ඔබට සිදු වූ දේ දරාගන්න බෑ

 ඡායාරූපය:

ඔබට සිදු වූ දේ දරාගන්න බෑ

බොක්සිං ක්‍රීඩක චාර්ල්ස් ක්‍රොන්වෙල්ගෙන් ලිපියක්

බොක්සිං කියන්නෙ ශක්තිමත් මානසිකත්වයක් සහිතව කළ යුතු ක්‍රීඩාවක්. රිදෙන්න පහර වදිද්දී ඒ වේදනාව දරාගනිමින් නීති රීති පද්ධතියක් අනුගමනය කරමින් එහි නිරත වන්නට එවැනි මානසිකත්වයක් නොමැති ක්‍රීඩකයකුට හැකියාවක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා දුර්වල මානසිකත්වය සහිත කෙනෙකුට මෙවැනි ක්‍රීඩාව නිරතවන්නට බැහැ. ගුටි කන්නයි, ඇඟ තලාගන්නයි, ලේ හැලෙද්දි දරාගෙන ඉන්නයි විශාල ශක්තියක් තිබෙන්න අවශ්‍යයි. එහෙත් බොක්සිං වැනි මුෂ්ඨි ක්‍රීඩාවක යෙදෙන්නේ තරමක් දුරට අසංවේදී, මුරණ්ඩු, ක්ෂණයෙන් ආවේගශීලීවන ක්‍රීඩකයන්ය යන්නත් පිළිගැනීමක්. සාමාන්‍ය ජීවිතයේ එසේ මුරණ්ඩු නොවන ක්‍රීඩකයනුත් සිටින බව කිවයුතුයි. ඒත් බහුතරයක් දෙනානම් ආවේගශීලී භාවයෙන් ඉහළයැයි කිවහැකියි. කොහොම නමුත් මෙවැනි මුෂ්ඨි ක්‍රීඩා තුළ පවතින්නේ මානව සමාජය තුළ පරිණාමයේ මුල් යුගයේ පැවැති මානසික ආශාවන් යැයි විශ්වාස කළ හැකි නිසයි. තවකකුගේ රුධිරය ගලාගෙන යන හැටි බලාගෙන ඉඳලා සතුටට පත්වන, ප්‍රතිවාදියා මුහුණදෙන දැඩි මුෂ්ඨි ප්‍රහාර දෙස බලා සතුටින් ඝෝෂා කරන ප්‍රේක්ෂක පිරිසක් බොක්සිං වැනි ක්‍රීඩාවක් වටා රොක්වන්නේ ඒ නිසයි. මේ ක්‍රීඩාව පවත්වන බොක්සිං පීඨිකාව අපට සිහිපත් කරන්නේ පැරණි රෝමයේ පැවැතුණු බව කියන ඇතැම් මාරාන්තික ක්‍රීඩාවනුයි. ඒ අතරට බොක්සිං වැනි මුෂ්ඨි ක්‍රීඩාවකුත් ඇතුළත්ව තිබුණු බව කිවයුතුයි.

මානව සමාජය තුළ පවතින මෙම ම්ලේච්ඡ ආශාව පූර්ණය කරන්න නීති පද්ධතියක් දමා සටන් ක්‍රීඩා තවමත් ලෝකය පුරා සංවිධානය කෙරෙනවා. ඒ අතරින් වඩාත්ම ප්‍රචලිත සටන් ක්‍රීඩාව වන්නේ බොක්සිං ක්‍රීඩාවයි. ඒ නිසා සංවිධායකයින් බොක්සිං තරග සංවිධානය කරන්නෙ දැඩි රුචිකත්වයක්. ඒ එම ක්‍රීඩාව වෙනුවෙන් ලොව පුරා පවතින දැඩි ප්‍රේක්ෂක ඉල්ලීම හේතුවෙන්. ප්‍රේක්ෂක ප්‍රජාව බොක්සිං වළල්ල වටා රැස්වන හෙයින් වෘත්තීය බොක්සිං ක්‍රීඩාව ලෝකය පුරා සීඝ්‍ර ලෙස ජනප්‍රියවී ඇතැයිද කිවයුතුයි. බොක්සිං ක්‍රීඩාවට නීති රීති හඳුන්වා දෙන්න පෙර රෝමයේ පැවැති බොක්සිං ක්‍රීඩාව සිදුකෙරුණේ ප්‍රතිවාදියාගේ මරණය දක්වා බව සිහිපත් කළයුතුයි. මරණය දක්වා සිදුනොකළත් මරණීය තුවාල සිදුව කෙටි දිනකින්ම පරාජිතයා මරණයට පත්වීම එහි ස්වභාවයක් වුණා. එසේම තරගය අතරතුර එක් ක්‍රීඩකයෙක් ඇද වැටී යළි ක්‍රීඩා කිරීමට හැකියාවක් නොලැබෙන තුරු එකල මෙම ක්‍රීඩාව සිදුකළා. මෙහි පැවතුණු ම්ලේච්ඡ ස්වභාවය කොතරම්ද යන්න එමගින් තේරුම්ගන්න හැකියි. ආධුනික බොක්සිං ක්‍රීඩාව නිර්මාණය කර වෘත්තීය බොක්සිං ක්‍රීඩාව හඳුන්වා දුන්නත් රෝම ක්‍රීඩාවේදී බොක්සිං ක්‍රීඩාව සතුව තිබූ ම්ලේච්ඡ ලක්ෂණ තවමත් යම් පමණකට එලෙසම පවතින බව කිවයුතුයි. අද මෙහි නිරතවන ක්‍රීඩකයන්ගේ වේගය මෙන්ම දරාගැනීමේ කුසලතාව, වෙහෙස නොවීම, පාද චලනයේ විශිෂ්ටත්වය, ක්ෂණික ප්‍රතික්‍රියා හැකියාව, ප්‍රහාරයේ ප්‍රබලත්වය සොයාබැලීම සිදුකෙරෙනවා. වෘත්තීය බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් විශාල මිලක් ගෙවීමට තීරණයවී ඇත්තේ මෙවැනි පසුබිමක් තුළයි.

අප මේ කතාව කියන්නේ පසුගියදා ඇමරිකාවේ පැවැති බොක්සිං තරගයක සිදුවූ සිදුවීම අතීත රෝම බොක්සිං ක්‍රීඩාවේ යළි යළිත් සිහිපත්කළ නිසයි. ඒ සුපර් වෙල්ටර් වේට් තරගයකට සහභාගිවූ ක්‍රීඩකයෙක්ට සිදුවූ මරණීය තුවාල හේතුවෙනුයි. ප්‍රහාරයෙන්් අසාධ්‍ය තත්ත්වයට පත්වූ එම ක්‍රීඩකයා මේ වනවිට පසුවන්නේ කොමා තත්ත්වයේයි. එලෙස දරුණු අනතුරකට ලක්වුණු ක්‍රීඩකයා පැට්ට්‍රික් ඩේ. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ සිටින අවුරුදු 27ක් වයසැති බොක්සිං ක්‍රීඩකයෙක්.

‘දැන් ඔහු තමන්ගේ ජීවිතය සමඟ සටන් කරනවා.’ යූ.එස්.එස්. ටුඩේ පුවත්පතට අදහස් දක්වමින් ඩේගේ පුහුණුකරුවා වන ජෝ හිගින්ස් පවසා තිබෙනවා. මේ සිදුවීම හරියටම කියනවා නම් සිදුවුණේ පසුගිය සෙනසුරාදා රාත්‍රියේදීයි. එම බොක්සිං සටනේ ප්‍රතිවාදී සටන්කරුවා වූයේ විසි එක් හැවිරිදි චාර්ල්ස් ක්‍රොන්වෙල්. චිකාගෝහි පැවැති මෙම තරගය අතරතුර සිව්වැනි, අටවැනි සහ දස වැනි තරග වටවලදී පැට්ට්‍රික් ඇද වැටුණා. ඒ ක්‍රොන්වෙල්ගේ ප්‍රබල සහ මරාත්මක පහර කීපයක් තම හිස ආශ්‍රිතව වැදීම හේතුවෙන්. මෙලෙස පහර වැදුණු ඩේ ගිලන් මැස්සක තබා රෝහල වෙත රැගෙන යාමටයි තරග සංවිධායකයෝ කටයුතු කළේ. තරගයේ ප්‍රධාන සංවිධායකයා පසුදා නිවේදනයක් සිදුකරමින් කියා සිටියේ අනතුරට ලක්වූ ඩේගේ තත්ත්වය අසාධ්‍ය බවයි.

චිකාගෝහි නෝර්ත් වෙස්ටර්න් අනුස්මරණ රෝහලේ මරණයත් ජීවිතයත් අතර මේ සටහන තබන මොහොතවන විටත් සටනක නිරතව සිටි ඩේගේ හිස අභ්‍යන්තරයේ රුධිර වහනයක් පැවතුණා. ඒ තරගයේ ප්‍රතිවාදියා එල්ල කළ දරුණු පහරවල් හේතුවෙන්. මේ නිසා ඔහු හදිසි ශල්‍යකර්මයකටද ලක්කළ බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. සැත්කමින් පසු ඔහු කොමා තත්ත්වයේ පසුවන බවද ප්‍රකාශිතයි. මේ අතර ඔහු සුව අතට හැරේවියැයි විශ්වාස කළ නොහැකි බව රෝහල් ආරංචි මාර්ග පවසා තිබෙනවා. මෙම සියලු තත්ත්වයන් හමුවේ දැඩි ලෙස කම්පාවී සිටින්නේ ඩේ හා සටන් කළ ප්‍රතිවාදියාවන විසි එක් හැවිරිදි චාර්ල්ස් ක්‍රොන්වෙලුයි. ඔහු ඉතා සංවේදී ලිපියක් ලියා ඇති අතර එය මාධ්‍යයේ අවධානයට ලක්ව තිබෙනවා. ඔහු එහි තබා ඇති සටහන උපුටා දක්වන්නේ නම් මෙසේයි.

‘මම ඔබට මෙවැනි දෙයක් වෙයි කියලා කවදාවත් සිතුවේ නෑ. මම හැමදෙයක්ම කළේ තරගය දිනාගන්න විතරයි. මට මේ හැමදෙයක්ම ආපස්සට ගන්න පුලුවන්නම් මම ඒකට කැමතියි.

මේ අනතුර සම්බන්ධයෙන් තමන් කතාකරන අවසන් අවස්ථාව මෙයබවද පවසා ඇති ඔහු එය අති සංවේදී මාතෘකාවක් වීම ඊට හේතුව බව ප්‍රකාශ කරනවා. එය ඩේගේ පවුලටත්, ඔහුගේ මිතුරන්ටත්, තමන්ට මෙන්ම බොක්සිං ක්‍රීඩාවටත් සංවේදී වන කාරණයක් බවයි ක්‍රොන්වෙල් පවසා ඇත්තේ.

‘මම ඒ තරගය නැවත නැවත බැලුවා. එහෙම බලද්දී මගේ ඔළුවට ආවේ ඒ දේ කවදාවත් සිද්ධ නොවිය යුතු දෙයක් කියලයි. ඇයි මේ දේ ඔබට සිද්ධ වුණේ කියලා මට සිතෙනවා.’ යැයිද ක්‍රොන්වෙල් පවසා තිබෙනවා.

‘මට ඒ සිද්ධවුණු සිදුවීම ගැන සිතන එක නවත්තවන්න බෑ. මම ඔබ වෙනුවෙන් කීපවිටක් යාඥා කළා. කඳුළු සැළුවා. මගේ හැඟීම, හැසිරීම මගේ පවුලේ සාමාජිකයන්ට සහ මගේ මිතුරන්ට දැනෙන්නේ කොහොමද කියලා මම හිතුවේ නෑ. ඒ තරමට මට මේ සිදුවීම කම්පනයක්. වේදනාවක්.’

‘මට ඔබව හැම පැත්තකම පේනවා. මට සැම අතින්ම අහන්න ලැබෙන්නේ ඔබගැන හොඳ කතන්දරයි. මට මගේ බොක්සිං නතර කරන්න සිතෙනවා. නමුත් එය ඔබ අපේක්ෂා කරන දෙය නොවන බව මම දන්නවා. මම දන්නවා ඔබ සටන්කාමියෙක් බව. සටන් කරලා ජයගන්න එකයි ඔබ සැමවිටම විශ්වාස කළේ. ලෝක ශූරතාවක් දිනාගැනීමක් තමයි ඔබත් අපේක්ෂා කළේ කියලත් මට දැනෙනවා. මටත් එ්ක එහෙමයි. මම මගේ උත්සහය හැමදාමත් පවත්වාගන්නවා. එය බොක්සිං වළල්ල තුළ සාර්ථකත්වය පත්කරගන්න උවමනායි කියලා මම හිතනවා.’ යැයි පවසා තිබේ.

ක්‍රොන්වෙල්ගේ මෙම ප්‍රකාශයට පිළිතුරු සැපයීමට දැනට කොමා තත්ත්වයේ පසුව ඩේගේ පුහුණුකරු ජෝ හිගින්ස් අමතක කර නැහැ. ‘ඔබේ කාරුණික වචනවලට ස්තුතියි. පැට්ට්‍රික් ඉපැදුණේ වීථීයක. මාත් සමඟයි ඔහු එහි සිටියේ. අප දෙදෙනාගේ සම්බන්ධතාවය විශේෂයි. ඩේට අවශ්‍ය ඔබ තවදුරටත් බොක්සිං ක්‍රීඩා කරනවාටයි. මම ඔබට ඔබේ සිහිනය වෙත යන්න උපකාර කරනවා. ශක්තිමත්ව ඉන්න. ඔබටම දොස් පවරා ගන්න එපා.’ හිගින්ස් තවදුරටත් පිළිතුරු ලෙස පවසා තිබෙනවා.

News Order: 
10
මාතෘකා