විශේෂ මහාධිකරණ භීතිකාව

 ඡායාරූපය:

විශේෂ මහාධිකරණ භීතිකාව

මාර්තු හය වැනිදා අධිකරණ (සංවර්ධන) පනත් කෙටුම්පත පාලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. මේ පනතට අනුව අධිකරණ සේවා කොමිසම මඟින් පත් කරනු ලබන මහාධිකරණ විනිසුරන් තිදෙනකු යටතේ විශේෂ මහාධිකරණ තුනක් ක්‍රියාත්මක කෙරේ.

මහාධිකරණ තුනක් පිහිටුවීමේ පනත් කෙටුම්පතට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇතැයි පාර්ශ්ව දෙකක් ප්‍රකාශ කළේ ය. එක් පාර්ශ්වයක් වන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයයි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අනෙක් පාර්ශ්වයයි.

අධිකරණ සංවර්ධන පනතට ඇතුළත් ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ඔහුගේ චෝදනාවයි.ඒ අනුව ඒ පනත ජනමත විචාරණයකින් ද පාලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් ද සම්මත විය යුතු බව ඔහු පවසයි.

මේ අනුව දිනේෂ් ගුණවර්ධන මහතාට මේ පනත් කෙටුම්පත පෙනෙන්නේ කූඹියකුට මිනිසකුගේ මුත්‍රා දහර ගංගාවක් ව පෙනෙන්නාක් මෙනි.

ඔහු ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු ව සිටි අවධියෙහි විපක්ෂයේ මන්ත්‍රීවරයකු ව සිටි කරු ජයසූරිය මහතා තොරතුරු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මොහොතෙහි එය ඔහුට පෙනුණේ ජාතික ආරක්ෂාවට එල්ල වු බරපතළ තර්ජනයක් ලෙස ය.

ඔහු පනතට එරෙහි ව පාර්ලිමේන්තුවේ සිංහ නාද පැවැත්වීය. එහෙත් වත්මන් රජය ඒ පනත සම්මත කර ක්‍රියාත්මක කළේය. එය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කරන ව්‍යුහයක් බවට පත්ව ඇත.

එනිසා ඔහුගේ විරෝධයෙහි අවංක බව පරීක්ෂාවට ලක් කළ යුතුය.

විශේෂ මහාධිකරණ පිහිටුවීමේ අරමුණ වී ඇත්තේ නඩු ප්‍රමාදය වැලැක්වීම බව රජය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ අධිකරණයට ඇති ප්‍රධාන චෝදනාවක් වන්නේ ද නඩු ප්‍රමාදයයි.ඇතැම් නඩු වසර දහය ඉක්මවමින් විභාග කෙරේ. මෙහි ප්‍රතිඵලය අධිකරණයට නොයා ගොඩින් බේරා ගැනීමේ පිළිවෙතකට ජනයා නැඹුරු වීම ය. ඇතැම් විට එය මිනී මැරුමකින් කෙළවර වෙයි. එය තවත් නඩුවක් ආරම්භ වීමකි.

අධිකරණ පද්ධතියෙහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ද ඇත්තේ එතරම් යහපත් චිත්‍රයක් නොවේ. බරපතළ අපරාධකරුවන් යෙහෙන් වැජඹෙන අතරතුර උසාවියේ භූමියේදී ඈනුමක් යෑම ඇඳුම අපිළිවෙල වීම යනාදී ක්ෂුද්‍ර හේතුවලට දැඩි දඬුවම් පමුණුවන අවස්ථා තිබේ. එමෙන්ම නීතිඥ වෘත්තිකයන් නඩු වවාගෙන කන්නන් හැටියට ජනතාවට පෙනී යෑම අයහපත් තත්වයකි. අශෝභන ලක්ෂණයකි.

අධිකරණ පද්ධතිය දුබල වීම අපරාධකරුවන්ගේ පැත්තෙන් යහපත් ය. ඊට හේතුව ඕනෑම අපරාධයක් කිරීමෙන් ගැලවී සිටිය හැක යන හැඟීම ඇති වීම ය. මේ අනුව බලන විට මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු යටතේ විශේෂ

මහාධිකරණ තුනක් පිහිටුවීමේ යෝජනාව සාධාරණ සමාජයක් පතන යහපත් මිනිසුන්ගේ අස්වැසිල්ලට හේතුවකි.

පනත් කෙටුම්පත තවම සම්මත වී නැත.එහි අඩුපාඩු ඇත්නම් සාකච්ඡා කර පනත සම්මත කිරීම මහජන නියෝජිතයන්ගේ වගකීමය.

අපරාධ චෝදනා කිසිවක් නැති දිනේෂ් ගුණවර්ධන මහතා කලබල වීමෙන් පෙනීයන්නේ රජය හඳුන්වාදෙන හැම වැඩ සටහනකට ම විරුද්ධ වීම හෝ චෝදනා ඇති තම පිලේ මහජන නියෝජිතයන් වෙනුවෙන් පෙනී සිටීම විය යුතුය. දූෂණ වංචා හා අපරාධවලට එරෙහි කිසිදු මහජන නියෝජිතයකු හට මෙයට එරෙහි වීමේ හැකියාව නැත.

නීතිඥ සංගමයේ වත්මන් තනතුරුලාභීන්ගේ ක්‍රියාකාරිත්වය ද විවාදාපන්න ය. බිම් සවිය වැඩ සටහන යටතේ ඉඩම් නිරවුල් කිරීමේ වැඩසටහන හඳුවා දුන් අවස්ථාවේ ඇතැම් නීතිඥවරු ඊට එරෙහි වූහ. දිගැසෙන ඉඩම් නඩු නීතිඥයන්ගේ ධන උල්පතකි. නීතිඥ සංගමයේ ඇතැම් හැසිරීම් අනුව බැලූ බැල්මට එහි දේශපාලන පක්ෂපාතිත්වයක් පෙනේ.

පරාජිතයගේ දේශපාලන උවමනාවන්ට වඩා මහජන අභිලාසයන් වැදගත් බව නීතිඥ සංගමයට මතක් කරමු.

නඩු ඇසීමේ ක්‍රියාදාමය ඉක්මන් වීම නීතිඥවරුන්ගේ සාක්කුවට නරක අයුරින් බලපාන කරුණක් හැටියට නොගත යුතුය. නීතියේ පාලනයට හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නීතිඥයන් විශාල පිරිසක් සිටින බව හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දියත් වු කුමන්ත්‍රණයෙහිදී පැහැදිලි විය. රට තුළ නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් රටවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීතිඥවරුන්ට කළ හැකි මැදිහත්වීම සුළුවෙන් තක්සේරු කළ නොහැකිය.එවැනි නීතිඥ ප්‍රජාවක් ද සිටී.

 

මාතෘකා