ඇස් යට අඳුරු වීමට ගෙදරදීම සත්කාර

 ඡායාරූපය:

ඇස් යට අඳුරු වීමට ගෙදරදීම සත්කාර

ඇස් යට සහ ඇස් වටා අඳුරු පැහැ වීම වැඩි දෙනකු මුහුණපාන ගැටලුවක්. නිතර නිදි වැරීම, අඳුරේ පොත් පත් සහ ජංගම දුරකථන භාවිතය, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය සහ වයස්ගත වීම ආදිය ඒ සඳහා හේතුවනවා. ඇස් යට අඳුරු පැහැ වීම මුහුණේ සුන්දරත්වය අඩුකරන්නක්. එම නිසා ඇස් යට අඳුරු පැහැය දුරු කරන මෙම සත්තාර භාවිත කළ හැකිය.

තක්කාලි සත්කාරය

තක්කාලි කියන්නේ මේ ගැටලුවට හොඳ විසඳුමක්. තක්කාලි දෙනෙත් යට ඇති අඳුරු පැහැය ඉවත් කර සම මෘදු කරනවා. මේ සඳහා තක්කාලි යුෂ තේ හැන්දක් සමඟ දෙහි යුෂ තේ හැන්දක් එක් කර දෙනෙත් යට ආලේප කරන්න. නමුත් මෙහිදී තක්කාලි යුෂ ඇස්වලට නොයෙන සේ ප්‍රවේසම් විය යුතුය. විනාඩි 10කට පමණ පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න. මෙය දවසකට දෙවතාවක් කිරීම සුදුසුය. මීට අමතරව තක්කාලි යුෂ සහ දෙහි යුෂ මිශ්‍රකර පානය කිරීමෙන්ද ප්‍රතිඵලය ඉක්මන් කර ගත හැකිය.

අර්තාපල් සත්කාරය

අමු අර්තාපල් ගෙඩියක් බ්ලෙන්ඩ් කර ඉස්ම ලබා ගන්න. කොටන් බටන් එකක් ආධාරයෙන් එම අර්තාපල් ඉස්ම ඇස් වටා තවරන්න. ඇහි පිය මතත් තවරන්න. විනාඩි 10කට පසු සිසිල් ජලයෙන් සොදා හරින්න.

ටී බෑග් සත්කාරය

ග්‍රීන් ටී හෝ සාමාන්‍ය ටී බෑග් දෙකක් ගෙන උණු වතුරේ පොගවන්න. ඉන්පසුව ටී බෑග් දෙක ගෙන ශීතකරණයේ දමන්න. හොඳින් සිසිල් වූ පසු ටී බෑග් පිටතට ගෙන වැසු දෙනෙත් මත තබාගෙන පැය භාගයක් පමණ සිටින්න. මෙය පුරුද්දක් ලෙස කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැකිය.

ආමන්ඩ් තෙල් සත්කාරය

ආමන්ඩ් තෙල්වලවිටමින් E අඩංගු වෙනවා. රාත්‍රියේ නින්දට යෑමට පෙර ආමන්ඩ් තෙල් ස්වල්පයක් අතට ගෙන සුළැඟිල්ලෙන් ඇස් යට තවරන්න. ඉන් පසුව ඉතා මෘදුව සම්බාහනය කරන්න. මුළු රාත්‍රිය පුරා ආමන්ඩ් තෙල් සම මත තිබෙන්නට හැර ඊළඟ දින උදෑසන සොදා හරින්න.

දොඩම් යුෂ සත්කාරය

දොඩම් යුෂ ස්වල්පයක් ගෙන ඔබේ දෙනෙත් වටා ආලේප කරන්න. විනාඩි 10කට පමණ පසු සෝදා හරින්න. දොඩම් මඟින් ඔබේ දෙනෙත් වටා ඇති අඳුරු පැහැය ඉවත් කරනවා පමණක් නොව ඔබේ සමට දිදුලන බවක්ද ලබා දෙනවා.

පිපිඤ්ඤා සත්කාරය

පිපිඤ්ඤා ගෙඩියකින් සිහින් පෙති දෙකක් කපා ගන්න. එය මඳ වේලාවක් ශීතකරණයේ තබන්න. සිසිල් වූ පසු ඒවා රැගෙන ඔබේ දෙනෙත් මත තබා ගන්න. මෙම සත්කාරයෙන් ඔබේ දෙනෙත් සිසිල් කර, අඳුරු පැහැගැන්වීම ඉවත් කරනු ලබනවා.

රෝස වතුර සත්කාරය

රෝස වතුරවලට සම ප්‍රාණවත් කර සුවපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. රාත්‍රියේදී කොට්න් බට්න් එකක ආධාරයෙන් රෝස වතුර ඇස් වටා තවරන්න. විනාඩි 15කට පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න. මෙම ප්‍රතිකර්මය මසක් පමණ නොකඩවා සිදුකිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය.

පොල් තෙල් සත්කාරය

පොල් තෙල් ස්වල්පයක් ඇඟිල්ලට ගෙන දෙනෙත් වටා තවරන්න. ඉන්පසු ඉතා මෘදුව දෙනෙත් වටා සම සම්බාහනය කරන්න. මෙයද පුරුද්දක් ලෙස නොකඩවා මාසයක් පමණ සිදුකිරීමෙන් ඇස් වටා ඇති අඳුරු පැහැය දුරුවේ.

[චලනි අයේෂා] Health සඟරාව ඇසුරිනි

මාතෘකා