ඇමැති හරින් ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ක්‍රීඩා ඇමැති ධුරයට තුන්කොන් සටනක්!

 ඡායාරූපය:

ඇමැති හරින් ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ක්‍රීඩා ඇමැති ධුරයට තුන්කොන් සටනක්!

ක්‍රීඩා, විදුලි සංදේශ සහ විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වන ක්‍රීඩා අමාත්‍ය ධුරයට පත්කරනු ලබන්නේ කවුරුන්ද යන්න මේ වනවිට පුළුල් කතිකාවක් නිර්මාණයවී තිබේ. එලෙස පුරප්පාඩුවූ ක්‍රීඩා අමාත්‍ය ධුරය වෙනුවෙන් නව අමාත්‍යවරයෙක් පත්කරනු ඇතැයි විශ්වාස කෙරෙන අතර එය සිදු කරන තුරු වැඩ බලන අමාත්‍යවරයෙක් පත්කරන්නේද එසේත් නැතහොත් නව අමාත්‍යවරයෙක් විෂය බාරගන්නාතුරු එකී ධුරය අමාත්‍යාංශ ලේකම්වරයාගේ බලතල යටතේ පවත්වන්නේද යන්න තීරණය කිරීමට නියමිතව ඇත්තේ ඉදිරි දින කීපය තුළය.

මේ අතර පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් සම්මත කරගැනීමෙන් නව අග්‍රාමාත්‍යවරයෙක් හා අමාත්‍ය මණ්ඩලයක් පත්කරගැනීමට නව ජනාධිපතිවරයා කටයුතු කරන්නේද? එසේත් නැතහොත් ආණ්ඩු පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය අතර එකඟත්වයක් ගොඩනඟා ගනිමින් මහමැතිවරණය කැඳවන තුරු නව ඇමැතිවරයෙක් පත්කරගන්නේද යන්න තීරණය කිරීමට නියමිතය. මේ සඳහා වත්මන් ආණ්ඩුවේ ක්‍රීඩා විෂයේ වගකීම් දැරූ දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තාෆා වැනි මන්ත්‍රීවරුන්ගේ නම් දැනටමත් සාකච්ඡා වෙමින් තිබේ.

තවත් පිරිසක් පවසන්නේ පුරප්පාඩුවූ ක්‍රීඩා අමාත්‍ය ධුරය අලුතින් පත්කරන කැබිනට්ටුවක් තුළ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලබාදෙනු ඇතැයි යන්නය. නමුත් ඒ මහතා පසුගිය වසර පහකට ආසන්න කාලයක් ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර නැති හෙයින් එම තනතුර ලැබීමේ ආසන්නම අවස්ථාව හිමිව ඇත්තේ ෆයිසර් මුස්තාපා හෝ දයාසිරි ජයසේකර මහතාට බවටද මතයක් ඇත.

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වීම තීරණය කරමින් ට්විටර් පණිවුඩයක් තබා තිබුණේ ජනතා තීන්දුවට හිසනැමීමක් වශයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දැරූ තනතුරෙන් මෙලෙස තමන් ඉල්ලා අස්වන බවය.

මේ වනවිට පාර්ලිමේන්තුව තුළ බහුතර බලය ලබාගනිමින් තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂය දැනටමත් සාකච්ඡා කරමින් ඇති අතර එසේ පිහිටුවා ගන්නා ආණ්ඩුව සමඟ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගනිමින් එය විසුරුවාහැරීමට යෝජිතය. එලෙස පාර්ලිමේන්තුව විසුරුවාහැරීම මැතිවරණ කොමිසමේද එකඟත්වය ලබාගනිමින් කඩිනම් මහ මැතිවරණයක් පැවැත්වීමට අභිනව ජනපතිවරයාගේ සැලසුම වනු ඇතැයි දේශපාලන විචාරකයෝ විශ්වාසය පළ කළහ.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

 

News Order: 
0
මාතෘකා