අන්තර් සමාජ රග්බි තරගාවලිය : සටනක්දී යුද හමුදාව පසු බසී හැව්ලොක්, මහනුවර හා සී.ආර්.ට ජය

 ඡායාරූපය:

අන්තර් සමාජ රග්බි තරගාවලිය : සටනක්දී යුද හමුදාව පසු බසී හැව්ලොක්, මහනුවර හා සී.ආර්.ට ජය

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලියේ දෙවැනි වටය යටතේ පෙරේදා (25) පැවැති තරග අතරින් හැව්ලොක්, මහනුවර හා සී.ආර්. කණ්ඩායම් ජය ලැබූහ. ඒ අතරින් කොළඹ හැව්ලොක් පිටියේ සත්කාරකත්වයෙන් පැවැති තරගයේ පළමු අර්ධය යුද හමුදාව විසින් පාලනය කළ නමුත් දෙවැනි අර්ධයේදී ප්‍රේක්ෂකයන්ට තියුණු තරගයක් දැක බලාගැනීමට අවස්ථාව උදාකරදෙමින් හැව්ලොක් කණ්ඩායම තරගය ජයගැනීමට සමත්විය.

හැව්ලොක් - යුද හමුදා

මෙම තරගය ජයගත් හැව්ලොක් ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් හතක් හා ප්‍රවර්ථන 5ක් සාර්ථක කරගත් අතර යුද හමුදාව ඉන් අවස්ථා පහ බැගින් ලකුණු රැස්කරනු ලැබිණි. පන්දුව වැඩිම වාරයක් අත දරමින් යුද හමුදා ආරක්ෂක අන්තය ඉක්මවා යාමට හැව්ලොක් ක්‍රීඩකයෝ සමත් වූහ. දඬුවම් පහර, ඩ්‍රොප් ගෝල් වාර්තා නොවූ නමුත් දඬුවම් උත්සාහක දිනුමක් ලබාගැනීමට යුද හමුදා කණ්ඩායම සමත්විය. ඒ අනුව දෙපිල අතර තරගයේ අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 45-22ක් ලෙස හැව්ලොක් කණ්ඩායමට තියුණු ජයක් හිමිකරදෙමිනි.

සී.ආර්. - නාවික හමුදා

වැලිසර දී තරගය 23 – 19ක් ලෙස ජයගැනීමට සී.ආර්. කණ්ඩායම සමත්විය. ලකුණු රැස්කිරීම ඇරඹුවේ නාවික හමුදාව විසිනි. ඒ චතුර සෙනවිරත්න ලැබූ පළමු උත්සාහක දිනුම සමඟය. එහි ප්‍රවර්ථනය ඉසුරු කෝන්ගහවත්ත සාර්ථක කරගත්තේය. සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහරකින් ලකුණු රැස්කිරීම ආරම්භ කළේ රීසා රෆායිඩීන් විසිනි. සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට තරගයේ 21 වැනි මිනිත්තුවේදී සී.ආර්. ක්‍රීඩක චරිත් සිල්වා සමත්වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත්තේ ඉසුරු කෝන්ගහවත්තේය. සී.ආර්. නායක ඔමල්ක ගුණරත්න වාර්තා කළේ 39 වන මිනිත්තුවේ දීය. එහි ප්‍රවර්ථනය අසාර්ථක විණි. ඒ අනුව නාවික ක්‍රීඩකයෝ 14-8ක් වශයෙන් පළමු අර්ධයේ ඉදිරියෙන් රැඳී සිටියහ. නාවික හමුදා ක්‍රීඩකයකුගේ වැරදි ඉරියව්වක් හේතුවෙන් සී.ආර්. කණ්ඩායමට දඩුවම් පහරක් ලැබුණේ 45 වැනි මිනිත්තුවේදීය. එය දඬුවම් පහර මුර්ශිඩ් සුබායිර් සාර්ථකව නිම කළේය.

තරගයේ 58 වැනි මිනිත්තුවේදී සී.ආර්. නායකයා ඔමල්ක ගුණරත්න කහ කාඩ්පතකින් අවවාද ලබද්දී නාවුක රවීන් ද සිල්වා උත්සාහක දිනුමක් සාර්ථක කරගත්තේය. එහි ප්‍රවර්ථනය අසාර්ථක වුවද නාවික ලකුණු පුවරුව 19 දක්වා ඉහළ ගියේය.

තරගයේ 63 වන මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩක නිරෝශ් පෙරේරා හට කහ කාඩ්පතක් නිකුත් කළ හෙයින් ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවිණි. එම වාසිය උකහාගත් සී.ආර්. ක්‍රීඩකයන් අතරින් ජනිඳු ඩිල්ශාන් කණ්ඩායමේ තුන්වන උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්ථනය රීසා මුබාරක් සාර්ථක කරගත්තේය.

ගුවන් හමුදා - මහනුවර

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයෙන් ලකුණු 55–08ක් ලෙස ජයගැනීමට ප්‍රබල මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. තරගයේ මුල් අර්ධයේදී දෙපිලේම ආරක්ෂක රැකවල් දැඩිවූ හෙයින් එහි ලකුණු තත්ත්වය දැක්වුණේ 3-12ක් වශයෙනි. එහෙත් තරගයේ දෙවැනි අර්ධයේදී ගුවන් හමුදා රැකවල්වලින් මිදී සිය අත්දැකීම් උපයෝගී කරගනිමින් තරගය 55-08ක් ලෙස පහසුවෙන් ජයගැනීමට මහනුවර පිල සමත්විය. එම කණ්ඩායම වෙනුවෙන් දිනුෂ්ක දන්ගේ, ජේසන් දිසානායක, කවිඳු පෙරේරා, ලැවංග පෙරේරා හා මොහොමඩ් ශබීර් උත්සහක දිනුම් වාර්තා කළහ. තරිඳු රත්වත්ත ප්‍රවර්ථනයන් හයක් හා දඬුවම් පහරක් සාර්ථක කරගත්තේය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

ඡායා [චමින්ද නිරෝෂ ]

News Order: 
3
මාතෘකා