ගර්භනී සමයේ ව්‍යාකූලතා | ඇස පාදන රැස


ගර්භනී සමයේ ව්‍යාකූලතා

 ඡායාරූපය:

ගර්භනී සමයේ ව්‍යාකූලතා

දරු ගැබක් කියන්නේ අලුත් බලාපොරොත්තු පොදියක්. දරුවෙක් පිළිසිඳගත් බව දැන ගත් මොහොතේ පටන් මෙලොව එළිය දකින තුරු දෙමාපියන්ගේ හිත්වල තියෙන්නෙ සුළු පටු බරක් නොවෙයි. අම්මා කෙනෙක් වීමට සිහින දකින ඕනම කාන්තාවකට අත් දකින්න වෙන බොහොම බියකරු අත්දැකීමක් තමයි ගර්භනී කාලයේ සිදු වෙන රුධිර වහනය වීම. ඉතින් අපි මේ ලිපියෙන් කියන්න යන්නේ ඒ ගැන.

සාමාන්‍යයෙන් ගර්භනී අවදියේ රුධිර වහනයක් ගැන කතා කරද්දී එය සිදු වෙන කාල වකවානුව, රුධිර වහනය වන ප්‍රමාණය හා මවට දැනෙන වෙනත් අපහසුතා ගැනත් සලකා බැලීමට සිදුවෙනවා. රුධිර වහනය (බ්ලීඩින්) සහ රුධිර බිඳිති පිටවීම (ස්පොටින්) කියන්නේ දෙකක් බව බොහෝ දෙනා නොදන්නා කාරණාවක්.

ස්පොටින් යනුවෙන් අදහස් කරන්නේ සාමාන්‍ය ඔසප්වීමකදී සිදුවන රුධිර වහනයකට වඩා අඩුවෙන්, එනම් රුධිරය ස්වල්ප ප්‍රමාණයක් යට ඇඳුමක දැක ගැනීමක්. බොහෝ දුරට මෙය හානිදායක තත්වයක් විය නොහැකිය. පිළිසිඳගත් කළලය ගර්භාෂයේ තැන්පත් වීමේදී මෙසේ ස්පොටින් සිදු විය හැකියි. සාමාන්‍යයෙන් මෙය සිදුවිය හැක්කේ සාමාන්‍ය ඔසප් දිනයට පෙර බව දැනුවත් වී සිටිය යුතුයි. මීට අමතරව ගැබ් ගෙලෙහි තිබිය හැකි පොලිප් (polyp) නම් හානිකර නොවන කුඩා ගැටිතිවලට හානි වීමෙන් රුධිරය පිට විය හැකියි. එමෙන්ම ලිංගික එක්වීමක්, යෝනි මාර්ගය හරහා කරන පරික්ෂා කිරීමක් සහ මුත්‍රා හෝ ප්‍රජනක පද්ධතියේ ආසාදනයක් නිසාත් මෙසේ රුධිරය ස්වල්පයක් පිට විය හැකියි.

ගර්භනී සමයේ රුධිරය වහනය වීමක් යනු යට ඇඳුමක් හෝ සනීපාරක්ෂක තුවායක සැලකිය යුතු මට්ටමේ රුධිර වහනයක් වීමයි. මෙය කළලය ආශ්‍රිත ගැටලුවක් හෝ කළලය මවට සම්බන්ධ වන වැදෑමහ ආශ්‍රිත ගැටලුවක් නිසා විය හැකියි. කළලය නිසාවෙන් ඇති විය හැකි රුධිර වහනය ගැන මුලින්ම සොයා බලමු.

රුධිර වහනය වීමකට ලක්වූ මවකට ඇති ප්‍රධානම බිය දරුගැබ ගබ්සා වේද යන්නයි.

සාමාන්‍යයෙන් ගර්භනී මවුවරු සියයට විස්සක් හෝ තිහක් (20-30)%ක් අතර ප්‍රමාණයකට මුල් ගර්භනී අවධියේ රුධිර වහනය වුවත් ඒ හැම දරුගැබක්ම ගබ්සා වීමක් සිදු නොවේ. නමුත් ඇතැම්විට කණගාටුවෙන් වුවද කිව යුත්තේ මෙය ගබ්සාවක ඇරඹුම විය හැකි බවයි. යටි බඩෙහි වේදනාව සමඟ රුධිර වහනයත්, කැදලි ආකාරයට පටක කොටස් පිටවීමත් සිදු විය හැකියි. බොහෝ විට පළමු මාස තුන ඇතුළත සිදුවන මෙවන් ස්වාභාවික ගබ්සාවීමකදී සිදුවෙන්නේ වැඩීමට නුසුදුසු, ගැටලු ඇති කළලයක් ස්වභාවධර්මය විසින් ප්‍රතික්ෂේප කිරීමක්. එය මවගේ හෝ වෙන කිසිවකුගේ වරදක් නිසා සිදු වන්නක් නොවේ. වරක් ගබ්සා වූ විට නැවත නැවතත් ගබ්සා වන්නේ ඉතා කලාතුරකින් නිසා මීළඟ දරු උපත ගැන බිය විය යුතු නැහැ.

මුල් අවදියේ රුධිර වහනයට තවත් හේතුවක් විය හැක්කේ සාමාන්‍ය පරිදි ගර්භාෂයේ නොව ගර්භාෂයෙන් පිටත කළලය තැන්පත් වීමයි. මෙය එක්ටොපික් ප්‍රෙග්නන්සි (ectopic pregnancy) ලෙස හඳුන්වනු ලබනවා. බොහෝ දුරට මෙම කළලයට වැඩීමට අවශ්‍ය ඉඩකඩ හා පෝෂණය එම ස්ථානවල නැති අතර මෙවන් ගර්භයක් මවට හානිකර බැවින් වහා ප්‍රතිකාර කළ යුතු වෙනවා. ඔබට මින් පෙර මෙවන් ගර්භයක් තිබීම හෝ සැත්කම් ඉතිහාසක් තිබීම අනුව මෙම අවදානම වැඩි විය හැකියි.

ඇතැම් අවස්තාවක දී එච් මෝල් (H.Mole) හෙවත් වැඩුණු කලලයක් නොවන ගර්භයක් නිසාත් රුධිර වහනය විය හැකියි. එමෙන්ම වැදෑමහ හා සම්බන්ධ ගැටලු කිහිපයක් නිසාත් රුධිර වහනය විය හැකියි.

1. Placenta previa (ප්ලසන්ටා ප්‍රිවියා)

වැදෑමහ පහත මට්ටමක පිහිටීම

සාමාන්‍යයෙන් දරු ප්‍රසූතිය ආසන්න කාලය වෙද්දී වැදෑමහ ගර්භාෂයේ පිහිටන්නේ ඉහළ පිහිටුමකයි. ඇතැම් විට එසේ නොවීම නිසා වැදෑමහෙන් රුධිර වහනය විය හැකියි. වේදනාවක් නොමැතිව රුධිර වහනය විය හැකි අතර මීට පෙර නිවුන් හෝ බහු දරු ගැබක් දැරූ ගර්භාෂයක් වීම මගින් මෙහි අවදානම ඉහළ දමනවා.

2. placental abruption (ප්ලසන්ටල් ඇබ්රප්ෂන්)

සාමාන්‍යයෙන් වැදෑමහ ගර්භාෂයේ බිත්තියෙන් වෙන් වන්නේ දරුවා බිහි වූ පසුවයි. එසේ නොමැතිව ප්‍රසූතියට පෙර හෝ අතරතුර වැදෑමහ වෙන්වීමෙන් රුධිර වහනය වීම මෙලෙස හඳුන්වනවා. එමෙන්ම දරුවන් රැසක් බිහි කිරීම, මින් පෙර මෙවන් තත්වයක් තිබීම, අධි රුධිර පීඩනය, වියපත් බව, උදරයට තදබල පහරක් එල්ල වීම ආදිය අවදානම් සාධක වෙනවා.

මීට අමතරව ඇතැම් විට ප්‍රීටර්ම් ලේබර් (preterm labor) එනම් නොමේරූ දරු ප්‍රසූතියක මුල් ලක්ෂණය ලෙසත් රුධිර වහනය විය හැකියි. එවන් රුධිර වහනයකදී කළ යුත්තේ නොපමාව වෛද්‍යවරයෙකු වෙත යොමු වීම හා වෛද්‍ය උපදෙස් නිවැරදි ව පිළිපැදීමයි. එවිට නිසි පරිදි විවේක ගැනීම කළ යුතුයි. අවාසනාවකට යම් හෙයකින් දරු ගැබ බේරා ගත නොහැකි වුව හොත් දෙමාපියන් දුකට කණස්සල්ලට පත් වීම වැලැක්විය නොහැකියි. ඔවුන්ට චෝදනා කිරීමෙන් වැලකී ඔවුන් මානසිකව සුවපත් කිරීමට කටයුතු කිරීම සිදුකළ යුතුයි.

විශේෂ ප්‍රණාමය - ෆේස්බුක් සමාජ ජාලයේ 'SL Community Health Forum - ශ්‍රී ලංකා සෞඛ්‍ය උපදේශන සමූහය'

වෛද්‍ය [සඳුනි සුදර්ශනී පෙරේරා ]

මාතෘකා