විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගනී

විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගනී

අවසන් තරගය අද

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පැවැති දෙවැනි පන්දුවාර විස්සයි විස්ස තරගයෙන්ද ලකුණු 35ක විශිෂ්ට ජයක් හිමිකරගත් ශ්‍රී ලංකා පිල තරගාවලියේ ජය තමන් සතුකරගත්හ. පෙරේදා ලාහෝර්හි පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක දසුන් ශානක හිමිකරගත්තේය. ඒ අනුව ඔහු තීරණය කළේ ලාහෝර් තණතීරුවේ පළමුවෙන් පන්දුවට පහරදීමය. වේගවත් ආරම්භයක් ලබාගැනීමට උත්සහ කළද මුල් කඩුල්ල ලකුණු 16දී අහිමිවී ගියද තෙවැනි කඩුල්ල වෙනුවෙන් භානුක රාජපක්ෂ සහ ශෙහාන් ජයසූරිය එක්ව ලකුණු 94ක සබඳතාවක් පැවැත්වීමට සමත්වූහ. එය තීරණාත්මක සම්බන්ධතාවක් වූ අතර ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කරනු ලැබිණි. ඒ සඳහා භානුක රාජපක්ෂ පන්දු 34ක් තුළ ලකුණු 52ක් එක්කළ අතර ශෙහාන් ජයසූරිය පන්දු 28ක් තුළ ලකුණු 34කින් සම්මාදම් විණි. පකිස්තානු පන්දුයවන්නන්ගේ බලාපොරොත්තු යළි බිඳ දමමින් ජයග්‍රාහී ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට නායක දසුන් ශානක සහ වනිඳු හසරංග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවී රැස්කළ ලකුණු 27ක සම්බන්ධතාවක් පැවැත්වීමද ඉවහල් විය. ඒ සඳහා ඔවුනට පන්දු 12ක් පමණක් ක්‍රීඩා කිරීමට හිමිවූ අතර ශානක පන්දු 10ක් තුළ ලකුණු 22ක් සහ හසරංග පන්දු දෙකක් තුළ ලකුණු 2ක්ද එක් කළෝය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තාන පිලට ආරම්භයේ සිටම ස්ථාවරවීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සිව්වැනි පන්දුවාරය වනවිට කඩුලු දෙකක් දවා ගනු ලැබූහ.ඉන්අනතුරුව නායක සර්ෆාර්ස් අහමඩ් සහ අහමඩ් ශෙහෙෂාඩ් එක්ව පන්දු 26ක් තුළ ලකුණු 40ක සබඳතාවක් ගොඩනගා තිබියදී වනිඳු හසරංග විසින් ශෙහෙෂාඩ්ගේ කඩුල්ල දවාගත්තේය. ඉන්පසු හයවැනි කඩුල්ල වෙනුවෙන් ඉමාඩ් වසීම් සහ අසීෆ් අලී එක්ව පන්දු 47කදී ලකුණු 75ක සබඳතාවක් ගොඩනගමින් දුරස්වෙමින් තිබූ ජයග්‍රහණය යළි පකිස්තානය වෙත ඇද ගැනීමට උත්සහ ගත්හ. එහෙත් එහිදී ක්‍රියාත්මක වූ ඉසුරු උදාන ලකුණු 47ක් ලබාසිටි වසීම්ගේ කඩුල්ල දවාගත්තේය. ඉන් අනතුරුව අසීෆ් අලීද නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙන් දැවී ගියේ තරගයේ ජය ශ්‍රී ලංකාව වෙත හිමිවීමේ බාධාවන් අවසන් කරමිනි.

මෙම තරග සංචාරයේ දෙරට අතර පැවැත්වෙන අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය අද ලාහෝර්හිදී පැවැත්වෙයි.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 182/6

( භානුක රාජපක්ෂ 77(48), ශෙහාන් ජයසූරිය 34(28), දසුන් ශානක (නොදැවී) 27(15)

ඉමාඩ් වසීම් 1/27, වහාබ් රියාස් 1/31, ශඩාබ් ඛාන් 1/38)

පකිස්තානය 147

(ඉමාඩ් වසීම් 47, අසීෆ් අලී 29, සර්ෆාස් අහමඩ් 26, නුවන් ප්‍රදීප් 4/25, වනිඳු හසරංග 3/38, ඉසුරු උදාන 2/38, කසුන් රාජිත 1/11)

මාතෘකා

ජනප්‍රිය ලිපි