මහියංගණේ මහ සොරබොර වැවාණෝ බිසෝකොටුවක් නැති වැවකට ගිය ගමන් සටහන | ඇස පාදන රැස


මහියංගණේ මහ සොරබොර වැවාණෝ බිසෝකොටුවක් නැති වැවකට ගිය ගමන් සටහන

 ඡායාරූපය:

මහියංගණේ මහ සොරබොර වැවාණෝ බිසෝකොටුවක් නැති වැවකට ගිය ගමන් සටහන

මහියංගණේට යන්න බලාගෙන ගුරුළුපොත මහ කැලේ අයිනට වෙලා හිටපු අපිට උඩුදුම්බර ඩිපෝව ළඟට යන ලංගම බසයක් හම්බුණා...ඩිපෝවෙ නම “උඩුදුම්බර” වුණාට ”ඩිපෝව” තියෙන්නේ හසලක. 
මහියංගණේට යනකම් තියෙන අතරමඟ අහුමුළු නොදන්න බොහෝ දෙනා “හසලක’ ගැන නම් හොඳට දන්නවා.. ඒ “හසලක ගාමිණී” නිසා… හසලක ගාමිණි කියන්නේ යුධ හමුදා සෙබළෙක්…. අලිමංකඩ සටනෙදි තමන්ගේ ජීවිතය පවා නොතකා සතුරු හමුදා රථයක් වෙත කඩා පැනල කඳවුර රැකගන්නට කටයුතු කළ ඔහු නිසා ඒ අවස්ථාවෙදි කඳවුරත්, කඳවුර තුළ සිටි හමුදා සාමජිකයිනුත් එහි තිබුණු දේපළත් රැකගන්නට බළධාරීන්ට පුළුවන් වෙනවා… ඒත් ඒ සිදුවීම නිසා හසලක, මහඅස්වැද්දම ගමේ ජීවත්වුණු වයි. බී. ජුලියට්‌ මාතාවට තමන්ගේ පුත්‍රයා අහිමි වෙනවා… රටේ ආරක්ෂව භාරව හිටපු පාලකයන්ගේ රෙදි, ජනතාව ඉදිරියේ ගැළවෙන එක නතර වෙනවා… ආණ්ඩුවට බනිමින් හිටි ජනතාවට තාවකාලිකව හරි කතා කර කර රසවිඳින්න වීරයෙක් බිහිවෙනවා… ඒ නිසා ඒ වීරයා වෙනුවෙන් පාලකයෝ හසලක ගැන උනන්දුවෙන් හොයල බලනවා.. ඒ ඉදිරිපත්වීම වෙනුවෙන් හමුදාවෙන් මේ වෙනකම් තමන්ගේ සෙබළෙකුට පිරිනමන ඉහළම ගෞරව සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයේ මුල්ම අයිතිකරුවා  බවට “ගාමිණී කුලරත්න”ව පත්කරනව...අපි සෙබළ ගුණරත්න බලන්න මහ අස්වැද්දුමට නොගියට, ගාමිණී කුළරත්න අපි එනකම් හසලක හන්දියේ බලාගෙන හිටියා…. ඒ පිළිරුවක් විදිහට… 
හසලක ඩිපෝව ගාව ඉදන් බස් නැවතුමට පයින් ඇවිදගෙන යන අපිට මිතුරෙක් හමුවෙනවා… ඔහු තමයි ලක්මාල්… 
“හසලකට අැවිත් වැව බලල නොගියොත් වැඩක් නැහැ… එන්න යන්න මාත් එක්ක..”
ආගිය කතන්දර ගණනාවක අවසානයේ ඔහු ඇරයුමක් කරනවා… අපි ඒක පිළිගන්නවා… ඉත සිතින්ම…
හසලක වැව කියන්නේ බොහොම සුන්දර වැවක්.. හසලක හන්දියේම තියෙන මේ වැව සංචාරයක් යන අතරමඟ විවේකයක් ගන්න හොඳ තැනක්.  හුන්නස්ගිරි කඳු වැටියෙන් නැගෙනහිරට ගලන කුඩා අතු ගංගාවන් රැසක් එකතු වෙලා හැදෙන මේ වැවේ තවත් අපූරු විශේෂත්වයක් තියෙනවා… හසලක වැව මැද්දෙන් ඓතිහාසික ඇළක් ගලනවා… ඒ තමයි මිනිපේ යෝධ ඇල. ක්‍රි.ව. 568-601 වෙනකම් රජ කරපු  පළමුවෙනි අග්බෝ රජතුමාගේ කාලෙ මහියංගනයට දකුණෙන් තිබුනු ස්වභාවික නැම්මක් උපයෝගි කරගෙන මණිමේඛලා බැම්ම බැඳල මහවැලි ඉවුර දිගේ අඹන් ගඟට වතුර ගෙනියන්න හදන මිනිපේ යෝධ ඇළ හැතැප්ම 17ක් දිගයි. දන්න විදියට මේක තමයි මහවැලිය උතුරට හරවපු පළමු අවස්ථාව.  පුදුමය කියන්නේ හසලක වැව හරහා ගැලුවට මිණිපේ ඇළෙන් එන වතුර ප්‍රමාණයම අඩුවක්-වැඩියක් නැතිව වැවෙන් පහළ මිනිපේ ඇලට ඒ විදියටම ලැබෙන එකයි. 
චාරිකාවකදී ඇහෙන දකින හැම දේම සුන්දර වෙන්නේ නෑ…  අහන්න දකින්න කැමැති දේ වගේම අකමැති දේවල් වුණත් හමුවෙන්න බැරි කමක් නෑ… 
හසලක වැවට පහළින් වැව් බැම්ම අසලම යෝධ කුළුණු හයක් තියෙනවා… මේක දහ අට වංගු ඉහත්තාවේ ඉඳල බැලුවත් පැහැදිලිව පෙනෙනවා…ලක්මාල් ගෙන් මේ ගැන අහන්නේ නැතිව ඉන්නේ කොහෙමද? 
“ඕක වී මෝලක්… ආණ්ඩුවට අයිති….”
“නියමයිනේ…. මේ දවස්වල වී කොටන්නේ නැද්ද?”
“නෑ… ඕක හැදුව දවසෙ ඉඳළම වී කොටල නෑ…”
“එහෙනම්… කොහොමද ඒක වී මෝලක් වෙන්නේ” 
“නිදහසෙන් පස්සේ කාලේ විශේෂයෙන් සමාජවාදී රටවලින් අපේ රටට කාර්මික ආධාර ලැබුණා…. ටයර් කම්හල, කන්තලේ සීනි. ඇඹිලිපිටිය කඩදාසි, හිඟුරාන සිනි, සිමෙන්ති කර්මාන්ත ශාලා ඉදිවුණේ එහෙම ආධාර වලින්… තමන්ගේ ප්‍රදේශයට ගැලපෙනවද නැද්ද කියල හිතන්නේ නැතිව සමාජවාදී රටක් එක්ක කතා කරලා මොනව හරි කර්මාන්තයක් ආසනේට ගන්න එක ඒ කාලේ ඇමතිවරුන්ගේ සිහිනයක් වුණා…
ඒ විදියට තමයි හසලකට වී මෝළක් ලැබුණේ… ආසියාවේ ලොකුම වී මෝල විදියට තමයි හදන්න කළින් කියල තියෙන්නේ… ඒත් ගෙනල්ල හයිකරලා මෝල වැඩකරන්න ගත්තහම හසලක වැව් බැම්ම දෙදරන්න අරගෙන… දිගින් දිගටම වැඩ කළොත් වැව් බැම්මට හානි වෙන නිසා, වැඩ නවත්තලා… එදින් එදා මේ මෝල වැඩ කරලා නෑ… ඒත් තාමත් මුර කාරයෝ තුන්දෙනෙක් ඉන්නවා…කුඹුරු කැපෙන කාලෙට ගබඩා වල වී දානවා…  නොමිලේ දෙන්න පොහොර ගේන කොට පොහොර ගබඩා කරනවා….”
දේශපාලනයේ අමිහිරි කතන්දර “සංචාරයකට” වැදගත්කමක් නැති වුණත් සැලසුමක් නැති සංවර්ධනයක වගකිම් විරහිත දේශපාලන මැදිහත් වීම් එදත් අදත් එක වගේ නිසා සටහන් කරලම ඉස්සරහට යන්න හිතුණා…
හසලකින් සමුගත්ත අපි ඊළඟට නැවතුනේ මහියංගණේ… ඒ වේරගංතොට පහු කරල මහවැලි ගඟෙන් එගොඩ වෙලා… මහියංගණේ කියද්දි මුලින්ම මතක් වෙන්නේ වැද්දෝ වුණාට, ඇවිල්ලා බහිද්දි වටපිටාවෙන් ඒ බවක් පෙනුණෙ නෑ…ඒ වෙනුවට දවස තිස්සෙම ඇවිදලා හෙම්බත් වුණු අපිව මහියංගණේ වැසියන්ට “වැද්දෝ” වගේ පෙනෙයිද කියන බයක් අපිට දැනුණා. බඩගින්න වැඩි නිසා හුරුපුරුදු හෝටලේකට ගිහින් බත් ටිකක් කාලම වැව් බැම්මට යන්න හිතාගෙන තුන් සක රියකට ගොඩ වුණා…. 
සොරබොර අජිත් අයියා අපි එනකම් වැව් බැම්ම  පාමුල බෙලිමල් විකුණන කඩයක් ගාව බලාගෙන හිටියා…. 
“මේක තමයි නියම වෙලාව… දෙහි ගොල්ල පැත්තට අලි බැහැල ඇති….”
සොරබොර වැව කියන්නේ වර්ග කිලෝමීටර් හතර හමාරක් පුරා ජල තලයක් තියෙන විශාල වැවක්…. හැබැයි මේ වැව හදල තියෙන්නේ ‘බුලතා’ කියල සාමාන්‍ය මනුස්සයෙක්… මාදුරුඔය කැලේ මැද්දෙන් ගලන දියබානා ඔය හරස් කරල බුලතා මේ වැව හදන්නේ තනියම… ඒ දුටුගැමුණු  යුගයේ ආරම්භක අවදියෙදි… එළාර සමඟ යුධ වදින්නට යන ගමනේ පළමු ජයග්‍රහණය විදියට මහියංගනය භාර එළාර රජුගේ සෙන්පතියා වූ ඡත්ත සෙනෙවියා පරාජය කරලා,  මහියංගන බලකොටුව බිඳලා එහි තිබූ ඡත්ත සෙනෙවියාගේ මාලිගයෙහි රජතුමා නැවැති ඉන්න කොට රජතුමාගේ බුලත් රාජකාරිය කළේ ‘කිරිපට්ටිය’ ගමේ මිනිහෙක්… රාජකාරිය නිසා “බුලතා’ කියල නම වැටුණට ඇත්ත නම වෙනකක් වෙන්න ඇති. 
රජතුමා සේනා සංවිධානය කරන අතරතුර ගරාවැටුණු මහියංගණේ චෛත්‍ය අලුත්වැඩියා කරද්දි බුලතා වැව හදල ඉවර කරලා...මේ විශාල වැව දැකපු රජතුමා බුලතා කෙරෙහි පැහැදිලා "තෙල පෙනෙන ගං(ම්) තොට, වැව දියන් මට” යැයි පවසා බුලතාට ගම්වර පිරිනැමූ බව තමයි ඉතිහාසයේ කියැවෙන්නේ…
අද වෙනකොට සොරබොර වැවේ ජලයෙන් කුඹුරු අක්කර දෙදහක් විතර වගා කෙරෙනවා... වැව බලන්න එන සංචාරකයන් නිසා නවාතැන් පහසුකම්, රථවාහන ගාල්, වැසිකිළි පහසුකම්,ආහාරපාන සහ විසිතුරු භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාර පැලැන්තියකුත් බිහිවෙලා තියෙනවා….අපිට මග පෙන්වන අජිත් අයියත් වැව බලන්න එන සංචාරකයින්ව වැව වටේ බෝට්ටුවෙන් ගෙනිහින් විසිතුරු පෙන්වන කෙනෙක්….රැයක් නැවතිලා,  වැව් මාළු ටිකක් එක්ක බත් ටිකක් කන්න ඕන කෙනෙක් ඉන්නව නම් අජිත් අයියගෙ නවාතැනට ගොඩවෙන්නත් පුළුවන්…
අපි ගලෙන් කරපු පඩිපෙළ නැඟලා, වැව් බැම්මට ගොඩවුණා… එක යායට නිල් පාටට වැව් තලය පෙනෙන්නේ මහ සාගරය වගේ…. බැම්ම අයිනේ කුඹුක් ගස් පෙළ වැහෙන තරමට වතුර පිරුණු වැව ඇසට රසඳුනක්…. මහියංගණය වන්දනාවේ ආපු බැතිමතුන් පිරිසක් කඹුක් ගස් සෙවණට වෙලා තමන්ගේ දවල් කෑම වේල ගන්නවා…. 
“මේ තියෙන්නේ පිහිටි ගලේ කැපුමක් දාලා නිර්මාණය කරපු පිටවාන… මේ ජලයත් සොරොව් දොරෙන් පිටවෙන ඇළටම තමයි යන්නේ… මේ වැව බිසෝකොටුවක් නැති වැවක්…. බිසෝ කොටුවක් නැතිව මෙච්චර ජලස්කන්ධයක් දරාගෙන ඉන්න එකම වැවත් මේක….” අජිත් අයියා  වැව ගැන කිව්වේ එහෙම… 
“ගිය අවුරුද්දේ වැව් බැම්ම උස් කරල  හැදුවා… දැන් අඩි 26ක් උසට  වතුර පිරෙනවා… තාම වැඩ ඉවර නෑ…”
“අපි වැව් බැම්ම දිගේ ඇවිදගෙන යන කොට මහියංගණේ මහින්ද අයිය පුංචි ගල් රෝදයක් එහෙ මෙහෙ කර කර බැම්මට පුරවන පස් තලනවා…”
රටකජු ටිකක්, තල බෝල ටිකක්, කපපු අඹ ටිකක් විකුණගන්න එන වෙළෙන්දොත්, පෙම් සුව විඳින්න වැව් බැම්මට එන පෙම්වතුන්ට අනාවැකි කියන්න බලාගෛන ඉන්න ශාස්ත්‍රකාරියොත් පහුකරගෙන අපි වැව් බැම්ම දිගේ ඇවිදගෙන ගියා…  ඒ යන ගමන් අජිත් අයියා ජනකවියකුත් ගැයුවා….
    
    
    
    ඔන්න බලාපන් බුලතා කරපු     බලේ
    යතුරුදාපු ගල්දොර යට වතුර     හැලේ 
    එනයන්නෝ ඉඩ නෑරම බැලුම්     ගලේ 
    සොරබොර වැව නුදුටු ඇස්‌ මොටද පින්     කළේ
ඊළඟ මොහොත් වහළයක් ගහපු ෆයිබර් ඔරුවට නැඟපු අපි “ආරක්ෂිත කබා” එහෙම පළැඳගෙන සූදානම් වුණේ බෝට්ටු සවාරියකට….
දහඅට වංගුව පැත්තෙන් හුන්නස්ගිරි කන්දට වහං වුණු ඉර නොපෙණුනත්, සවස් හිරු එළිය  ඈත වැව් තලයට වැටිලා තිබ්බා… හබල අතට ගත්ත අජිත් අයියා වැව දිය දෙබෑ කරමින්  අපිව වැව වටේ ගෙනියන ගමනට ජවය ගත්තා…. 
“මේකෙ කිඹුල්ලු නැද්ද?”  අපි එහෙම ඇහුවේ බයකට නම් නෙවෙයි….. ඒත් අජිත් අයියා හරියටම අපිව කියෙව්වා...
“බය වෙන්න එපා… මේ වවේ කිඹුල්ලු නෑ…” 
මාදුරුඔය පැත්තෙනුත්, වස්ගමුව පැත්තෙනුත් එන අලි වැව ඉහත්තාවෙන් දෙපැත්තට මාරුවෙන්නේ ඉඳ හිටලා සොරබොර කිට්ටුව කුඹුරු වලටත් ගොඩවෙලා තමයි… ඒ නිසා කුඹුරු පැහෙන කාලෙට  පැලක් අටෝගෙන නොරැක්කොත් මහන්සිය වතුරේ යන බව තමයි අජිත් අයියලා කියන්නේ…. 
“අද නම් අලි බැහැල නෑ වගේ….” 
අපේ බලාපොරොත්තු කඩ වුණා වුණත්, අලි බැහැල නෑ කියන එක ගමේ ගොවීන්ට නම් සුබ ආරංචියක්….
“එහෙනම් ඉතින් ආපහු යමු….”
“අදම යන්න තරම් හදිසියක් නැත්නම්, අද රෑ ගහක් උඩ ගහපු පැළක නැවතිලා ඉඳලා හෙට උදේටම ආපහු යමු…”
අජිත් අයියා කිව්වා…
කාටද ඉතින් බෑ කියන්න පුළුවන්…
“අපි කවුරුත් බෑ කිව්වේ නෑ…” 

outofboxsrilan[email protected]

 

[ඥානේන්ද්‍ර ප්‍රදිප් පතිරණ] ඡායා [ශාලික මධුශංක] [ළහිරු අබේගුණවර්ධන]

මාතෘකා