DMZ කනිෂ්ඨ පාපැදි තරගාවලිය

 ඡායාරූපය:

DMZ කනිෂ්ඨ පාපැදි තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අත්දැකීම් තරගාවලියක් වෙයි

දකුණු කොරියාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ‘DMZ ජූනියර්ස්’ පාපැදි තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවූ කනිෂ්ඨ ක්‍රීඩකයන් සය දෙනා තරගාවලියේ ඉදිරියට ගමන් කිරීමට තරම් දක්ෂතා දැක්වීමට අපොහොසත් විය. අද (03) දක්වා පැවැත්වෙන මෙම කනිෂ්ඨ පාපැදි ශූරතා තරගාවලිය වෙනුවෙන් ලෝකයේ විශිෂ්ටතම කනිෂ්ඨ ක්‍රීඩකයෝ සහභාගිවී සිටිති.

රුපියල් ලක්ෂ හතළිස් දෙකක ත්‍යාග මුදලක් පිරිනැමෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග ඉසව්ව සම්පූර්ණ කරන්නේ නම් එය සැලකිය යුතු අත්දැකීම් වනු ඇති බව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ප්‍රකාශ කළේය. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයකු සඳහන් කළේ කනිෂ්ඨ ක්‍රීඩකයන් වෙනුවෙන් ආසියාවේ පැවැත්වෙන එකම තරගාවලිය ලෙසින්ද මෙම තරගාවලිය සැලකිය හැකි බවයි. ‘අපේ ක්‍රීඩකයන්ට කනිෂ්ට තරග අත්දැකීමක් ලබාගන්න අවස්ථාවක් හිමිවන්නේ නෑ. වෙන එකක් තබා අපට කනිෂ්ඨ ක්‍රීඩකයන් නිර්මාණය කරගැනීමේදීත් ගැටලු තිබෙනවා. පාසල් මට්ටමින් පාපැදි ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම අභියෝගයක් වීමයි ඊට ඉවහල් වෙලා තිබෙන්නේ. අපි මේ ගැටලුවලට පිළියම් සොයන්න අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ පුළුල්ව සාකච්ඡා කරන්න අපේක්ෂා කරනවා. මේ තරගාවලියට අපි ගියේ එවැනි අත්දැකීම් විරල පරිසරයකයි’යැයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පැවසීය.

අදාළ තරගාවලිය අදියර පහක් යටතේ පැවැත්වෙන අතර මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 510කි. එහි පළමු අදියර ගොස්එසොං සිට ඉන්ජි දක්වාත්, දෙවැනි අදියර ඉන්ජි සිටි හැව්චියොන් දක්වාත් පැවැත්වුණේය. එහි තෙවැනි අදයර යොන්චින් දක්වා ද සිව්වැනි අදියර ගිම්පෝ දක්වාත් පස්වැනි අදයර ගංග්වා නගරයෙන් අවසන් වීමට නියමිතව ඇත්තේ අද දිනයේය. සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හෂිත් දුලංජන, ඒ.එම්. තරූෂ නිර්මාණ, කෝෂාන් මධුර ප්‍රභාත්, සංජය මධුෂාන්, රුසිරු කවිඳු සහ දක්ෂින් විදූෂ දකුණු කොරියාව බලා පිටත්ව ගොස් සිටිති.

මාතෘකා