පළමු ජාත්‍යන්තර තරගාවලියෙන්ම රන් පදක්කමක් දිනූ

 ඡායාරූපය:

පළමු ජාත්‍යන්තර තරගාවලියෙන්ම රන් පදක්කමක් දිනූ

සෙනිර ගුණරත්න

පිරිමි මීටර් 400 සහය දිවීමේ කණ්ඩායම නියොජනය කළ සෙනිර දුලක්ෂ ගුණරත්න මෙවර සාග් ක්‍රීඩා උලෙළට සහභාගිවූයේ තම පළමු ජාත්‍යන්තර තරගය වශයෙනි. මේ රැස ඔහු හා කළ සාකච්ඡාවයි.

ඔබ උපන් දිනය කවදාද ?

1999 ජූනි 30

ඉගෙන ගත්ත පාසල මොකක්ද?

වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය

පවුලේ විස්තර ගැන දැනගන්න කැමතියි ?

අප්පච්චි ගුරුවරයෙක්. අම්මා රැකියාවක් කරන්නේ නෑ. මගේ පවුලේ අක්කයි අයියයි මමයි ඉන්නවා.

ඔබ උසස්පෙළ කළේ කුමන විෂය ධාරාවෙන්ද?

කලා මාධ්‍යයෙන් තමයි මම උසස් පෙළ හැදෑරුවෙ.

ඔබ යුද හමුදාවට එක් වුණේ ?

2018 නොවැම්බර් 23

යුද හමුදාවට එක්වන්න තීරණය කළ විශේෂ හේතුවක් තිබුණද ?

ක්‍රීඩාව වෙනුවෙන්. මගේ පාසල්කාලේ පුහුණුකරු කිව්වෙත් ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න හිතනවා නම් යුද්ධ හමුදාවට එකතුවෙන්න කියලයි. ඉතින් මම හමුදාවට ආවා.

ඒ තීරණය ගැන ගෙදර දක්වපු ප්‍රතිචාර මොනවගේද?

මගේ අයියත් කලින් කලින් ක්‍රීඩා කරපු කෙනෙක්. එයා ගුවන්හමුදාවේ තමා හිටියේ. එයත් මගේ තීරණයට අනුමැතිය දුන්නා.

ඒ ආපු ගමන ගැන මොකද හිතෙන්න‍ෙ?

එම තීරණය ගැන සතුටු වෙනවා.

මීට කලින් විදේශීය තරගවලට සහභාගී වෙලා ජයග්‍රහණ අරගෙන තියෙනවාද?

නෑ. මේ තමයි මගේ පළවෙනි විදේශීය සංචාරය.

ඒ අත්දැකීම් කොහොමද?

සංචාරය යද්දි නම් මට ගොඩක් සතුටක් දැනුණා.ඒත් තරගයට ගියාට පස්සේ නම් දැනුණ බය කියලා වැඩක් නෑ. කොහොම හරි හිතට හයිය අරන් දිව්වා.

ඔබේ තරගයේදී ලොකුම තර්ජනය ආවේ කාගෙන්ද ?

පකිස්තානයෙනුයි, ඉන්දියාවෙනුයි ලොකු තර්ජනයක් තිබුණා. රේස් එකේ මුල ඉඳලාම අපි ඉස්සරහා හිටියා. බැට්න් චේන්ජ් එකේදි පොඩි අවුලක් වෙලා තමයි ටිකක් පස්සට ගියේ. කොහොම හරි අන්තිමේදි රන් පදක්කම ගත්තා.

ඊළඟ බලාපොරොත්තුව එහෙම නැතනම් ඊළඟ ඉලක්කය මොකක්ද ?

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය එනවා. ඒකට අවුරුද්දෙ මුලදි තේරීම් තරග තියෙනවා. ඒකෙදි හොඳ කාලයක් වාර්තා කරලා පදක්කමක් ගැනීම.

ඔබේ හමුදා ජීවිතයේ අනාගතය ගැන කතාකරමු.

පුළුවන් තරම් උපරිම කාලයක් හමුදාවේ ඉන්නවා. දුවන්න පුළුවන් උපරිම කාලයක් දුවනවා.

ආපසු මුලට යමු. ක්‍රීඩාව පටන් ගන්නේ කොහොමද ?

ඉස්කෝලෙන්. සුසන්ත සර් තමයි මගේ පුහුණුකරු. සර් තමයි පුංචි කාලේ ඉඳන්ම මගේ ක්‍රීඩා ගුරුතුමා.

මෙවර සාග් ක්‍රීඩා උලෙළේදී අප ලොකු ජයග්‍රහණයක් ලැබුවා ?

මෙච්චර ලොකු ජයග්‍රහණයක් ලබන්න බලපාපු ප්‍රධානම හේතුව තමයි කණ්ඩයමේ තිබුණු එකමුතුව. හැම ක්‍රීඩකයෙක්ම එකට හිටියා. වෙන වෙනම හිටියේ නෑ. ශ්‍රී ලංකා කණ්ඩායම විදියහට තමයි හැම වෙලාවෙම පෙනී හිටියේ. ඒ්ක තමා මේ ජයග්‍රහණයේ රහස.

ඔබේ වටයේ අන්තිම මීටර් කීපයේ මොකද වුණේ ? ඒ්ක මොනවගේ අත්දැකීමක්ද ?

මම හිතන් හිටියේ පළවෙනියටම යෂ්ඨිය ගිහින් දෙනවා කියලායි. කොහොම හරි ඉන්දියාවේ ක්‍රීඩකයා ළඟට ආවා. එයත් එක්ක එකටම වගේ තමයි යෂ්ඨිය ගිහින් දුන්නෙ. මට හැබැයි ඒ වෙලාවෙනම් ලොකු බයක් ඇතිවුණා.

යෂ්ඨි හුවමාරුව හරියට කරගන්න බැරි වුණේ ඔබට. ඒ වෙලාවේ මොකද හිතුණේ ?

මට සෑහෙන්න දුක හිතුණා. ඒත් මගෙන් යෂ්ඨිය ගත්තු රජිත අයියා වැඩේ ලස්සනටම ඉවර කළා. කොහොම හරි අපි අන්තිමේට රන් පදක්කම ගත්තා. ඒ් තරම් සතුටක් වෙන නෑ ඉතින්.

සංවාද සටහන [දිලංක ගුණතිලක]

News Order: 
0
මාතෘකා