ජීවිතේ ඔබට දුන්නේ ලෙමන් නම් ඒකෙන් ලෙමනේඩ් හදන්න : මුනිබා මසාරි

 ඡායාරූපය:

ජීවිතේ ඔබට දුන්නේ ලෙමන් නම් ඒකෙන් ලෙමනේඩ් හදන්න : මුනිබා මසාරි

මුනිබා මසාරි කියන්නේ පකිස්ථානයේ හැදී වැඩුණු ලස්සන ගැහැනු ළමයෙක්. චිත්‍ර ශිල්පිනියක් වෙන්න හීන දැකපු ඇය අවුරුදු 18 දී පියා විසින් විවාහ කරලා ගෘහනියක් බවට පත් කරනවා. ඉන් පස්සේ ඇයගේ විවාහය කොහෙත්ම සතුටු දායක වෙන්නේ නැහැ. රිය අනතුරකින් ඇගේ කොඳු නාරටිය කැඩී යනවා. අවුරුදු 20 දි සදාකාලික ලෙස අබ්බගාත බවට පත්වෙන ඇයව සැමියා දික්කසාද කර දමනවා.

ඉන් පස්සේ රෝහල් ඇඳේ සිට ඇය චිත්‍ර අඳින්න පටන් ගන්නවා. වසර දෙකක් යද්දී රෝද පුටුවෙන් ගමන් කරන්න තරම් සුවපත් වෙනවා. එතැනින් පස්සේ තමන්ගේ ආර්ථිකය හදා ගන්න රැකියාවක් කරනවා. ඒ අතරේ චිත්‍ර විකුණනවා.  දරුවෙක් ලබන්න නොහැකි බව නිසා දුකෙන් ඉන්න ඇය අනාථ මඩමකින් පුතෙක් හදාගන්න අරගන්නවා . මුනිබා  ලෝකය පුරා ප්‍රසිද්ධ වෙනවා. හැම තැනින්ම දේශන පවත්වන්න ආරාධනා ලැබෙනවා.

2016 වසරේ ලෝකප්‍රකට Forbs සඟරාවේ "30 under 30 Asia" ලැයිස්තුව, ඒ කියන්නේ වයස 30 ට වඩා අඩු ජීවිතේ දිනපු මිනිස්සුන්ගේ නම් අතරට මුනිබාගේ  නමත් එකතු වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පකිස්තානයේ පළවෙනි Goodwill Ambassador එහෙම නැත්නම් හොඳ හිත තානාපතිනිය ලෙස මුනිබාව තෝරා ගන්නවා. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ ක්‍රියාකාරිනියක් වශයෙන් දැන් ඇය රූපවාහිනී නිවේදන කටයුතුවල පවා නිරත වෙනවා. මේ සියල්ල කරන්නේ පූර්ණ කාලීන ආබාධිතයෙක් ලෙස රෝද පුටුවකට කොටුවෙලා ඉන්න අතරෙයි.

ජීවිතේ කියන්නේ අපිට කැමති විදිහට ලැබෙන දෙයක් නෙවෙයි. ජීවිතේ එක එක විදිහේ පන්දුවලින් ඔබට දමා ගහනවා. ඒ හැම පන්දුවකටම රැකගෙන ඉඳලා හයේ පාරක් ගහන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ පන්දුවට දැවී ගියොත් ඔබ ජීවිතෙන් දැවී යනවා. ඒ නිසා ලැබෙන දේවල්වලින් හැකි විදිහට ජීවිතේ දිනන්න.

මාතෘකා