හිරුණි අතරමඟ නතර වීම කනගාටුවක්

 ඡායාරූපය:

හිරුණි අතරමඟ නතර වීම කනගාටුවක්

THE CAPTAINS

විමලසේන පෙරේරා

ජාතික තේරීම් කමිටු සභාපති හා හිටපු මැරතන් ක්‍රීඩක

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලොව ඉහළම උන්තාංශයක් සහිත ‍පෙදෙසක් වන මෙක්සිකෝවේ පැවැති ඔලිම්පික් මැරතන් තරගයේදී ධාවනයේ නියැලුනු දේශීය එකම මැරතන් ක්‍රීඩකයා ලෙස ඉතිහාසගතව ඇත්තේ විමලසේන පෙරේරාය. හැටේ දශකයේ ශ්‍රී ලංකා යුද හමුදාවට අනුබද්ධව රැකියාවේ නිරතවෙමින් සිටියදී කිසිදු පුහුණුකරුවකු නොමැතිව මෙරට ක්‍රීඩාව වර්ණවත් කළ මැරතන් ක්‍රීඩකයා වනුයේ ද ඔහුය. මලල ක්‍රීඩා ලෝකයේ කාගෙත් ‘විමලෙ’ වන ඔහු සැබැවින්ම සුන්දර මිනිසෙකි. ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපතිවරයාද වන විමලසේන පෙ‍ෙර්රා මහතා අද වනවිට ජීවිතයේ හත්වැනි දශකය ගෙවා දමමින් සිටී. දරු මුණුබුරන් සමඟ සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවා දමමින් සිටින ඔහු තවමත් මලල ක්‍රීඩාව ගැන කතාකරද්දී හිමිදිරියක් තරම් මෘදු උණුසුමෙන් යුක්තයැයි පැවසිය යුතුය.

මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගයකට ඉදිරිපත්වීමට වරම් ලැබුවේද මැරතන් ක්‍රීඩා ඉසව්ව වෙනුවෙන්මය. ඒ ඇමරිකාවේ ජීවත්වන හිරුණි විජේරත්නය. එහෙත් එම මැරතන් තරගය ඈ සම්පූර්ණ නොකළේ අධික උණුසුමක් පැවැති බවට චෝදනා නඟමිනි. මෙම සිදුවීම හා මෙරට මැරතන් ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් හිටපු මැරතන් ක්‍රීඩකයෙක් සහ ජාතික තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් අපි විමලසේන පෙරේරා මහතා හා සාකච්ඡාවක නිරතවීමු.

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මැරතන් තරග ඉසව්ව අතර මඟදී අතහැර දැමීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවට සිද්ධ වුණා? මොකද ඔබ මේ ගැන කියන්නෙ?

ඇත්තටම ඒ ගැන කනගාටුයි. හිරුණි පසුගිය තරගාවලි කීපයක් තුළදීම අසාර්ථක වුණා. පරිසරයේ උණුසුම ඉහළයාම ප්‍රශ්නයක්. නමුත් ඇගෙන් රටක් වශයෙන් අපි අපේක්ෂා කරන්නේ තරගය සම්පූර්ණ කිරීමයි. එහෙත් ඒක සිද්ධ වුණේ නෑ. වෛද්‍ය විද්‍යාත්මකව දැඩි උණුසුම පුද්ගලයකුගේ සෞඛ්‍යයට බලපෑමක් කරන්න පුළුවන්. නමුත් අපි හැමවිටම පරිසර තත්ත්ව සම්බන්ධයෙන් අවබෝධයෙන් යුතුව ඉදිරි තරගවලට සැලසුම් සකස් කළ යුතුයි. අනෙක් කාරණය මම මේ ප්‍රතිඵලය ගැන දැනගත්තෙත් මාධ්‍යයෙන් වීම. එහෙම නැතිව මට මේ ගැන කිසිදු තොරතුරක් ලැබුණේ නෑ.

ඒ කියන්නේ මාධ්‍ය නැත්නම් තේරීම් කමිටු සභාපතිට තොරතුරු එන්නෙ නෑ කියලද?

නෑ. මම කාටවත් දොස් කියනවා නොවෙයි. මම කියන්නෙ අපේ සැලසුමක් පවත්වා ගැනීම වැදගත් කියලයි. මොකද අපේ වයසත් එක්ක අපි නවමාධ්‍ය භාවිත කරන්නෙ නෑ. කරනවා නම් ඉතා අඩුවෙන්. කොහොමවුණත් ජාත්‍යන්තර තරගයක් වෙනුවෙන් ක්‍රීඩකයන් යනවා නම් ඔවුන්ගේ ක්‍රීඩා ඉරියව්වේ සිට සියල්ල අපට ලබාගත හැකියි නම් ඒක ඉතා වැදගත්. අඩුම තරමේ තරගයක් පැවැත්වෙන අවස්ථාවේදී ඒ තරගය සජීවීව හෝ රූප ගත කරලා අපට නරඹන්න අවස්ථාවක් සකසා ගන්න අවශ්‍යයි. තරගයේ ප්‍රතිඵලය සමාලෝචනය කරන්න අපට අවස්ථාවක් සකස් කළ යුතුයි. ස්වේච්ඡා සේවයක් වශයෙන් වුණත් සමහර විට ඒ දේවල් කරන්න බාධාවන් තිබෙනවා. අපි වියපත් මිනිස්සු. අපි හැමෝටම අන්තර්ජාල පහසුකම් නෑ. නමුත් එවැනි නවීන තාක්ෂණය තේරීම් කමිටුවට ළංකරන්න කටයුතු කළ යුතු වෙනවා.

ඔබ කියන්නෙ හිරුණි පසුගිය කාලයේම අසාර්ථක වුණා කියලාද?

මේකයි. හිරුණි තමයි කාන්තා මැරතන් සහ මීටර් 10000 ඉසව්වේ ඉදිරියෙන්ම ඉන්නෙ. ඇගේ දක්ෂතා අභිබවන්න රට ඇතුළේ වෙනත් ක්‍රීඩිකාවක් නෑ. හැබැයි එහෙම කියලා අපට ඇය පසුගිය කාලයේ අසාර්ථක වුණු එක අමතක කරලා කතාකරන්නත් බෑ. ඇය පොදු රාජ්‍ය මණ්ඩලයී තරගාවලියේදී අසාර්ථක වුණා. ජකර්තා තිබුණු ආසියානු ශූරතාවයේදී රස්නෙයි කියලා මගදී නතර වුණා. දැන් කටාර් වලදී උණුසුම ගැන කතාකරනවා. ඇය ජීවත්වන්නේ ඇමරිකාවේ. ඇගේ පුහුණුකරු ගැන අපි දන්නෙ නෑ. ඇය දුවන්නේ මොන මොන මැරතන් වලටද, ඇගේ පුහුණු සටහන කොහොමද කියන එක ගැනත් අපි දන්නෙ නෑ. ඒක තමයි අපට තියෙන ගැටලුව.

ඒ කියන්නේ අඳුරේ අතපතගානවා වගේ හිරුණිට මුදල් වැය කරනවා වගේ කියන එකද ඔබ කියන්නෙ?

ක්‍රීඩකයින්ට මුදල් ආයෝජනය කරන එක හොඳයි. දැන් හිරුණිට අපි මේ ගමන එන්නම රුපියල් ලක්ෂ හතරක් විතර වියදම් කරලා තිබෙනවාලු. ක්‍රීඩා අමාත්‍යාංශය තමයි මේ වෙනුවෙන් මුදල් දෙන්නෙ. මේ මුදල් රටේ මහජනතාවගේ බදු මුදල්. ආණ්ඩුවක් මේ මුදල් වියදම් කරන්නේ ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන්. ඒ නිසා අපිට ලොකු වගකීමක් තිබෙනවා.

දැන් ඔබේ කාලෙ මෙහෙම වියපැහැදම් නොකළ නිසා ඔබ ආඩපාලි කියනවා කියලා කවුරුන් හෝ චෝදනා කළොත්?

ඊර්ෂයාවකින් මම කතාකරනවා නොවෙයි. දැන් ඉන්න ක්‍රීඩකයන්ට ඕනෑතරම් පහසුකම් දෙන්න. ඒකට කමක් නෑ. නමුත් ඒ පහසුකම්වලට සරිලන ප්‍රතිඵලත් අපිට අපේක්ෂා කරන්න වෙනවා කියන එක ඊර්ෂයාවෙන් කියන දෙයක් නොවෙයි. අපි යුද හමුදාවෙන් ලැබුණු කැන්වස් සපත්තු දෙකට ටින්ටස් ඇණ ගහගෙන දුවපු අය. එහෙම කියලා දැන් ඉන්න ක්‍රීඩකයොත් ටින්ටස් ඇන ගහගෙන දුවන්න ඕනෑ කියලා මම කියන්නෙ නෑ. නමුත් ලැබෙන පහසුකම් වෙනුවෙන් ප්‍රතිඵලයක් දෙන එක අපේ වගකීමක්.

අද ඉන්න මැරතන් ක්‍රීඩකයෝ ගැන ඔබේ තක්සේරුව මොකක්ද?

මට කනගාටු තවමත් අපේ ක්‍රීඩකයෝ මටත් පස්සෙන් දුවන එකයි. මගේ වාර්තාව පැය 2 යි මිනිත්තු 22යි තත්ත්පර ගණනක්. නමුත් අද ක්‍රීඩකයෝ දුවන්නේ පැය 2 යි මිනිත්තු 25ට වගේ. මම දන්නෙ නෑ ඇයි ඔවුන්ට තවම මට වඩා ඉදිරියට එන්න බැරිවෙලා තිබෙන්නේ කියලා.

ඒ කියන්නේ අපිට ජාත්‍යන්තර වශයෙන් තරග දිනන්න මැරතන් ක්‍රීඩකයෝ හදාගන්න අමාරුයි කියන එකද?

නෑ. අපිට පුළුවන්. ආසියාව දිනන්න ලෝකයට යවන්න පුළුවන් මැරතන් ක්‍රීඩකයෝ නිර්මාණය කරන්න අපටත් හැකියි. ඒත් එ්ක එක දවසෙන්, වසරෙන් සිදුකළ හැක්කක් නොවෙයි. ඒකට වසර කීපයක් ගතවෙනවා.

මේ ඉන්න ක්‍රීඩකයන් එක්ක ඒ කැපකිරීම කරන්න පුළුවන්ද?

පුළුවන්. අපි මුලින්ම මේ ඉන්න ක්‍රීඩකයන් අතරින් මැරතන් ක්‍රීඩක සංචිතයක් හදන්න අවශ්‍යයි. ඒ මැරතන් ක්‍රීඩකයන්ගේ බාහිර ප්‍රශ්නවලට විසඳුම් දිය යුතුයි. ඉන්පස්සෙ ඔවුන්ගේ පෝෂණ ගැටලු විසඳීමත්, ඉලක්ක ලබාදීමත්, ඊට ගැලපෙන පුහුණුවක් සකස් කිරීමත් වැදගත්. එහෙම නැතිව තරගාවලියක් ඉලක්ක කරලා කෙටිකාලීනව මැරතන් ක්‍රීඩකයෝ හදන්න හදනවානම් ඒක විහිළුවක්.

සාග් ක්‍රීඩා උලෙළ දෙසැම්බරයේ පවත්වන්න නියමිතයි. එතැනදීවත් අපට පදක්කමක් දිනාගන්න හැකියාවක් තිබේවි නේද?

තරහ වෙන්න එපා. මාධ්‍යවේදීන් සාග් ක්‍රීඩා උලෙළේ ලබන මැරතන් ජය ගැන ඉහළින් කතාකළාට එතැන කොහොමත් අපිට ජයග්‍රහණයක් තිබෙනවා. ලෝකයේ තිබෙන අනිත් ක්‍රීඩා උලෙළ එක්ක සසඳද්දී සාග් කියන්නෙ මොන්ටිසෝරි ක්‍රීඩා උලෙළක් වගේ එකක්. ඒකෙ අපි රිදී පදක්කම දිනන එක ස්ථිරයි. නමුත් ක්‍රීඩා ගැන කතාකරද්දී මලල ක්‍රීඩාවෙ නම් ඔලිම්පික්, ආසියානු ක්‍රීඩා, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තමයි ක්‍රීඩා උලෙළ වන්නේ. දැන් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගත් ඒකට ඇතුළත්.

ඔබේ යුගයේ සුප්‍රකට මැරතන් තරගය තමයි මෙක්සිකෝ තිබුණු ඔලිම්පික් මැරතන් ඉසව්ව. එදා ඔබ වාර්තාගත ධාවනයක නියැලුණා?

මට පදක්කමක් ගන්න බැරි වුණා. නමුත් මම එන්නත් 28ක් ගහලා තිබියදීත් රට වෙනුවෙන් ධාවනයේ නියැලුණා. හැබැයි එදා මට ලංකාවේදී දුවන වේගය පවත්වාගෙන යන්න හැකිවුණානම් මුල් දස දෙනා අතර ඉන්නවා. නමුත් මට එය කළ හැකිවුණේ නෑ. මාස තුනක් තියෙද්දී තමයි මම දියතලා පුහුණුවීම්වලට යැව්වෙ. ඒ කාලෙ අද වගේ ක්‍රීඩකයන්ට පහසුකම් තිබුණේ නෑ, ඇඟේ හයියෙන් තමයි අපි දිව්වෙ. මාස තුනෙන් පෙනහළු ධාරිතාව වැඩිකරගන්න බෑ කියල කාටත් වැටහෙනවා.

ඔබට ආසියානු පදක්කමක් අහිමි වුණු අවස්ථාවකුත් තිබෙනවා?

ඔව්. රෝසා එක්ක මම තායිලන්ත ආසියාතික තරගයට ගියා. එතැනදී මම මැරතන් එක දුවන නිසා 10000 දුවන්න දුන්නෙ නෑ. එදා දස දහසේ රන් පදක්කම හිමිවුණේ අපේ රෝසාටයි. ඔහු පන්දහසත්, දස දහසත් දෙකම දිනුවා. නමුත් දස දහසේ මගේ දක්ෂතාව රෝසාට වැඩිය හොඳයි.

ඊයේ, අද සහ හෙට ක්‍රීඩාව ගැන කතාකරද්දී ඔබ කොහොමද එය දකින්නෙ?

ඊයේ දිනයට වඩා අද දිනයේ ක්‍රීඩාව වෙනුවෙන් මුදල් වෙන්වෙනවා. වර්තමාන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල, ලේකම් චූලානන්ද පෙරේරා වගේ නිලධාරීන් ක්‍රීඩාව වෙනුවෙන් කටයුතු කරන ආකාරය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්. එ්ත් එහෙම දෙන මුදල් හදල් හරි තැනට රැගෙන යාම සිදුකළ යුත්තේ පුහුණුකරුවන් සහ නිලධාරීනුයි. මෙතැනදී ජාතික පුහුණුකරුවාට මූල්‍යමය ගෙවීමක් සිදුකරන්න කටයුතු කළ යුතුයි. දැන් මලල ක්‍රීඩාවට අපිට සුනිල් ගුණවර්ධන මහතා ඉන්නවා. ඔහු තමයි ජාතික පුහුණුකරුවා. ඔහු ඒ තනතුරේ සිටියත් ඔහුට අපි මුදලක් ගෙවන්නෙ නෑ. මේ තත්ත්වය වෙනස් කළ යුතු වෙනවා. දැන් ස්වේච්ඡා සේවය වෙනුවට යම් ඇගයීමක් කළ යුතු බවයි මගේ හැඟීම.

ඔබ මැරතන් ක්‍රීඩකයෙක්. මේ මැරතන් ක්‍රීඩකයන්ගේ අර්බුදය විසඳන්න ඉදිරියට එන්න කැමති නැද්ද?

මම සූදානම්. මගේ වයස, ශාරීරික යෝග්‍යතාව යම් විධිහකින් ඒකට බාධාවක් වෙන්න පුළුවන්. දැන් මම හෘද සැත්කමකට බඳුන් වුණු මිනිසෙක්. දැන් මම සුවය ලබමින් සිටිනවා. මම තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් ලංකාවේ සියලුම මැරතන් පුහුණුකරුවන් සමඟ සාකච්ඡා කර මැරතන් ක්‍රීඩකයන්ගේ ඇකඩමියක් නිර්මාණය කරන්න අපේක්ෂා කරනවා. ඒක මගේ සිහිනයක්. එසේ හදන ඇකඩමිය යොදාගෙන ඔවුන්ට විධිමත් පුහුණුවක් දෙන්න අවශ්‍ය මූල්‍ය පසුබිමක් සපයා ගන්නත් අපේක්ෂා කරනවා. අපි ක්‍රීඩකයෝ හැටියට වත්මන් ක්‍රීඩාවට යමක් සිදුකළ යුතුයි. ඒක අපේ යුතුකම. නිවැසියෝ අපෙන් මොනව ඇහුවත් අපි තවමත් ක්‍රීඩාව වෙනුවෙන් යමක් කරන්නේ ක්‍රීඩාව කෙරේ අපට සැබෑ ආදරයක් ඇති නිසයි. හිරුණිගේ පසුබැස්ම ගැන මම දුක්වන්නෙ ඒ තැන ඉඳලයි.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා