ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත නොගැනීම පිටුපස අදිසි හස්තයක්?

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත නොගැනීම පිටුපස අදිසි හස්තයක්?

ආසියානු කලාපයේ පළමු වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත ඊයේ (07) පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත්ව නොතිබීම හේතුවෙන් යළි එය විවාදයට ගැනීම ලබන 11 වැනිදා දක්වා කල්දැමීය.

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබූ මෙම පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 23 වැනිදා අධීක්ෂණ කමිටුව හමුවේ සලකා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තු විවාදයට යොමුකිරීමට සැලසුම්කර තිබිණි. එහෙත් ඊයේ දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකය තුළ මෙම පනත් කෙටුම්පත විවාදයට බඳුන්කිරීම ඇතුළත්ව නොතිබුණු හෙයින් එය ලබන සඳුදා දක්වා කල්දැමීමට තීරණය කෙරිණි. ඒ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ පනත් කෙටුම්පත සම්මත කරගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් කරන ලද පැහැදිලි කිරීම සැලකිල්ලට ලක්කිරීමෙන් අනතුරුව පැවැති පක්ෂ නායක රැස්වීමේදී යළි පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කළේය. ලබන 3 වැනිදා දක්වා මෙලෙස කල්දැමීමට නියමිතවූ පාර්ලිමේන්තු සැසිවාරය අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් අග්‍රාමාත්‍යවරයා විසින් ලබන සඳුදා කැඳවන බව ප්‍රකාශ කරනු ලැබුණේය. එකී යෝජනාවට සෙසු පක්ෂ නායකයන්ගේ ඒකමතික එකඟත්වය හිමිවීමෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත යළි සැලසුම්කළ පරිදි විවාදයට ගැනීමට නියමිතය.

එදින පාර්ලිමේන්තුව රැස්වීමේදී ගණ පූර්ණය සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවේදැයි කළ විමසීමකදී අමාත්‍යවරයා කියාසිටියේ තමන් කෙසේ හෝ ගණපූර්ණය සහිතව පනත් කෙටුම්පත විවාදයට ගන්නා බවයි. ‘ඒක ශ්‍රී ලංකාව සමස්ත ලෝකයේම සම්භාවනාවට පාත්‍ර කරවන පනත් කෙටුම්පතක්. ආසියාවේ අප විතරයි මෙවැනි ක්‍රීඩා දූෂණ වැරදි වැළැක්වීමට පනත් කෙටුම්පතක් රැගෙනවිත් තිබෙන්නේ. ඒ බව මම පාර්ලිමේන්තුවට පෙන්වාදුන්නා. ව්‍යවස්ථාදායක සභාවේ ඉන්න නියෝජිතයන් එය පිළිගත්තා. මම හිතනවා ඒක අපට සම්මත කරගන්න හැකිවේවි කියලා. මෙවැනි පනතක් සම්මතව ඇත්තේ නවසීලන්තය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාවේ පමණක්වීම විශේෂත්වයක්. මේ අතර පාර්ලිමේන්තුවේදී අපි ක්‍රීඩා රෙගුලාසි තුනකට අනුමැතිය ලබාගත්තා. ඒවා ඒකමතිකව සම්මත වුණා. සම්මත වෙන්න තිබුණේ මේ පනත් කෙටුම්පතයි. ඒත් සිදුවුණේ අධීක්ෂණ කමිටුවේදී සලකා නොලැබුණු රෙගුලාසියක් න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමයි. එය පූර්වාදර්ශයක් නොකරගන්නා පොරොන්දුව පිට ව්‍යවස්ථාදායක සභාවේදී සාකච්ඡාවට බඳුන්කර ඒකමතිකව සම්මත කරගත්තා.’ යැයි ද හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසීය.

මෙම පනත් කෙටුම්පත සහ තරග පාවාදීම, ඔට්ටු ඇල්ලීම, බුකී ව්‍යාපාරයේ යෙදෙන්නන්ට ක්‍රීඩා පරිපාලනය තහනම් කිරීමේ රෙගුලාසි දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවට රැගෙන ඒමට උත්සහ කළත් ඒවා සම්මත කරගැනීමටත් බාධා එල්ලවූ බව සිහිපත් කළ අමාත්‍යවරයා මෙම සිදුවීම අතපසුවීමක් වෙනුවට යම් කුමන්ත්‍රණයක්ද යන්න සැකයක් මතුවන බවයි. කෙසේ නමුත් ලබන සඳුදා එය සම්මත කරගනිමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඇති උත්තරීතර භාවය පෙන්නුම් කිරීමට හැකියාව උදාවන බවත් එය මෙම යහපාලන ආණ්ඩුවේ නීති ප්‍රතිසංස්කරණ සිදුකිරීම තවදුරටත් සමාජයට සහ ලෝකයට විදහා දැක්වීමක් වනු ඇති බවත් හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියාසිටියේය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

News Order: 
5
මාතෘකා