සත්කාරක ජපන් හපන්නු රුසියානු රුසියන් දණ ගස්වති

 ඡායාරූපය:

සත්කාරක ජපන් හපන්නු රුසියානු රුසියන් දණ ගස්වති

 ලෝක ශූරතා රග්බි තරගාවලිය

 

 මිනිත්තු පහක් තුළදී ලකුණු 17ක් ලබාගත් නවසීලන්ත ඕල් බ්ලැක්ස් ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට එරෙහිව තරගාවලියේ පළමු ජය වාර්තා කළේ ලකුණු 23-13ක් ලෙසිනි.

අවසන් තරගයකට සුදුසුකම් ලැබිය යුතු කණ්ඩායම් දෙකක් වන නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව ‘බී’ කාණ්ඩයේ තරගයකට අවතීර්ණ වූයේ යොකොහාමා හිදී ය. තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් 2 වැනි මිනිත්තුවේදී දකුණු අප්‍රිකාවට ලැබුණු දඬුවම් පහරක් ෆ්ගයි හාෆ් ක්‍රීඩක ඇන්ඩ්‍රේ පොලාඩ් සාර්ථක කර ගත් අතර 19 වැනි මිනිත්තුවේදී ලැබුණු පහසු දඬුවම් පහරක් පොලාඩ් අසාර්ථකකර ගත් බැවින් ඔවුන් ඉදිරියෙන් සිටියේ ලකුණු 03-00ක් ලෙසිනි.

මිනිත්තු විස්සකට පමණ පසු දිගින් දිගටම දකුණු අප්‍රිකානු සීමාව වෙත ආක්‍රමණය එල්ල කළ නවසීලන්ත ක්‍රීඩකයේ පළමු දඬුවම් පහර සාර්ථක කර ගත්තේ 22 වැනි මිනිත්තුවේ දී ය. ෆ්ලයි හාෆ් ක්‍රීඩක රිචී මොවුන්ගා එය සාර්ථක කර ගැනීමට සමත් විය. ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම ලබා ගත්තේ 23 වැනි මිනිත්තුවේ දී ය. එහි හිමිකාරයා වූයේ වින්ගර් ජෝර්ජ් බ්‍රිජ් ය. රීචී මොවන්ගා ගේ ප්‍රවර්ථනය නිසා ලකුණු 10-03ක් ලෙස ලෝක ශූරයන් ඉදිරියෙන් පසු විය. ස්කොට් බැරට් 27 වැනි මිනිත්තුවේදී ලබා ගත් උත්සාහක දිනුමක් නැවතත් මොවුන්ගා විසින්ම ප්‍රවර්තනය කිරීමෙන් ලකුණු තත්ත්වය 17-03ක් විය. පළමු අර්ධය අවසාන සටහන් වූයේ ලකුණු පුවරුව එසේ තිබියදී ය.

 

දෙවැනි අර්ධය ආරම්භ කරමින් ඉක්මන් ආක්‍රමණයක් දියත් කළ දකුණු අප්‍රිකාවේ පීටර් සිටීවන් ඩු ටොයිට් 47 වැනි මිනිත්තුවේදී දකුණු අප්‍රිකාවට උත්සාහක දිනුමක් ලබා දීමට සමත් විය. පොලාර්ඩ් ගේ ප්‍රවර්ථනය සාර්ථක වූ නිසා නවසීලන්තය 17-10 දකුණු අප්‍රිකාව ලෙස ලකුණු තත්ත්වය දිස් විය. තරගයේ උනුස්ම වැඩි කරමින් මීටර් 30ක් පමණ දුර සිට ඇන්ඩ්‍රේ පොලාර්ඩ් 58 වැනි මිනිත්තුවේදී වාර්ථා කළ විශිෂ්ට ඩ්‍රොප් ගෝලයත් සමගම 17-13ක් ලෙස නවසීලන්තයට අසන්න වීමට දකණු අප්‍රිකානුවන්ට හැකි විය.

නැවතත් තරගය තම ග්‍රහණයට ගත් නවසීලන්තය දකුණු අප්‍රිකානු සීමාවේම පන්දුව තබා ගැනීමට සමත් විය. 66 වැනි මිනිත්තුවේදි නවසීලන්තයේ අංක 10 දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් 20-13ක් ලෙස සිය කණ්ඩායම ඉදිරියට ගෙන යෑමට සමත් විය. මෙම තරගයේ වීරයා ලෙස නම් වූ බේඩොල් බැරට් 71 වැනි මිනිත්තුවේදී කණ්ඩායමට ලැබුණු දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් 23-13 ලෙස තරගය අවසන් කිරීමට සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමගම පිට පිටම ලෝක කුසලාන තරගවල ලැබූ 15 වැනි ජය වාර්ථා තිරීමට නවසීලන්තය සමත් විය. ඔවුන් ගේ ලෝක කුසලාන අවසන් පරාජය වාර්ථා වන්නේ 2007 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ප්‍රංශයට පරාජය වීමයි.

අජිනොමොටෝහිදී සත්කාරකයන්ගෙන් රුසියාවට හොඳ සංග්‍රයක්

ටෝකියෝ හි අජිනොමොටෝ ක්‍රීඩාංගණයේදී රුසියානුවන්ට හොඳ සංග්‍රහයක් ලබාදුන් සත්කාරක ජපානය 2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය සිය රට ඉදිරියේ සටහන් කිරීමට සමත් වූයේ ලකුණු 3-10ක ජයක් වාර්ථා කරමිනි.

 

ඉතා විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ජපන් වින්ගර් කටාරෝ මට්සුෂිමා උත්සාහක දිනුම් 3ක් වාර්ථා කිරමින් ජපන් ජය තහවුරු කිරීමේ පුරොගාමියා විය.

තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරළ රුසියානුවෝ එය සාර්ථකව ප්‍රවර්ථනය කරමින් 5 වැනි මිනිත්තුව වන විටම ලකුණු 7-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ. මෙවර තරගාවලිය පිළිබඳ විශාල බලාපොරොත්තු තබා සිටින සත්කාරක ජපානය තරගාවලියට පෙර බලාපොරොත්තු වූයේ රුසියාව ඉතා පහසුවෙන්ම පරාජය කිරීමටයි. එම බලා පොරොත්තු සඵල කර ගැනීමේ කර්තව්‍ය අරඹමින් මට්සුෂිමා 12 වැනි මිනිත්තුවේදී පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වුවත් ෆ්ලයි හාෆ් ක්‍රීඩක යු ටමුරා අතින් එහි ප්‍රවර්ථනය ගිලිහී ගියේය.

නැවතත් ජපානයේ දෙවැනි උත්සාහක දිනුම මට්සුෂිමා විසින් වාර්තා කළද රූපවාහිනී පුනරූපන මගින් දැක ගැනීමට ලැබුණේ. පන්දුව උත්සාහක දිනුම් සීමාවේ තැබීමට පෙර මට්සුෂිමා අතින් පන්දුවේ පාලනය ගිලිහී යන බවයි. ඒ අනුව ලකුණු තත්ත්වයේ වෙනසක් නොවුනි. 07-05ක් ලෙස රුසියාව පෙරමුණේ විය.

නැවත 39 වැනි මිtනිත්තුවේදී ක්‍රියාත්මක වූ මට්සුෂිමා උත්සාහක දිනුමක් වාර්ථා කළ අතර එහ් ප්‍රවර්ථනය සාර්ථක විය. විවේක කාලය සඳහා තරගය නතර කරන විට ලකුණු 12-07ක් ලෙස ජපානය ඉදිරියට පැමිණීමට සමත් විය. දෙවැනි අර්ධයේදී ජපානයේ සත්කාරය ඕනෑවටත් වඩා වැඩි විය. 44 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහරක් ඔවුන් සාර්ථක කර ගත් අතර 47 වැනි මිනිත්තුවේදී පීටර් ලබුසුචානේ ජපානයේ තෙවැනි උත්සාහක දිනුම ලබා ගත්තේය. එහි ප්‍රවර්ථනය අසාර්ථක වූ බැවින් ලකුණු සංඛ්‍යාව දිස් වූයේ ජපානය 20-07 රුසියාව ලෙසිනි. 64 සහ 66 වැනි මිනිත්තුවලදී කණ්ඩායම් දෙකම දඬුවම් පහර බැගින් සාර්ථකකර ගත් බැවින් 23-10කින් ජපානය ඉදිරියෙන් විය. මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු තරගය තමන්ට අමරණීය තරගයක් බව සටහන් කළ මට්සුෂිමා තම තෙවැනි උත්සාහක දිනුමත් පහසුවෙන්ම ලබා ගත්තේ තරගයේ 69 වැනි මිනිත්තුවේදී ය. එහි ප්‍රවර්ථනය යු ටමුරා සර්ථක කරදුන් හෙයින් ලකුණු 30-10ක් ලෙස පහසු ජයකින් තරගාවලිය ඇරඹීමට සත්කාරකයන්ට හැකි විය.

තියුණු සටනකින් පසු ප්‍රංශයට ජය

ආර්ජන්ටිනා පුහුණුකරු මාරියෝ ලෙඩ්ස්මා ගේ බලාපොරොත්තු සුන් කරමින් පළමු තරගයෙන් ඉතා තියුණු තරගයකින් පසුව ලකුණු 23-21ක් ලෙස ප්‍රංශය හමුවේ පරාජය වීමට ආර්ජන්ටිනාවට සිදු විය.

ටෝකියෝ හි අජිනොමොටෝ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමු අර්ධයේදී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ප්‍රංශය පළමු අර්ධයේ ලකුණු 20-03ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් විය. දෙවැනි අර්ධයේ ඉතා තියුණු තරගයකට අවතීර්ණවූ ආර්ජන්ටිනා ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් දෙකක්ද සමගින් 68 වැනි මිනිත්තුව වන විට ලකුණු 21-20ක් ලෙස ඉදිරියට පැමිණිමට සමත් විය. ආර්ජන්ටිනාවේ ඉදිරි ගමන තත්ත්පර කිහිපයකට පමණක් සීමා කළ ප්‍රංශ ෆ්ලයි හාෆ් ක්‍රීඩක කැමිලි ලෝපේස් 69 වැනි මිනිත්තුවේදී ලබා ගත් ඩ්‍රොප්ගෝලයෙන් 23-21කින් නැවතත් ප්‍රංශය පෙරමුණ ගැනීමට සමත් විය.

ඉන් පසුව ආර්ජන්ටිනාව අවස්ථා කිහිපයකදීම ප්‍රංශ ගෝල සීමාව ආක්‍රමණය කළ අතර 79 වැනි මිනිත්තුවේදී ඔවුන්ට දඬුවම් පහරක් හිමි විය. තරගයේ තීරණාත්මක අවස්ථාවේදී ලැබුණු මීටර 40ක් පමණ දුර වූ එම අසීරු දඬුවම් පහර ෆුල් බැක් ක්‍රීඩක එමිලියානෝ බෆ්ෆෙලි ට සාර්ථක කර ගැනීමට නොහැකි වීමත් සමගම තරගයේ ජය ප්‍රංශයට හිමි විය.

අයර්ලන්තයට පහසු ජයක්

යොකොහාමා ක්‍රීඩාංගණයට ඊයේ (22) අයර්ලන්තය සහ ස්කොට්ලන්තය පිවිසුණේ ‘ඒ‘ කාණ්ඩයේ තරගයක් සඳහාය. ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්හි 2වැනි ස්ථානයේ සිටින කණ්ඩායම අයර්ලන්තය වන අතර ස්කොට් ලන්තය 8 වැනි ස්ථානයේ පසුවේ. කෙසේ වෙතත් ඉතා පහසුවෙන් ස්කොට්ලන්තය පරාජය කළ අයර්ලන්තයට ලකුණු 27-03ක ජයක් හිමි විය.

තරගය අරඹා 5 වැනි මිනිත්තුවේදී අයිර්ෂ් ජාතිකයින් ලකුණු ලැබීම ඇරඹීය. ජේම්ස් රයන් පළමු උත්සාහක දිනුම ලබා ගත් අතර ජෙනතන් සෙක්ස්ටන් එහි ප්‍රවර්ථනය සාර්ථකව නිම කළේය. අයර්ලන්ත නායක රෝරි බෙස්ට් 13 වැනි මිනිත්තුවේදී තම කණ්ඩායමේ දෙවැනි උත්සාහක දිනුම වාර්ථා කිරීමට සමත් විය. සෙක්ස්ටන් ප්‍රවර්ථනය සාර්ථක නොවුණෙන් ලකුණු 12-00ක් ලෙස අයර්ලන්තය පෙරමුණ ගැනීමට සමත් විය. 20 වැනි මිනිත්තුවේදී ස්කොට්ලන්ත ස්ක්‍රම් හාෆ් ග්‍රේග් ලයිඩ්ලෝ තම කණ්ඩායමට ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගනිමින් ස්කොට්ලන්ත ලකුණු පුවරුවට ලකුණු 03ක් එක් කළේය.

අයර්ලන්ත ඉදිරි පෙළ ක්‍රීඩක ටඩ්ග් ෆියුරියොන්ග් 24 වැනි මිනිත්තුවේදී අයර්ලන්තයේ තෙවැනි උත්සාහක දිනුමද වාර්ථා කළේය. ස්ක්‍රම් හාෆ් කොනො මරේ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට සමත් විය. ඒ අන්ව පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 19-03ක් ලෙස අයර්ලන්තය ඉදිරියෙන් සිටිමිනි.

තරගයේ දෙවැනි අර්ධයේදීද ස්කොට්ලන්තයට වැඩි දස්කමක් දැක්වීමට අයර්ලන්ත ක්‍රීඩකයන්ගෙන් ඉඩක් නොලැබුණු අතර අයර්ලන්තය තවත් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කළේය. ඒ අනුව තරගය අවසන් වූයේ ලකුණු 27-03ක ජයක් අයර්ලන්තයට හිමිකර දෙමිනි.

 

මාතෘකා