ඉහළම ලකුණු වාර්තා වූ තරගාවලිය

 ඡායාරූපය:

ඉහළම ලකුණු වාර්තා වූ තරගාවලිය

2003 ලෝක කුසලානය

පළමු වතාවට අප්‍රිකානු මහද්වීපයට ලෝක ක්‍රිකට් කුසලානයේ සත්කාරකත්වය ලබා දෙමින් දකුණු අප්‍රිකාවේ ප්‍රධානත්වයෙන් අටවැනි ලෝක කුසලානය පැවැත්වුණේ 2003 වසරේදීය. දකුණු අප්‍රිකාවට අමතරව සිම්බාබ්වේ සහ කෙන්යාවේදී ද එහි තරග පැවැත්විණි.

ඒ දක්වා තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 14ක් එක් විය. ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගි වූ තරගාවලිය ද මෙයවීම විශේෂත්වයකි. පළමු වටයේ එක් කණ්ඩායමකට තරග 6කට මුහුණ දීමට සිදුවන සේ එක් කාණ්ඩයකට කණ්ඩායම් 7ක් වන පරිදි තරගාවලිය පැවැත්විණි. මෙවර තරගාවලියද දිවා රාත්‍රී තරගවලින් යුක්ත විය.

‘ඒ‘ කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, සිම්බාබ්වේ, එංගලන්තය, පාකිස්තානය, නෙදර්ලන්තය සහ නැමීබියාව අයත්වූ අතර ‘බී‘ කාණ්ඩය සමන්විත වූයේ නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, කැනඩාව, සහ කෙන්යාව යන කණ්ඩායම් වලිනි.

තරගාවලියේ පළමු වටය අවසන් වන විට ‘ඒ‘ කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ සිම්බාබ්වේ සුපිරි හය දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය. ඔස්ට්‍රේලියාව සහභාගී වූ තරග 6ම ජයගත් අතර ඉන්දියාව ඔස්ට්‍රේලියාවට පමණක් පරාජය විය. ‘බී‘ කාණ්ඩයෙන් සුපිරි හය දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව, කෙන්යාව සහ නවසීලන්තයයි. ශ්‍රී ලංකාව පළමු වටයේ තරග 4ක් ජය ගැනීමට සමත් විය.

සුපිරි හය දෙනාගේ වටය

නවසීලන්තය සහ සිම්බාබ්වේ සුපිරි හයදෙනාගේ වටයෙන් ඉවත් වූ අතර ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, කෙන්යාව සහ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. මෙහි විශේෂත්වය වූයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු වරට ටෙස්ට් වරම් නොමැති රටක් වූ කෙන්යාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමයි.

පළමු වටයේදී බංග්ලාදේශය, කැනඩාව සහ ශ්‍රී ලංකාව පරාජය කළ කෙන්යාව සුපිරි හය දෙනාගේ වටයේදී සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

අවසන් පූර්ව වටය

පළමු අවසන් පූර්ව තරගය මාර්තු 18 වැනිදා පෝර්ට් එලිසබෙත්හිදී පැවැතියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතරයි. පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 212ක් රැස් කිරීමට සමත් විය. ඇන්ඩෘ සයිමන්ඩ්ස් නොදැවී 91යි. සයිමන්ඩ්ස් හැරුණු විට වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා වූයේ ලකුණු 36ක් රැස් කළ ඩැරල් ලීමන්ය.

එතරම් අපහසු නොවූ ලකුණු 213ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවෝ ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් ඉදිරියේ දුර්වල වූ අතර ලකුණු සංඛ්‍යාව 76 වන විට කඩුලු 7ක්ම ශ්‍රී ලංකාවේ බිඳ වැටී තිබුණි. අවසානයේදී පන්දුවාර 38.1කදී ශ්‍රී ලංකා ඉනිම නතර වූයේ වර්ෂාව හේතුවෙනි ඒ වන විට ශ්‍රී ලංකා පිතිකරුවෝ ලබා සිටියේ කඩුලු 7ක් දැවී ලකුණු 123ක් පමණි. ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 48ක ජයක් හිමි වූයේ ශ්‍රී ලංකාවේ ඉලක්කය ලකුණු 172ක් වූ බැවිනි.

මාර්තු 20 වැනිදා පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 4ක් දැවී පන්දුවාර 50 තුළදී ලකුණු 270ක් රැස් කළ අතර නායක සව්රව් ගංගුලි නොදැවී ලකුණු 111ක් රැස් කළේය. කෙන්යාව පන්දුවාර 46.2කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 179ක් පමණි. තරගයෙන් ලකුණු 91ක ජයක් ලබූ ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

අවසන් තරගය

තරගාවලියේ අවසන් මහා තරගය පැවැතියේ ජොහැන්ස්බර්ග් වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදීය. ඒ මාර්තු 23 වැනිදාය.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත් විය. ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ගිල්ක්‍රිස්ට් සහ හේඩ්න් පළමු කඩුල්ල සඳහා පන්දුවාර 14කදී ලකුණු 105ක් එක් කිරීමට සමත් වූහ. මුලු ලකුණු සංඛ්‍යාව 125දී ඔස්ට්‍රේලියානු පිලේ කඩුලු දෙකක් බිඳ වැටී තිබුණු අතර වාර්තාගත සම්බන්ධතාව ආරම්භ වූයේ ඉන් පසුවය. ඒ නායක පොන්ටින් සහ ඩේමියන් මාටින් අතරයි. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 234ක සබඳතාවක් පිහිටුවූහ. ඒ පන්දුවාර 30.1 කදීය. පොන්ටිං පන්දු 121න් නොදැවී ලකුණු 140ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 8ක් ඊට ඇතුළත් කරමිණි. ඩේමියන් මාටින් නොදැවී ලකුණු 88ක් රැස් කළේය. ඒ වෙනුවෙන් ඔහු වැය කළේ පන්දු 84ක් පමණි. කඩුලු 2ක් දැවී ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 359කි.

ජයග්‍රහණය සඳහා අභියෝගාත්මක ලකුණු 360ක් රැස් කිරීමට පිටියට පිවිසි ඉන්දියාව පන්දුවාර 39.2කදී ලකුණු 234කට දැවී ගියේ ලකුණු 125ක දැවන්ත ජයක් සමග පිට පිට දෙවැනි වරටත් ලෝක ක්‍රිකට් කුසලානය ඔස්ට්‍රේලියාවට හිමිකර දෙමිණි. එසේම මෙය ඔස්ට්‍රේලියාව ලෝක ක්‍රිකට් කුසලානය දිනූ තුන්වැනි අවස්ථාවද විය.

ලකුණු පුවරුව

ඔස්ට්‍රේලියාව

ඇඩම් ගිල්ක්‍රිස්ට් ඇ. ෂෙවාග් ප. හර්බජාන් 57

මැතිව් හේඩ්න් ඇ. ඩ්‍රාවිඩ් ප. හර්බජාන් 37

රිකී පොන්ටිං නොදැවී 140

ඩේමියන් මාටින් නොදැවී 88

අතිරේක 37

මුලු ලකුණු (පන්දුවාර 50දී කඩුලු 2ක් දැවී) 359

පන්දු යැවීම

සහීර් ඛාන් 7 -0 - 67 -0

ජවගල් ශ්‍රීනාත් 10 -0 - 87 -0

අශීෂ් නෙහෙරා 10 -0 - 57 -0

හර්බජාන් සිං 8 -0 - 49 -2

විරේන්ද්‍ර ෂෙවාග් 3 -0 - 14 -0

සචින් තෙන්ඩුල්කාර් 3 -0 - 20 -0

දිනේෂ් මොන්ගියා 7 -0 - 39 -0

යුවරාජ් සිං 2 -0 - 12 -0

ඉන්දියාව

සචින් තෙන්ඩුල්කාර් ඇ. සහ ප. මැග්‍රාත් 4

විරේන්ද්‍ර ෂෙවාග් දුවද්දී දැවී 82

සව්රව් ගංගුලි ඇ. ලීමන් ප. ලී 24

මොහොමඩ් කයිෆ් ඇ. ගිල්ක්‍රිස්ට් ප. මැග්‍රාත් 0

රාහුල් ඩ්‍රාවිඩ් ප. බිකෙල් 47

යුවරාජ් සිං ඇ. ලී ප. හොජ් 24

මොන්ගියා ඇ. මාටින් ප. සයිමන්ඩ්ස් 12

හර්බජාන් සිං ඇ. මැග්‍රාත් ප. සයිමන්ඩ්ස් 7

සහීර් ඛාන් ඇ. ලීමන් ප. මැග්‍රාත් 4

ජවගල් ශ්‍රීනාත් ප. ලී 1

අශීෂ් නෙහෙරා නොදැවී 8

අතිරේක 21

මුලු ලකුණු (සියලු දෙනා දැවී) 239

පන්දු යැවීම

ග්ලේන් මැග්‍රාත් 8.2 -0 -52 -3

බ්‍රෙට් ලී 7 -1 -31 -2

බ්‍රැඩ් හොජ් 10 -0 -61 -1

ඩැරල් ලීමන් 2 -0 -18 -0

ඇන්ඩි බිකෙල් 10 -0 -57 -1

ඇන්ඩෘ සයිමන්ඩ්ස් 2 -0 -07 -2

මාතෘකා