ඔබ්සවර් සම්මානයෙන් දිරි ලබා ලොව විශිෂ්ටතම පන්දුයවන්නා වූ මුත්තයියා මුරලිදරන්

 ඡායාරූපය:

ඔබ්සවර් සම්මානයෙන් දිරි ලබා ලොව විශිෂ්ටතම පන්දුයවන්නා වූ මුත්තයියා මුරලිදරන්

ඔබ්සවර් ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා කිරුළ කොළඹින් පිටතට රැගෙන ගිය ක්‍රීඩකයා ලෙස සැලකෙන්නේ ඔහුය. එය කඳුරටට පළමු වරට රැගෙන ගිය ක්‍රීඩකයා වශයෙන් සැලකෙන්නේද ඔහුමය. එදා ඔබ්සවර් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් ඇගයීමට ලක්ව ලෝක පූජිත පන්දු යවන්නා ලෙස කිරුළ දිනා ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේද ඔහුමය. එතරම් වේගයෙන් ටෙස්ට් තරග හිමිනොවන නමුත් රටට ලැබුණු ටෙස්ට් තරග වෙනුවෙන් වැඩි කාලයක් ක්‍රීඩා කරන්නට සමත්වූ ඔහු මුත්තයියා මුරලිදරන්ය. කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් කොළඹින් බැහැරට වසරේ පාසල් ක්‍රිකට් සම්මානය රැගෙන යාමට මුරලි සමත්වූයේ 1991 වසරේදීය. ඒ හරියටම මීට වසර 28කට පෙරදීය. එකල ක්‍රිකට් ක්‍රීඩාව තුළින් දිග් විජය කර තිබූ අගනුවර පාසල්වල ක්‍රීඩකයින් අභිබවමින් එය කඳුරට පාසලක් වෙත රැගෙන යාමට ක්‍රීඩකයෙක් සමත්වීමද සුවිශේෂී හැරවුම් ලක්ෂයක් විය.

එය පාසල් ක්‍රිකට් පිටිය සුවිශාල වෙනසකට ලක්කළ සිදුවීමක් වූ අතර කොළඹින් බැහැර පාසල් තුළින් දක්ෂ ක්‍රීඩකයින්ට පිබිදීමට අවශ්‍ය ශක්තිය නිර්මාණය කරනු ලැබීමක්ම විය. ඒ සඳහා මුත්තයියා මුරලිදරන් සලකා බැලීමට නිර්මිත වූයේ ඔහු එම වසරේ කඩුලු 100 ඉක්මවා බිඳ දැමීමට සමත්වීමය. පාසල් ක්‍රිකට් පිටියේ වාර්තාවක් වූ එම පන්දු යැවීම සිදුකළ හැක්කේ සැබෑ දක්ෂකයකුට පමණක් බව එදා ඔබ්සවර් සම්මාන උලෙළේ ජූරියේ තීරණය විය. එම පූරෝකථනය කොතරම් සාර්ථකද යන්න ඔබ්සවර් සම්මානය ලබාදී නොබෝ කලකින්ම තේරුම් ගන්නට හැකියාව උදාකර දුන්නේ මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දුයවන්නාගේ භූමිකාවට පැමිණෙන්නට පාර කියාදුන් හෙයිනි. මේ ඔහුගේ ගමන් මඟ සම්බන්ධයෙන් වන කතාවයි.

1972 අප්‍රේල් 17 වැනිදා උපත ලද මුත්තයියා මුරලිදරන් අවුරුදු නවයක් වද්දී වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් ශාන්ත අන්තෝනි විදුහලට ඇතුළත් කරනු ලැබුණේය. එහිදී ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අත්පොත් තැබූ මුරලි මුල් කාලයේ තමන්ගේ පන්දුයැවීම සිදුකළේ වේග පන්දුයවන්නෙක් ලෙසය. එහෙත් ඔහුගේ පන්දුයැවීමේ ඉරියව් අධ්‍යයනය කළ පුහුණුකරු සුනිල් ප්‍රනාන්දු සර් කීවේ මුරලි දැන් අපි කටර් පන්දු යවමු යැයි කියාය. ඒ අනුව අවුරුදු 14ක් වද්දී මුරලි වේග පන්දු යැවීමෙන් ඉවත්ව දඟ පන්දුවට බැස්සේය. ඔහු එසේ අලුතින් ආරම්භ කළ දඟ පන්දු යැවීමෙන් පිතිකරුවන් අන්දමන්ද කළේය. එම වෙනසට අනුව 1990 හා 1991 වසරවලදී කඩුලු 100 ඉක්මවා දවාගැනීමට මුරලිට හැකියා උදාවිය.

පාසලෙන් ඉවත්වූ සැණින් ඔහු ආවේ ‘ටැමිල් යුනියන්‘ ක්‍රීඩා සමාජය සමඟ එක්වන්නටය. එසේ එක්වීමෙන් පසු ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ එංගලන්ත සංචාරයට තෝරාගත්තේ ඔබ්සවර් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා අමතක කරන්නට ක්‍රිකට් තේරීම් කමිටුවටද හැකියාවක් නුවූ හෙයිනි. එහෙත් එංගලන්තයේදී මුරලිට එකදු කඩුල්ලක් හෝ හිමිනොවූයේය. එහෙත් ඔහු ඉන් පසුබට නොවූයේය. යළි සියරට පැමිණි සැණින් මුරලිට ඇලන් බෝඩර්ගේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ක්‍රීඩා කරන්නට අවස්ථාවක් උදාවිණි. එහිදී දැක්වූ දක්ෂතාව හේතුවෙන් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිකරගත් මුරලි එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් ස්වකීය ගමන ස්ථාවර කරගත්තේය.

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාව අතිශය ජනප්‍රියව තිබූ එවකට 1999, 2001, 2005 සහ 2007 වසරවල ලැන්කෂයර් ප්‍රාන්තයට ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව උදාවූයේ මේ අතරේය. ඒ සෑම අවස්ථාවකදීම මුරලිදරන් දැක්වූ දක්ෂතා කැපී පෙනුණ අතර ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ මෙන්ම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේද නිසැක අවධානයට පාත්‍රවිණි. එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගවලදී පමණක් මුරලිගේ කඩුලු දඩයම කඩුලු 236ක් ලෙස සටහන්වීම ඔහු තමන්ට හුරුපුරුදු, දඟ පන්දු යවන්නන්ට වඩාත් වාසිදායක නොවන තණතීරුවලදීද ක්‍රීඩාකිරීමේදී දැක්වූ දක්ෂතාව තේරුම් ගන්නට හැකිය.

අයි.පී.එල්. තරගවලදී නැතිවම බැරි ක්‍රීඩකයකු වූ ඔහු පන්දුවාර විස්සයි විස්ස තරග රටාව තුළදීද දක්ෂතා දැක්වූයේ පන්දුයවන්නකු වශයෙනි. විශේෂයෙන් දඟ පන්දුයවන්නෙක් වශයෙන් පන්දුවාර විස්සයි 20 තරග රටාවේදී පීඩාවට පත්වීම වළක්වා ගැනීමට තරම් පිතිකරුවාගේ මනස කියැවීමට සමත් පන්දුයවන්නකු වූ මුරලිදරන් මෙවැනි ස්ථාවරයකට ළඟාවෙන බව සිතා පළමුවෙන් ඇගයීමට ලක්කිරීමට ඔබ්සවර් පුවත්පත ක්‍රියා කිරීමද සුවිශේෂීය.

පන්දුයැවීමේදී පන්දුව දමාගසන බවට ඔස්ට්‍රේලියාවේදී චෝදනා ලැබූ මුත්තයියා මුරලිදරන් එම චෝදනාව හමුවේ ශක්තිමත්ව නැගී සිටින්නට සමත්වූයේ ක්‍රීඩකයෙක් වශයෙන් තමන් සතු පෞරුෂය කොතරම් ශක්ති සම්පන්නදැයි ලෝකයා හමුවේ ප්‍රකාශ කරමිනි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේ මෙන්ම සමස්ත ජාතියේම සහයෝගය දිනාගැනීමට තරම් මුත්තයියා මුරලිදරන් සුදක්ෂ පෞරුෂයක් ගොඩනංවාගෙන සිටියේයැයි කිවයුතුය.

පන්දුව දමාගසන චෝදනාවෙන් නිදහස ලැබූ මුරලි පසු කලෙක ඔස්ට්‍රේලියාව විසින් පවත්වන බිග් බෑෂ් තරගාවලියටද ඇරැයුම් ලැබූ පන්දුයවන්කු විය. පිට දඟ පන්දුව, දූස්රාව, ටොප් ස්පින් ඇතුළුව වේගය අඩාල කරමින් හෝ වේගය වැඩිකරමින්, පන්දුව ගුවනට මුසුකරමින් යවන පන්දු, දඟ නොකවා කෙළින්ම කඩුල්ල වෙත යොමුකරන පන්දු ආදියද සලකන කල මුත්තයියා මුරලිදරන් යනු විවිධත්වයෙන් යුතු පිතිකරුවන්ට අභියෝගයක් වෙන ලෙස පන්දුයැවූ පන්දුයවන්නෙකි. අද මෙන් එදා කඩුල්ලට පිටින් පතිතවන පන්දුවක් වුවද පිත්තෙන් පිළිනොගෙන පා ආවරණයෙන් පිළිගනිද්දී කඩුල්ලේ දැවටෙන්නේ යැයි තීරණය කරන්නට විනිසුරුවන් හැකියාවක් තිබුණේ නම්, ඊට අවශ්‍ය තාක්ෂණය පැවැතියේ නම් මුත්තයියා මුරලිදරන් කඩුලු දහස ඉක්මවා ලබාගන්නා බවටත් ඇතැම්විට එය අද ඔහු ලබාගත් කඩුලු ගණන මෙන් දෙගුණයක් වන්නට හැකි බවත් විශ්වාස කරන්නට පිළිවන. ඒ මන්දයත් ඔහුගේ පන්දුයැවීමේ මායාව හමුවේ ඉදිරි පා ආවරණයෙන් තමන්ගේ කඩුල්ල බේරාගැනීමට ලොව පුරා පිතිකරුවන් බොහෝදෙනෙක් ක්‍රියාකළ අවස්ථා එමට වූ බැවිනි. ඔහුට එරෙහිව පිතිකරුවන් වශයෙන් යම් පමණකට සාර්ථක වූයේ නම් ඒ නව්ජොට් සිං සිධූ, මොහොමඩ් අසරුදීන්, හැන්සි ක්‍රොන්යේ, බ්‍රයන් ලාරා වැනි පිතිකරුවන් කීපදෙනෙක් ගෙනහැර දක්වන්නට පිළිවන. එහෙත් මුත්තයියා මුරලිදරන් ගේ පන්දුයැවීමේ මායාවට යටපත්වූ පිතිකරුවන් සංඛ්‍යාව එමෙන් සිය ගුණයක් වැඩිය.

එදා 1991 වසරේදී මුරලි ඔබ්සවර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් සම්මානයට පාත්‍ර කිරීමට කටයුතු කිරීමෙන් ජීවිතයේදී මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේදීද දීර්ඝ ගමනක් ගිය මුරලිදරන් අවසානයේ ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා ලෙස සිය නම සටහන් කරගැනීමට සමත්විණි. ක්‍රීඩකයෙක්ට මෙම සම්මාන උලෙළ කොතරම් වැදගත් එකක්දැයි තේරුම් ගන්නට මුත්තයියා මුරලිදරන්ගේ එම දක්ෂතාවය ප්‍රමාණවත් බව අවිවාදයෙන් පැවසිය යුතුමය.

-----------

සංජීව රණතුංග

සොහොයුරන් දෙපලක් ලෙස ඔබ්සවර් වසරේ පාසල් ක්‍රීඩකයා සම්මානය හිමිකර ගැනීමට සමත්වූ රණතුංග සොහොයුරන්ගේ දෙවැන්නායි. සිය සොහොයුරු අර්ජුන රණතුංගට පසුව මෙම ගෞරවය ආනන්ද විද්‍යාලයට ලබා දුන්නේ සංජීවය.

මාවන් අතපත්තු

ඉතාමත්ම අමිහිරි ආකාරයට ටෙස්ට් ආගමනය සටහන් කළ ක්‍රීඩකයෙකි. පළමු ටෙස්ට් තරගයට 1990දී ඉන්දියාවේදී ක්‍රීඩා කළ අතර ඉනිම් දෙකේදීම ලකුණු නොලබා දැවී ගියේ ය. නැවත 1992 ශ්‍රී ලංකාවේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අතර පළමු ඉනිමේදී ලකුණු නොලබා දැවී ගියේය. එම තරගයේ දෙවැනි ඉනිමේදී සිය මංගල ටෙස්ට් ලකුණ වාර්තා කිරීමට සමත් විය. මාවන්ට ඊළඟ අවස්ථාව හිමි වූයේ නැවතත් 1994 වසරේ ඉන්දියාවේදීය. එවරත් ඉනිම් දෙකේදීම ලකුණු නොලබා දැවී ගියේ පළමු ටෙස්ට් තරග 3දී ඉනිම් 6කදී බින්දු 5ක් සමගින් එක් ටෙස්ට් ලකුණක් පමණක් රැස් කළ පිතිකරුවා වෙමිනි.

එහෙත් තම උත්සාහය අත්නොහැරි අතපත්තු තවත් වසර තුනකට පසුව 1997 යළි ටෙස්ට් කණ්ඩායමට එක් වූ අතර එවර නවසීලන්තයේදී ලකුණු අතරට පැමිණියේය. එම වසරේදීම තමන්ට අමිහිරි ටෙස්ට් මතකයන් ගෙනා ඉන්දියාවේදීම තම පළමු ටෙස්ට් ශතකයද රැස් කිරීමට මාවන් සමත් විය.

සිය ටෙස්ට් තරග ජීවිතය අවසන් කරන විට මාවන් ටෙස්ට් ශතක 16ක් රැස්කර සිටි අතර ඉන් 6ක්ම ද්විත්ව ශතක විය. ඔහු ටෙස්ට් පිටියෙන් සමුගන්නා කාලයේදී ශ්‍රී ලංකාවේ වැඩිම ද්විත්ව ශතක ලාභියාගේ වාර්තාව සතු වූයේ මාවන්ට ය. 2001 සහ 2006 අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද දැරීය. පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ පුහුණුකාර ධුරයටද පත්වූ අතර එයට පෙර කැනඩා සහ සිංගප්පූරු කණ්ඩායම්වල ද පුහුණුකරුවා ලෙස කටයුතු කර තිබිණි.

හසිත බෝයගොඩ

පසුගිය වසරේ ඔබ්සවර් පාසල් ක්‍රීඩකයා සම්මානය ලැබූ බෝයගොඩ ලෝක වාර්තාවකට හිමිකම් කීමට සමත් වූයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සිටියදීමය. ඒ 2018 වසරේ නවසීලන්තයේ පැවැති යොවුන් ලෝක කුසලාන එක්දින තරගාවලියේදී කෙන්යා පිලට එරෙහිව ලකුණු 191ක් රැස් කරමිනි. එය එතෙක් මෙතෙක් 19න් පහළ ජාත්‍යන්තර එක්දින තරගයකදී ක්‍රීඩකයෙක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

 

මාතෘකා