සාග් ක්‍රීඩා උලෙළ අත ළඟ තිබියදීත් සුගතදාස ක්‍රීඩාංගණය ‘බිසී’ ෙවයි නොවැම්බර් අවසන් වන තුරු වෙන්කිරීම් බෑ

 ඡායාරූපය:

සාග් ක්‍රීඩා උලෙළ අත ළඟ තිබියදීත් සුගතදාස ක්‍රීඩාංගණය ‘බිසී’ ෙවයි නොවැම්බර් අවසන් වන තුරු වෙන්කිරීම් බෑ

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය වෙන් කරවා ගැනීම ලබන නොවැම්බර් මාසය අවසන් වන තුරුත් අසීරුවී තිබේ. දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට දින ළංවෙමින් තිබුණද පුහුණු සැසි පැවැත්වීමට ගෘහස්ථ ක්‍රීඩාංගණය වෙන්කර ගැනීම අර්බුදයක්ව ඇතැයි පැවසෙයි. මෙම තත්ත්වය හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ක්‍රීඩා සංගම් සාමාජිකයන් රැසක් ‘රැස’ ට පැවසීය. ‘ජනාධිපතිවරණය ගැන කියමින් විවිධ දේශපාලන වැඩසටහන්වලට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය වෙන් කරගන්න ප්‍රවණතාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයක් එවැනි කටයුත්තක් කළත් දැන් ත්‍රීවිල් පක්ෂත් තමන්ගේ බලය පෙන්වන්න ගෘහස්ථ ක්‍රීඩාංගණය වෙන්කරගනිමින් සිටිනවා. මේක පුදුම ප්‍රශ්නයක්. සල්ලි වැඩිය හම්බවෙනවානම් ඕනෑම දේකට ක්‍රීඩාංගණය බදු දෙන්නත් පාලන අධිකාරිය සූදානම්. ඒ ගොල්ලෝ බලන්නෙ මුදල් විතරයි. වෙන කිසි දෙයක් ගැන ඔවුන් සිතන්නේ නෑ. සාමාන්‍යයෙන් සුගතදාස ක්‍රීඩාංගණය ප්‍රමුඛත්වය දිය යුත්තේ ක්‍රීඩාවට මිස දේශපාලනයට නොවෙයි. මෙහෙම දේවල් වෙද්දී අපි කොහොමද ජාත්‍යන්තර තරග දිනන්නෙ?’ යැයි පැවසීය.

මෙම තත්ත්වය යටතේ කටුනායක ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරය හෝ පිට පළාත්හි පිහිටා ඇති ප්‍රමිතියෙන් අඩු මට්ටමක පවතින ගෘහස්ථ ක්‍රීඩාගාරයක පහසුකම් සලසා ගැනීමට බොහෝ ක්‍රීඩා සංගම්වලට සිදුව ඇතත් එහිදී පිට පළාත් ගෘහස්ථ ක්‍රීඩාංගණ නොසලකා හැර ඇත්තේ ගමන් වියදම්, නේවාසික ගැටලු හේතුවෙනි.

‘අපිට පිට පළාත්වලට ගිහිල්ලා පුහුණු තරග, තේරීම් තරග තියන්න බෑ. එහෙම තියද්දී සංචිතයේ ක්‍රීඩකයන් ඒවාට ගොනු කරගන්න අමාරුයි.’ යැයි නම සඳහන් කිරීමට අකමැතිවූ තවත් සංගම් ප්‍රකාශ‍ෙයක් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය කියා සිටියේ සුගතදාස පාලන අධිකාරිය මුදලට වඩා ක්‍රීඩාව වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි. ‘ඒ ගොල්ලන්ට යුතුකමක් සහ වගකීමක් තිබෙනවා ක්‍රීඩාව වෙනුවෙන්ම ප්‍රමුඛත්වය දෙන්න. ක්‍රීඩාවට බාධාවක් නොවෙනවා නම් තමයි මුදල් වෙනුවෙන් ක්‍රීඩාංගණය බදු දෙන්න හැකිවෙන්නෙ. අපි මේ ගැන ක්‍රමවේදයක් හදන්න මැදිහත් වෙන්න අපි අපේක්ෂා කරනවා.’ යැයිද පැවසීය.කලකට පෙර කොළඹ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ, මෙරට පළමු ක්‍රීඩා අමාත්‍යවරයාද වූ වී.ඒ. සුගතදාස මහතාගේ සංකල්පයක් මත සුගතදාස ක්‍රීඩාංගණය ඉදිකෙරුණු අතර ආර්. ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී සහ ජනාධිපතිවරයා ලෙස ක්‍රියාකරද්දී මෙම ක්‍රීඩාංගණය නවීකරණය කරමින් එය ජාත්‍යන්තර තත්ත්වයට රැගෙන ඒම සිදුකරනු ලැබිණි. එතැන් සිට මේ දක්වා මෙරට පවත්වාගෙන යන ක්‍රිකට් නොවන එකම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයද මෙයයි.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා