ඔසප් බදු

 ඡායාරූපය:

ඔසප් බදු

ප්‍රසව හා නාරිවේද වාට්ටු දෙක අතර පිහිටි හිස් ඉඩේ වැල් බැඳ තිබුණෙන් රෝගීන් ඔවුන්ගේ රෙදි සෝදා වේලා ගන්නේ එතැනය. යන එන අතර ඇස ගැසෙන්නේ වේළීමට දමා තිබෙන පිලී ගඳ දැනෙන රෙදි කැබලි පිරි වැල්ය.

“දවස් තුනක වෙලේ ඉඳන් ලේ යනවා ඩොක්ටර්” ප්‍රසව හා නාරිවේද වාට්ටුවේදී අයෙක් පවසයි.

හැමදාකම මෙන් ඔවුන් පරීක්ෂා කිරීමට ගිය විට දකින්නට ලැබෙන්නේ වෛවර්ණ වූ පරණ රෙදි කැබලි එක උඩ එක නවා සකස් කරගත් යමක් යට ඇඳුමට තියා අඳින බව ය.

“මේවා පිරිසිදු නෑනේ අම්මා” යැයි කොතෙක් කීවද අසන කෙනෙක් නම් නැත.

මම කිසි දිනක ඔවුන් එසේ කරන්නේ ඇයි දැයි නෑසුවෙමි. මමද අගනුවරට ඉතා දුර පිහිටි ගම්මානයක හැදී වැඩුණු අතර, මගේ නෑදෑ අක්කලාද රෙදි කැබලි පාවිච්චි කළ බව මතකයට නැඟිණි. ගමේ පිහිටි කඩයට කාන්තා සනීපාරක්ෂක තුවා එන්නේ නැති බවද අවශ්‍යනම් ඒවා මිලදී ගැනීමට මහනුවරටම යා යුතු බවද මට මතක් වේ. එකල විදුලිය තිබුණේද නැත. රාත්‍රිය එළඹෙනකම් හිඳ පිටුපස පිළට ගොස් ඒවා සෝදා වනා ඒම හැර අන් කළ යුතු දෙයක් නොවීය. ඒ ගැන කතා කිරීම පවා අකැප දෙයකි. නගරයට පැමිණි පසු අප වෙනස් වූ නමුදු ගම වෙනස් වූයේ බොහෝ සෙමින්ය.

කිළිටි වූ පරණ සරොම් කැබලිවලින් අලුත උපන් බිළිඳාට නැපි මහගෙන එන වන්නියේ අම්මලාට කාන්තා සනීපාරක්ෂක තුවායක් මිලදී ගන්නවා යනු සිහිනයකි. රුපියල් සියයේ දවස් කුලියට වැඩ කරන ඔවුන්ට දරු ප්‍රසූතියේදී හෝ රෝහල් ගතවීමකදී සනීපාරක්ෂක තුවා ගෙන එන්නැයි කොතෙක් කීවද කිසිම දිනක ඒවා ගෙන ආවේ නැත. සමාජයේ සෑම තැනකම පිරිසිදුකම උපරිමයෙන් අනුගමනය නොකෙරේ.

මිලදී ගත හැකි එම සනීපාරක්ෂක තුවා හෝ පෑඩ් සඳහා මුදල් නැතිව විවිධ වූ රෙදි කැබලි පාවිච්චියට ගත් අතීතයක් ඇති මම ද, එහි ඇති ප්‍රායෝගික බව මෙන්ම සෞඛ්‍යයට හිතකර බව ගැනද සිතුවෙමි.

වන්නියේදී මේ දුක හොඳින්ම දුටු අප රෝහල මඟින් ලද විවිධ වූ පරිත්‍යාගයන් නිසා කාන්තා සනීපාරක්ෂක තුවා වාට්ටුවෙන්ම ලබාදුණි. එසේ නැත්නම් වාට්ටු තුළ සුළු සේවක සේවිකාවන් සකසන ගැට ගැසිය හැකි සනීපාරක්ෂක තුවා, විෂ බීජාණුහරණය කර ඔවුන් වෙත ලබා දුන්නෙමු.

අනාථ කඳවුරුවලදී අත් අඩංගුවේ සිටි අය හමුවූ විට ඒ දිනවලදී ඔවුන් කොතරම් දුකක් විඳිනවා දැයි වැටහුණේ ඔවුන්ට ඒ ගැන තිබූ දැනුම අල්ප වීම නිසාය. ඒ කාලයේදී අපිරිසිදු අයෙකු යැයි එම සංස්කෘතියේ තිබූ පිළිගැනීමකි. කෝවිලට පවා යා නොහැකියැයි ඇතැමුන් කියති.

“ඔයා කියයි. අපි කොහොමද රුපියල් 100ක් දීලා අරන් විසි කරන්නේ ?” මේ මට ඇසුණු දෑය. ඒ වියදම ඔවුනට මහත් වූ අපරාධයකි.

ඒවා අඳින්නේ කොහොමදැයි නොදැන සිටි දැරියන්ද ඒ අතර සිටි බව ඔබ විශ්වාස කරනවා ද? ඇතැමුන් එවන් දිනවලදී ඉන්නා කූඩාරම්වලින් හෝ නිවෙස්වලින් එළියට එන්නේම නැත.

කොළඹ පැමිණි පසුද ඒ සංසිද්ධිය වෙනස් වූයේ නැත. දරිද්‍රතාවයේ පතුලටම කිඳා බැස දරුවන් ප්‍රසූත කරන වාට්ටුවලට මගේ මිතුරියන් එවැනි පරිත්‍යාගයන් කළ බව මට මතක් වේ.

බහුතරයක් කාන්තාවන් සිය අමාරුකම් සඟවන්නේද, ඒ වෙනුවට තම දරු පවුලේ බඩගිනි නිවන්නට හැකි නොවේදැයි කල්පනා කරන්නේද එහෙයිනි.

ආනයනික කෘත්‍රිම සනීපාරක්ෂක තුවා නිසා පරිසර හානිය වැඩි යැයි කියැවෙන බවත් මේ වෙලාවේ මතක් වේ. ඒ වෙනුවට සකසා ගත හැකි රෙදි තුවා භාවිතා කිරීම උචිත යැයි තවත් අය කියනු ඇසුවෙමි. එහෙත් නාගරික කාර්ය බහුල ජීවන රටා ඔස්සේ, සෞඛ්‍යාරක්ෂිතව ඒ දේ කරගන්නට අප සමාජයේ ස්ත්‍රීන් වෙත පැටවුණු බර කන්දත් සමග හැකිවේද? එය කොයි තරම් ප්‍රායෝගිකද යන ප්‍රශ්නය අප හමුවේ දිග හැරේ.

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

මාතෘකා