නිවාඩු කාලේ ගමන්බිමන්

 ඡායාරූපය:

නිවාඩු කාලේ ගමන්බිමන්

පාසල් නිවාඩු කාලය යනු දරුවන්ට ඉතා විනෝදජනක කාලයකි. විශේෂයෙන් පවුලේ සාමාජිකයන් සියලු දෙනාට එකට එක්වී ගමන්බිමන් යන්නට නිවාඩු කාලයේදී අවකාශ සැලසේ. එසේ පවුලේ සියලුදෙනා එක්වී යන ගමනක වුවද නිසි සංවිධානාත්මක බවක් තිබිය යුතුමය. එසේ නැති වුවහොත් යන ගමනින් අපේක්ෂිත ප්‍රයෝජනයක් ලබාගත නොහැකිය. එම නිසා මේ නිවාඩු කාලයෙන් උපරිම ප්‍රයෝජන ලැබීමට සංවිධානාත්මකව ගමනක් සංවිධානය කරන අයුරු දැනගැනීම වැදගත් වනු ඇත.

මිනිසා සමාජ සත්ත්වයෙක් බැවින් හුදකලාව ජීවත් විය නොහැකි බව ග්‍රීක පඬිවරයෙක් වූ ඇරිස්ටෝටල් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව එකිනෙකා ඇසුරු කිරීමෙන් තොරව ජීවත්විය නොහැකි බව සත්‍යයකි. මෙය සියලු මිනිස් සබඳතාවල පදනමය. එසේ සබඳතා පැවැත්වීම සඳහා අපට නිවසින් බැහැරව යෑමට සිදුවේ‍. රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා, දෛනික අවශ්‍යතා සපයා ගැනීම සඳහා, සමාජයීය සෞඛ්‍ය හා ආගමික ආදී කටයුතු සඳහා, හදිසි අවස්ථා සඳහා සහ විශේෂ ගමන්(වන්දනා, විනෝද, අධ්‍යාපන, චාරිකා, නෑ හිතවතුන් බැහැදැකීම සඳහා) ලෙස එසේ අප විසින් යන එන ගමන් බිමන් නම් කළ හැකිය.

හැකි සෑම විටම මෙම ගමන් බිමන් පෙර සූදානමකින් යුතුව යෑමට සැලකිලිමත් විය යුතුය. ගෙදර සියලු දෙනාම එකට එකතු වී රාත්‍රී කෑම ගැනීමට එක් වූ අවස්ථාවේදී පසුදින වැඩ කටයුතු හා ගමන් බිමන් පිළිබඳ සාකච්ඡා කිරීම සිරිතක් වශයෙන් කිරීම යහපත් පුරුද්දකි. දෛනික අවශ්‍යතා සඳහා වුවද අවබෝධයකින් යුතුව ඒ ඒ තැනදී කළ යුතු කාර්යයන් පිළිබඳ පවුලේ අය සාකච්ජා කොට තම තමා යන එන ගමනින් ඉටු කළ හැකි අවශ්‍යතා ඒ ඒ අයට භාර දිය යුතුය. ඒ පිළිබඳ දල සටහනක් තබාගත හැකි නම් එය පහසුවකි. පිටත්වන එකම ගමනින් අවශ්‍යතා රැසක් ඉටු කර ගැනීමෙන් ගමනින් උපරිම ප්‍රයෝජන ගත හැකිය.

නිවසින් බැහැරවීමේදී ගෙදර කටයුතුද සංවිධානය කරගෙන බැහැර වීම සුදුසුය. ඔබ ගෙදරින් බැහැර වී සිටින සුළු හෝ කාලය තුළ ගෙදර වෙනත් අය රැඳී සිටී නම්, ගෙදර ඒ ඒ අයගේ හැකියාව අනුව සිදුවන අයුරින් කටයුතු සංවිධානය කර පිටත්වීම ප්‍රයෝජනවත්ය. එසේ නොවීමෙන් දරුවන් හෝ සේවිකාව කළ යුතු දේ නොදැන කාලය නාස්ති කරමින් ඔබ එනතුරු බලා සිටීම නිසා කලට වේලාවට අවශ්‍ය දේ කරගත නොහැකි වනු ඇත. විශේෂයෙන් තමා ගෙදරින් බැහැර වූ පසු තමා ගැන සොයා බැලිය හැකි කෙනෙකුට ගමන පිළිබඳ අවබෝධයක් ලබාදී තිබීමද වැදගත්ය.

විශේෂ ගමන් බිමන්

කලින් සඳහන් කළ පරිදිම තමා යන දිනය, වේලාව හා ස්ථානය සහ ගමනේ පරමාර්ථය අනුව හැකිතාක් දුරට පවුලේ අයට ගැටලුවක් ඇති නොවන අයුරු තීරණය කිරීම, නෑ ගමනක් නම් ඒ අයට කල්තියා දැන්වීම වෙනත් ගමනක් නම් නවතින ස්ථාන තීරණය කර කල් ඇතිව ඉඩ පහසු වෙන්කර ගැනීම, කළ යුතුය. මේ සඳහා තෝරා ගන්නා භාණ්ඩවලින් උපරිම වැඩ කොටසක් කර ගැනීමට සැලකිලිමත් විය යුතුය. එමෙන්ම ගෙනයෑමට අවශ්‍ය දෑ කල් ඇතිව තීරණය කරගත යුතුය. ඒ දේවල් සූදානම් කිරීමේදී වැඩ කොටස්වලට බෙදා පවුලේ සාමාජිකයන්ට භාරදීම සුදුසුය. දිනකට වඩා නිවසින් බැහැරව සිටින ගමනක් නම් හා ආහාරපාන ගෙනයන්නේ නම් ඒ සඳහා සැහැල්ලු නොබිඳෙනසුලු භාණ්ඩ අවම ප්‍රමාණයක් සූදානම් කර ගත යුතුය. ගමන සඳහා විශේෂයෙන් සූදානම් කරගත් වාහනයක් භාවිත කරනවා නම් ගෙනයන බඩු බාහිරාදිය සුදුසු ලෙස සූදානම් කරගත යුතුය. පිටතදී ආහාර පිළියෙල කරගන්නේ නම් පහසු බොජුන් පත් තීරණය කර නරක් නොවන අමුද්‍රව්‍ය සුදුසු පරිදි සූදානම් කර ගත යුතුය.

එමෙන්ම යන ප්‍රදේශයේ දේශගුණයට අනුව ගැළපෙන ඇඳුම් අවම ප්‍රමාණයක් ගෙනයෑම උචිතය. බහුකාර්යය භාණ්ඩ යොදා ගැනීම, කල් තබාගත හැකි ආහාර ගෙනයෑමට සහ පානීය ජලය ගෙනයෑමට අමතක නොකළ යුතුය. විශේෂයෙන් පානීය ජලය ගෙනයෑමට සැලකිලිමත් වන්න. ඊට අමතරව යන ගමනේදී නිදා ගැනීමට‍ අවශ්‍ය දේවල් සූදානම් කරගත යුතුය.

ගමනක් පිටත් වීමට පෙර නිවසේ දොර ජනෙල්, ගේට්ටු ආදිය හොඳින් වසා ඇත්දැයි නැවත වරක් පරීක්ෂා කර බැලිය යුතුය. ඔබ ඇතුළු පවුලේ සාමාජිකයන් නිවසින් බැහැරව සිටින විට නිවසේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් තිබිය යුතුය. විශේෂයෙන් ඔබ නිවසින් බැහැරව සිටින කාලය තුළ නිවස තුළ හදිසි විදුලි කාන්දුවීම්, ගිනිගැනීම් ආදී වැළැක්වීමට පියවර ගැනීම වැදගත්ය. ඊට අමතරව සුරතල් සතුන් සිටී නම් ඔවුන්ගේ ආරක්ෂාව සහ කෑමබීම පිළිබඳවද සැලකිලිමත් වන්න. හැකිනම් විශ්වාසන්ත අයකුට ඒ කටයුතු භාර දී යෑම සුදුසුය.

[මදාරා මුදලිගේ ]

උපදෙස්- නිල්වලා අධ්‍යාපන විද්‍යා පීඨයේ හිටපු ගෘහ ආර්ථික විද්‍යා අංශ ප්‍රධානි, කථිකාචාර්ය රාණි එදිරිසිංහ මහත්මියගේ 'ප්‍රායෝගික ගෘහ කළමනාකරණය' කෘතිය ඇසුරිනි.

මාතෘකා