සිම්බාබ්වේ පිතිකරුවෝ හරාරේ අවදි කරති

 ඡායාරූපය:

සිම්බාබ්වේ පිතිකරුවෝ හරාරේ අවදි කරති

පළමු ටෙස්ට් තරගයේ මන්දගාමී පිතිහරඹය හේතුවෙන් හා කඩුලු ආරක්ෂා කරගැනීමට ගත් උත්සහයෙන් පරාජය හිමිකරගත් බව විශ්වාස කරන හෙයින් දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වනවිට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 315ක් ලබා සිටියේය. බ්‍රෙන්ඩන් ටේලර් විසින් සිම්බාබ්වේ කණ්ඩායමට එන්නත් කළ ප්‍රහාරාත්මක රිද්මය සමඟ ඔහු ලකුණු 62ක් රැස්කළේ එක්දින තරගයක ස්වරූපය සිහිපත් කරමිනි. පන්දු හැට දෙකක් තුළ විහිදුණු ඔහුගේ ඉනිමට හතරේ පහර දහයක් හා හයේ පහරක් අන්තර්ගත විය. ටේලර්ගේ කඩුල්ල දවාගත්තේ සුරංග ලක්මාල් විසිනි. ඒ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමිනි.

තෙවැනි කඩුල්ල බිඳ වැටුණු පසු පිටියේ එක්වූ නායක ෂෝන් විලියම්ස් හා බ්‍රෙන්ඩන් ටේලර් එක්ව දිගු ඉනිමක් ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කෙරූවද ටේලර්ගේ දැවී යාමෙන් පසු ශිකන්දර් රාසා සමඟ කඩුල්ලේ තැන්පත් වීමට නායක විලියම්ස්ට සිදුවිණි. ඔවුන් දෙදෙනා එක්ව ටේලර් ගොඩනැගූ රිද්මය යම් පමණකට රැකගැනීමට සමත් වූහ. ඒ සඳහා කඩුලු අතර වේගයෙන් දිව යමින් ඔවුන් සංචාරක පන්දුයවන්නන්ගේ ඉලක්කය සැමවිටම අවිනිශ්චිත කළහ. ඒ අනුව නායක ෂෝන් විලියම්ස් නොදැවී ශතකයක් ලබා සිටියේය.

හරාරේහි ආරම්භවූ දෙරට අතර අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමේදී එය දිනාගත්තේ සිම්බාබේ නායකයා විසිනි. තමන්ට ලැබුණු අවස්ථාව උපයෝගී කරගනිමින් පළමුව පන්දුවට පහරදීමටත් සිව්වැනි ඉනිම ක්‍රීඩා නොකිරීමටත් සිම්බාබ්වේ නායකයාගේ තීරණය විණි. ඒ අනුව තම ඉනිමට ස්ථාවර අත්තිවාරමක් දැමීමට ආරම්භක පිතිකරුවන් වශයෙන් ප්‍රින්ස් මැස්වේයර් හා කෙවින් කසූෂා පිටියට පිවිසියහ. එහෙත් ළහිරු කුමාර හා නිරෝෂන් දික්වැල්ලගේ සම්මාදමෙන් ප්‍රින්ස් මැස්වේයර් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. එවිට ලකුණු පුවරුව කියැවුණේ 21ක් වශයෙනි. දෙවැනි කඩුල්ල ලෙස ක්‍රෙග් අර්වින්ගේ කඩුල්ල ගොදුරු කරගත්තේ ධනංජය ද සිල්වා විසිනි. ඒ වනවිට ඔවුන්ගේ සැලසුම පැහැදිලි වූ අතර අර්වින් ඒ වනවිට හයේ පහරක් හා හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් රැස්කර සිටියේ පන්දු 11කදීය. ඔහු දැවී යනවිට සිම්බාබ්වේ ලකුණු පුවරුව දැක්වුණේ 49ක් වශයෙනි. මෙම තරගයේදී ලසිත් ඇඹුල්දෙණියට දැඩි ප්‍රහාරයක් එල්ලවූ අතර ඔහු පළමු දිනයේ තෙවැනි සැසිවාරය වනවිට යවා තිබූ පන්දුවාර 20ක් යවා ලකුණු 104ක් ප්‍රතිවාදීන්ට ලබාදී තිබූ නමුත් ශිකන්දර් රාෂාගේ කඩුල්ල දවාගැනීමට සමත්ව සිටියේය.

ලකුණු සාරාංශය

සිම්බාබ්වේ පළමු ඉනිම 321/5

(ෂෝන් විලියම්ස් (නොදැවී) 100, ශිකන්ධර් රාසා 72, බ්‍රෙන්ඩන් ටේලර් 62, කෙවින් කසූෂා 38, සුරංග ලක්මාල් 2/28, ළහිරු කුමාර 1/44, ධනංජය ද සිල්වා 1/54, ලසිත් ඇඹුල්දෙණිය 1/127)

News Order: 
4
මාතෘකා