පාසල් ක්‍රිකට් තරු ඇගයුම් ලැබූ ඔබ්සර්වර්-මොබිටෙල් සම්මාන සන්ධ්‍යාව

ප්‍රධාන ආරාධිතයා වූ අරවින්ද ද සිල්වා සම්මාන උළෙලට කැටුව එමින්... ඡායාරූපය:
.ප්‍රධාන ආරාධිතයා වූ අරවින්ද ද සිල්වා සම්මාන උළෙලට කැටුව එමින්...

පාසල් ක්‍රිකට් තරු ඇගයුම් ලැබූ ඔබ්සර්වර්-මොබිටෙල් සම්මාන සන්ධ්‍යාව

 

ශ්‍රී ලාංකීය අනාගත ක්‍රිකට් තාරකාවන් බවට පත්වන වත්මන් පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයින් ඇගැයීම වෙනුවෙන් මෙරට මුද්‍රිත ජනමාධ්‍යයේ මහගෙදර වන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන සේවාව වන මොබිටෙල් සමාගම එක්ව 41 වැනි වතාවටත් පසුගිය සිකුරාදා සංවිධානය කළ ඔබ්සර්වර් - මොබිටෙල් ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ කමිල් මිෂාර සම්මාන ලැබීය. පසුගිය සිකුරාදා කොළඹ හිල්ටන් හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් මෙම සම්මාන උලෙළ සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ලොවට දායාද කළ අතිවිශිෂ්ට පිතිකරුවකු වූ ද, 1996 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව සහ අවසන් මහා තරග දෙකේදීම තරගයේ වීරයා වූ අරවින්ද ද සිල්වා මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවූ මෙවර ඔබ්සර්වර් - මොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ එම්. උමාෂා තිමේෂනී ට හිමිවිය.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත කුරේ මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සහ මොබිටෙල් සමාගමේ සභාපති පී.ජී. කුමාරසිංහ මහතා, මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලීන් පෙරේරා මහතා, සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ අධ්‍යක්ෂිකා උමා රාජමන්ත්‍රී මහත්මිය, සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා, මොබිටෙල් සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි (අලෙවි) ඉසුරු දිසානායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සම්මාන උළෙලේදී ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 44 දෙනෙක් සම්මාන ලැබූ අතර, පාසල් බාලක-බාලිකා ක්‍රිකට් කණ්ඩායම් 21ක් සම්මානයට පාත්‍රවිය. ක්‍රීඩක-ක්‍රීඩිකාවන් මෙන් ම පාසල් කණ්ඩායම් ඇගැයීමේදී මුදල් ත්‍යාග පිරිනැමීමක් ද මෙහිදී සිදුකෙරිණ.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමස්ත ලංකා හොඳම පාසල් කණ්ඩායම ලෙසත්, කොළඹ තර්ස්ටන් විද්‍යාලය එහි අනු ශූරයින් ලෙසත් සම්මාන ලැබූහ. රත්ගම දේවපතිරාජ විද්‍යාලය වසරේ දක්ෂතම බාලිකා පාසල් ක්‍රිකට් කණ්ඩායම ලෙසත්, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට එහි අනු ශූරතාවත් හිමිවිය. 1979 වසරේ පැවැති මෙම සම්මාන ඉතිහාසයේ පළමු සම්මාන ප්‍රදානයේ දී පළමු වරට වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වූ රංජන් මඩුගල්ලේ පාසල් ක්‍රිකට් පිටියට හඳුන්වාදුන් කොළඹ රාජකීය විද්‍යාලයේම කමිල් මිෂාර 41 වැනි සම්මාන ප්‍රදානයේදී වසරේ දක්ෂතම පාසල් ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීම කැපී පෙනිනි.

පළමු කාණ්ඩය

දක්ෂතම පිතිකරු - නිශාන් මධුෂ්ක ප්‍රනාන්දු (මොරටු විද්‍යාලය)

දක්ෂතම පිතිකරු අනු ශූරතාව - සන්තුෂ් ගුණතිලක (බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය)

දක්ෂතම පන්දු යවන්නා - කළණ පෙරේරා (ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය)

දක්ෂතම පන්දු යවන්නා අනු ශූරතාව - කවිෂ්ක සේනාධීර (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය)

දක්ෂතම පන්දු රකින්නා - අමිත දාබරේ (කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය)

දක්ෂතම පන්දු රකින්නා අනු ශූරතාව - ෂැනොන් ප්‍රනාන්දු (බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය)

දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා - ලක්ෂිත රසාංජන මානසිංහ (කොළඹ නාලන්ද විද්‍යාලය)

දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා අනු ශූරතාව - මුදිත ලක්ෂාන් (කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය)

ජාතික සම්මාන

දක්ෂතම පිතිකරු - කමිල් මිෂාර (කොළඹ රාජකීය විද්‍යාලය)

දක්ෂතම පන්දු යවන්නා - රොහාන් සංජය (කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය)

දක්ෂතම පන්දු රකින්නා - නිපුන් ධනංජය (වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය

දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා - නවෝද් පරණවිතාන (ගාල්ල මහින්ද විද්‍යාලය

වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා - කමිල් මිෂාර (කොළඹ රාජකීය විද්‍යාලය)

පළමු කොටසේ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා - ලක්ෂිත රසාංජන මානසිංහ (කොළඹ නාලන්ද විද්‍යාලය)

වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව - උමාෂා තිමේෂනී (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)

ඔබ්සර්වර් - මොබිටෙල් දක්ෂතම පාසල් ක්‍රිකට් කණ්ඩායම - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය

ඔබ්සර්වර් - මොබිටෙල් දක්ෂතම පාසල් ක්‍රිකට් කණ්ඩායම අනු ශූරතාව - කොළඹ තර්ස්ටන් විද්‍යාලය

වසරේ විනයගරුක පාසල් ක්‍රිකට් කණ්ඩායම - කොළඹ රාජකීය විද්‍යාලය

වසරේ දක්ෂතම නැගීඑන පාසල් ක්‍රිකට් කණ්ඩායම - ජාඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය

වසරේ දක්ෂතම බාලිකා පාසල් ක්‍රිකට් කණ්ඩායම - රත්ගම දේවපතිරාජ විද්‍යාලය

වසරේ දක්ෂතම නැගීඑන බාලිකා පාසල් ක්‍රිකට් කණ්ඩායම - වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය

 

 

 

 

 

 

[ඉෂානි යද්දෙහි]

 

ඔබ්සර්වර්-මොබිටෙල් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උලෙළ අද රූපවාහිනී විකාශය හෙට (19) රෑ 10ට අයි.ටී.එන්. ඔස්සේ

මාතෘකා