගාව වෙලාව යනවා දැනුණේ නෑ. අලි බැලිල්ලත්, බලි බැලිල්ලත් කෙළවර නොවන වැඩක් බව දන්නා අපේ රියදුරු තැන හෙමි හෙමින් ඉස්සරහට යන්න ගත්තා.


වන සංරක්ෂණ දෙපාර්ත‍ෙම්න්තුවේ සංචාරක නිවහනක් තුම්මුල්ල වැව ආසන්නයේම පිහිටලා තියෙනවා.. කුමන වනබිම ඇතුළේම නැවතිලා ඇති තරම් වන සතුන් නරඹන්න අවස්ථාවක් මේ නවාතැන වෙන්කරගන්නා සංචාරකයින්ට ලබාගන්නත් පුළුවන්.


තැනින්තැන හමුවන වනගොමු, පතන, විල් සහ කළපු පසු කරමින් බොහොම හෙමින් යන අපේ වාහන පෙළේ අවසාන ඉලක්කය වන්නේ කුඹුක්කන් ඔයයි. කෙටිම දුර කිලෝමීටර දාහතක් වුණත් වන සතුන් නැරඹිම පහසු වනු පිණිස සැකසූ අතුරු මාර්ග ඔස්සේ යන නිසා උපරිම දුර කිලෝමීටර් විසිපහක්.  උදේ පාන්දරින්ම නවාතැනින් පිටවුණු අපේ, උදදෑසන කෑම වේල අතරමඟ හමුවන නැරඹුම් මැදිරිය අසලදි ගන්න අපි තීරණය කළා. වනෝද්‍යානය නරඹන්නට එන පිරිස් වලට වාහනයෙන් බහින්න අවසර ලැබෙන ස්ථාන තුනෙන් එකක් තමයි නරඹුම් මැදිරිය. විශාල කුළුනක් ලෙස ඉදිකර ඇති එයට පඩිපෙළ දිගේ ඉහළ නගින්න පුළුවන්. එක් පසෙකින් කුමන ගමත්, අනෙක් පසින් මුහුදත්, කෙලවරක් නොපෙනෙන මහ වනයත් මැද කුමන වැවට මායිම්ව ඇති මේ ස්ථානය පක්ෂි නිරීක්ෂණයට කදිම තැනක්.
හැඳි ආලාවන්, විවරතුඩුවන්, කරවැල් කොකුන්, ලතුවැකියන්, මානාවන්, සියක්කාරයින්, සේරුවන් ඇතුළු ජල තලයේ වෙසෙන කොකුන් වර්ග ගණනාවක් එක දසුනකින් බලාගන්න පුළුවන්කම ලැබෙනවා… ඊළඟට  පඳුරු අතර වෙසෙන මැටි කොකුන්, රෑ කොකුන්, ගෙඹිතුරුවන් වගේ කුරුල්ලන් පැහදිලිව අඳුරගන්න පුළුවන්. අහස සරන ලිහිණින්, උකුස්සන්, කුරුළු ගොයන්, පිළිහුඩුවන් ඇස් මට්ටමටම දකින්න පුළුවන්.
‘අන්න අතන කිඹුලෙක්’. ඒ හඬ අපේ කණ්ඩායමේ සඳුන්ගෙන්
“එකෙක් නෙවෙයි. අර අතනත් කිඹුල්ලු දෙන්නෙක්.”
ඒ  නවෝදා.
අර ඈත අලියෙකුත් ඉන්නේ. ඒ තවත් සාමාජිකයෙක්.
වෙන් වෙන් කරලා විස්තර කළොත් දවසම එතැන ගතකරන්න වෙන නිසා, ඒ වැඩේ පැත්තකින් තියලා අපි අපේ උදේ කෑම ගන්න පටන්ගත්තා. පානම පත්තර කඩේ දිනේෂ් අයියලගෙ ගෙදරින් රසට හදල දිපු ඉදිආප්පත්, පොල් සම්බෝලත්, පරිප්පු හොද්දත් වෙලාවේ හැටියට කදිමට ගැලපුණා. පැය භාගයක විතර විරාමයකට පස්සේ අපි ආපහු ගමන පටන් ගත්තා.
කුළුමීමන් රංචුවක්, තවත් වල් අලි කිහිප දෙනෙක් බලාගෙන පැරණි කුමන ගම්මානය පසු කරගෙන ගිය අපිට ඊළඟට හමුවුණේ කුඹුක්කන් ඔය. කුඹුක්කන් ඔය දෑලේ තියෙන කුඩා කැබිලිත්ත දේවාල බිම තමයි අපේ ගමනේ ගමනාන්තය වුණේ.


අපි ගිය දවස කෙම්මුර දවසක් නොවුණත්, පානම ශාස්ත්‍රවෙල ගමේ ඉඳල බාරයක් ඔප්පු කිරිමට පැමිණි පිරිසක් එහිදී අපිට හමු වුණා. අලුත උපන් බිළිඳියක වෙනුවෙන් වූ භාරයක් පත්තිනි දෙවියන් වෙත ඉෂ්ඨ සිද්ධ කිරීමට පැමිණි ඒ පිරිස දේවාල බිමේම මුරුතැන් බත් සහ කිරි ආහාර පිසිමින් පූජාවට සූදානම් වන සැටි දක්නට ලැබුණා.
මේ දේවලයේ ස්ථිරව රැඳී සිටින කපු මහත්වරු නැහැ. අවශ්‍ය වූ විටෙක පමණක් පානමින් මෙහි එන ඔවුන් නැවත පුදපූජා අවසන් වීමෙන් පසු ගම්රට බලා යාම තමයි සිදු වෙන්නේ. පැයකට විතර පස්සේ යාතිකා කරල, පූජාවන් කරල ඉවර වුණහම අපිටත් මදි නොකියන්න මුරුතැන් සහ කිරි ආහාර බෙදා දෙන්න පැමිණි බැතිමතුන් අමතක කළේ නැහැ. කෙටියෙන්ම කිව්වොත් අපේ කණ්ඩායම මුරුතැන් පූජාවට තිබ්බ පෙරේත කමට පැයක් විතර හොරගල් අහුල අහුල  හිටිය කියන එකයි ඇත්ත.


මුරුතැන් පූජාවෙන් පස්සේ බැතිමතුන්ට ස්තූති කරපු අපි ආපහු වනබිම අතුරු පාරවල් දිගේ පානමට ආවා. දිනේෂ් අයියලාගේ ගෙදරින් දහවල් කෑමත් අරගෙන, ලබාදුන් ආගන්තුක සත්කාර වලටත් ස්තූති කරල හවස් වරුවේ කොළඹ එන්න පිටත් වුණේ ඊළඟ සංචාරයට දින වකවානු එහෙමත් කතා කරගෙන…
 

 

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමග ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් Eternal Traveller අප අමතන්න. එසේම  රැස පුවත්පත වෙනුවෙන් MegaaHike කණ්ඩායම සමග අපූරු සංචාර වල යෙදෙන්නට අවශ්‍ය නම් අපත් සමඟ එකතු වන්න. අපේ මීළඟ චාරිකාව තවමත් තවලම් පිටේ අස්වැන්න නගරයට ගෙන එන සුන්දර ගමක. Eternal Traveller  අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්. කතා කරන්න අපිට.
ප්‍රදීප්
076 66 42 607 |  0703 17 44 17
දුලිප්
0777 043 804 |  0703 207 207
[email protected]
ඡායාරූප - Eternal Traveller වෙනුවෙන් ප්‍රදිප් ලක්සිරි සහ ශාලික මධුශංක

මාතෘකා